මාතලේ - මහේෂ් කීර්තිරත්න

දිට්වා සුළිකුණාටුවෙන් පසු ලෝක උරුම නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය දැඩි සීමාවන්ට යටත්ව දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කළ බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක පැවසීය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ දී මෙම තීරණයට එළඹිණ.

රිවස්ටන් පිවිසුම් මාර්ගය සැහැල්ලු‍ වාහන සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කළ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එල්ලවූ දැවැන්ත අභියෝගයකින් පසු මාර්ග සංවර්ධන අධිකාරිය, යුද හමුදාව, අනෙකුත් සියලු‍ රාජ්‍ය ආයතන සහ ප්‍රදේශයේ සංචාරක සේවා සපයන්නන්ගේ සාමූහික කැපවීම සහ සම්බන්ධීකරණ උත්සාහය හේතුවෙන් කෙටි කාලයක් තුළ රිවස්ටන් සංචාරක කලාපය මෙලෙස යළි සක්‍රිය කිරීමට හැකිවූ බවද දිසාපතිවරයා පැවසීය.

සැහැල්ලු‍ වාහන සඳහා පමණක් සිදුවන මෙම සීමාසහිත විවෘත කිරීම තාක්ෂණික ඇගයීම් සහ පාරිසරික කරුණු මත පදනම්ව ගනු ලැබූ පූර්වාරක්ෂණ පියවරක් වන අතර එය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වේ. සංචාරකයන්ගේ ආරක්ෂාව, රථවාහන තදබදය පාලනය කිරීම සහ ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ හැරුණුවිට අනෙකුත් බර වාහන සහ දොර දෙක සහිත විශාල බස් රථ සීමා කිරීමට මෙහිදී තීරණය කළ බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අතිසංවේදී ලෝක උරුම කලාපය වෙත පිවිසෙන සියලු‍ සංචාරකයන්ගෙන් වගකීම් සහිතව කටයුතු කරන ලෙසත් රථවාහන රීති සහ ස්ථානීය උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලා සිටින බව දිසාපතිවරයා පවසයි.