සුජිත් හේවාජුලිගේ
පරීක්ෂාවකින් තොරව භාණ්ඩ නිදහස් කිරීම ඇතුළු විවිධ චෝදනාවලට ලක්වූ රේගු නිලධාරීන් පනහකට ආසන්න පිරිසකට පසුගිය කාලයේ දී කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි විගණන විමර්ශනවල දී හෙළිවී ඇත.
ප්‍රකාශ නොකරන ලද සහ අඩුවෙන් ප්‍රකාශ කරන ලද වාහන අමතර කොටස් හා උපාංග ඒකක 608ක්, ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර ගතයුතු ”පාවිච්චි කළ වාහන” 122ක් සහ ටයර් 18 ක් අඩංගු බහාලුමක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු නිලධාරියකුට ආයතන සංග්‍රහය අනුව විනය ක්‍රියාමාර්ග ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
එසේම විදේශීය පෞද්ගලික ආයතනයක් නැවකින් නැවකට භාණ්ඩ මාරු කිරීමේ ක්‍රමය යටතේ (Transshipment) සිංගප්පූරුවෙන් නැව්ගත කළ දුම්වැටි තොගයක් රාජසන්තක කර රුපියල් ලක්ෂ හැටක පමණ මුදලකට වෙන්දේසි කර ඇති අවස්ථාවේ දී ආනයනකරු පැවරූ නඩුවකින් පසු රේගුව වැරදිකරු වී රුපියල් කෝටි හතක පමණ වන්දි මුදලක් ගෙවා ඇති බව එම වාර්තාව සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වරදට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව පවසන විගණන කාර්යාලය රජයට සිදුවූ පාඩුව නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව ද පෙන්වා දෙයි.
බැංකු ඇපකර මත භාණ්ඩ ආනයනය කළ අවස්ථා විසි හතකදී ඇපකර වලංගු කාලයේදී පරීක්ෂණ අවසන් කිරීමට සමගාමීව බැංකු ඇපකර වලංගු කාලය දීර්ඝ කර නොගැනීම හේතුවෙන් රුපියල් කෝටි දහයක බැංකු ඇපකර මත නිදහස් කෙරුණු භාණ්ඩවල දණ්ඩන අය කර ගැනීම අවිනිශ්චිතව පැවතුණ බවත් එම ඇපකර වලංගුව තබා නොගැනීම සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු නිලධාරීන්ට විනයානුකූලව කටයුතු කර නොතිබුණු බවත් විගණන වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd