සුජිත් හේවාජුලිගේ

වැඩ තහනම් කෙරුණු පාර්ලිමේන්තුවේ නි. මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්නගේ පත්වීමට ආධාර අනුබල දුන් බැව් පැවසෙන එහි තවත් නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්  ඉදිරි දිනවල විමර්ශන ආරම්භ කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කුලරත්න සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව එම  කොමිෂන් සභාවට දැනටමත් භාරදී ඇත. එය අල්ලස් කොමිසමට බාර  දෙන ලෙස අදාළ කමිටු වාර්තාවෙන් ද නිර්දේශ කෙරිණ.

මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි.

මේ අතර වැඩ තහනම් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ලබන සතියේ නඩු පැවරීමට චමින්ද කුලරත්නගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයෝ පිරිසක් එම නඩුවට පෙනී සිටිති.

මේ අතර ඒ මහතා පාර්ලිමේන්තුවේ ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ලබන 3 අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී හඬ නැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙති.

සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ද මෙම තීරණයට විරෝධය පළ කරමින් දැනටමත් අදහස් මතු කර ඇත.

මෙම වැඩ තහනම් කිරීමේ තීරණයට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන්ද එතරම් කැමැත්තක් දක්වා නැතත්, පක්ෂයේ පොදු තීරණයට එකඟව නිහඬව සිටීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම ආණ්ඩුවේ තීරණයක් මත සිදුවූවක් නොව තනිකරම පෞද්ගලික කෝන්තරයක් මත සිදුවුණු   දෙයක් බවට  විපක්ෂයේ මන්ත්‍රීවරු සහ නීති විශාරදයෝ චෝදනා කරති.