විපක්ෂ මන්ත්‍රීවරු සූදානම් වෙති අවසන් තීරණය සඳුදා මන්ත්‍රී රැස්වීමේ දී
සුජිත් හේවාජුලිගේ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම භාරදීමට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කරමින් සිටිති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසූවේ සඳුදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ පිළිබඳ අවසාන තීරණයක් ගන්නා බවයි.
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය මීට පෙර සූදානම්වූ නමුත් යම් යම් හේතු මත එය ඉදිරිපත් නොකෙරිණ. එම යෝජනාවම අලුත් කර නැවත ගෙන ඒමේ හැකියාව පවතින බව මන්ත්‍රීවරයා කීවේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ දී අවස්ථාව නොදීම, පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගනිමින් කටයුතු කිරීම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවට දැනුම් නොදී කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණය පරිදි වැඩ තහනමට ලක් කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නොපමාව ගෙන ආ යුතු බවයි.
එසේම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් මත ඉල්ලා අස්වූ හිටපු කථානායක අශෝක රන්වල තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන බවට පොරොන්දු වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් ඒ සහතික ඉදිරිපත් කර නැති බවත් ඒ සම්බන්ධයෙන් ද රජය පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd