නිරෝෂණ කුමාර
ඉන්දියානු ණය ආධාර යටතේ රුපියල් කෝටි තුන් දහසක මුදලක් වැය කොට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළද, එය නිසි ප්‍රමිතියකින් සිදු නොකිරීම නිසා විශාල මුදල් අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි “ලොකෝමොටිවි ඔෆිසර්ස් ඇසෝසියේෂන්”වෘත්තිය සමිතිය ප්‍රකාශ කරයි.
දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කිරීමෙන් පසුව අලින්ට මාරුවීමේ උමගක් ඉදිකිරීම ඇතුළු විවිධ යෝජනා ඉදිරිපත්වීමත් සමඟ උතුරු දුම්රිය මාර්ගයේ වැඩකටයුතු පමා වී ඇති ඇත. මේ වනවිට එම මාර්ගයේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ දිනය ඉකුත් වී ඇති අතර එසේ පමාවන සෑම දිනකටම කොන්ත්‍රාත් සමාගම ඩොලර් දස දහසක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වුවත් පමාව සිදුව ඇත්තේ අලුතින් එකතු කරන යෝජනා නිසා යැයි සමාගම කියා සිටියි. මේ නිසා ඉදිකිරීම් අවසන් කරන දිනය පසුවී ඇතත් සමාගම ගෙවිය යුතු වන්දිය දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී තිබේ.
මේ සම්බන්ධයෙන් වගකිව යුතු කිසිදු අයකුට මේ දක්වා නීතිය ක්‍රියාත්මක කර නැතැයි එම වෘත්තීය සමිතියේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක පැවසීය. පසුගිය රජය යටතේ දුම්රිය මාර්ගයේ සංඥා ඉදි නොකර පැයට කිලෝමීටර් සියයක වේගයකින් දුම්රිය ධාවනය කිරීමට රියැදුරන්ට උපදෙස් දී ඇත. එහෙත් දුම්රිය රියැදුරන්ගේ දැඩි විරෝධතා හේතුවෙන් දුම්රිය ධාවනය කිරීම නතර කෙරුණු බවද සංගමය පවසයි.
මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පද්මප්රියගෙන් විමසීමේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
”ඉන්දීය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ ඉන්දීය සමාගමක්. ගනුදෙනු සිදුවූයේ ඉන්දීය සමාගම් අතරයි. මුදල් ගනුදෙනුවක් හෝ වංචාවක් සිදුවී ඇතිනම් එය ඔවුන් අතර ගැටලුවක්.ඒකට දුම්රිය දෙපාර්තමේන්තුව මැදිහත් වීමක් කරන්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව හෝ වෙනයම් කෙනෙකු මීට සම්බන්ධ බවට සනාථ වී නැහැ. එවැනි මුදල් ගනුදෙනුවක් සිදු වී ඇත්නම් හෙළිකළ යුතුයි.මේ පිළිබඳව මා සමග කවුරැත් කතා කරලා නැහැ. හුදෙක්ම මෙය වෘත්තීය සමිති තමයි හුවා දක්වන්නේ. ඔවුන් මෙවැනි සිද්ධීන් මතුකරමින් දුම්රිය දෙපාර්තමේන්තුව අපහසුතාවට ලක් කරනවා.මෙවැනි දෙයක් සිදුවී ඇත්නම් තොරතුරු සහිතව හෙළි කරන්න ඕනැ”
මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය කෙරෙන්නේ පැරණි ”ටෝකන් ”ක්රමයටය. මහව සිට අනුරාධපුරය දක්වා පාලම් පහක් ඉදිකළ යුතුව තිබුණත් එම පාලම් පහ ඉදි නොකර පැරණි පාලම් මතම දුම්රිය මාර්ගය ඉදිකර තිබේ.මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
පාලම්පහ නැවතන් ඉදිකෙරෙන්නේ එම රුපියල් කෝටි තුන්දහසක මුදලින් ද, නැති නම් වෙනත් ණය ආධාර ක්‍රමයක් යටතේද යන්න ප්‍රශ්න සහගත කරුණක් වී ඇතැයි “ලොකෝමොටිව්” වෘත්තීය සමිති ලේකම්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd