ගයාන් සූරියආරච්චි
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියැදුරන්ගේ රියැදුරු බලපත් රජය මගින් අවලංගු කිරීමටත් එම බස් රථවල මගී ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. පී. ජේ. සේනාධීර පැවැසීය.
ඊට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කර අනතුරක් සිදුකළ හොත් අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ඉකුත් දා කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී සිදු කෙරුණු අතර එහිදී බස් රථ 59 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රියැදුරන් 10 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි මෙම විශේෂ මෙහෙයුම් ගාල්ල, මාතර, ගම්පහ, කුරුණෑගල ඇතුළුව දිවයින පුරා සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රථවාහන නිලධාරීන් 5,000 ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසුවේය.
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ පැදවීම සම්බන්ධයෙන් ඉකුත් 2025 වසරේ රියැදුරන් 94 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම වසරේ ගත වූ දින 23 ට රියැදුරන් 494 දෙනකු අත්අඩංගුවට ගත් බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි බස්රථවල මගී ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම දක්වා නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ජාතික ගමනාගමන කොමිසම, ප්‍රවාහන අමාත්‍යාංශය සහ රථවාහන පොලිසිය එක්ව මෙම මෙහෙයුම් දිගින් දිගටම සිදු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මීට වසර 5 කට පමණ කාලයක සිට පැවැති ආණ්ඩුවලට පැවැසූ බවය.
බස් රථවල රියැදුරන් සහ සේවකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූයේ සමාජ ප්‍රශ්න කිහිපයක් නිසා බවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගෙන්වන පළමු පෙළේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඉතා වැදගත් බවත් කී ගැමුණු විජේරත්න කියා සිටියේ බස්රථ සේවකයන්ට නියමිත කාලසටහනක් නොමැතිවීම, ඔවුන්ගේ ශරීර කෘත්‍යයන් සඳහා නිසි ස්ථාන නොමැතිවීම සහ විවේක ගැනීමට නියමිත තැනක් නොමැතිවීම නිසා ඔවුන් බස් රථයේ කාලය ගත කරන බවත් එවිට විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd