නිරෝෂණ කුමාර

වසර සියයක් පමණ පැරණි ජාතික මානසික සෞඛ්‍ය පනත වසර ගණනාවක සිට සංශෝධනය කිරීමට උත්සාහ කළ ද, එහි ඇති ව්‍යාකූලත්වය නිසා දිගින් දිගටම ප්‍රමාද වන්නේ යැයි - ජාතික මානසික රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පවසයි.

පනත සංශෝධනය කිරීම පිණිස පැවති සහ වත්මන් රජයට අවස්ථා කීපයකදීම දැනුම් දී ඇතැයි ද, විවිධ ආයතන මගින් විවිධ යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් අදාළ කටයුත්ත දිගින් දිගටම කල් යමින් පවතින්නේ යැයි ද, විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

මේ අතර ජාතික මානසික රෝග විද්‍යායතනයෙන් සුව වූ රෝගීන් පන්සියයක් පමණ නිවෙස්වලට යාමට නොහැකිව රෝහලේ රැඳී සිටීම බරපතළ ගැටලු‍වක් වී අතැයි ද හෙතෙම කීය. මෙය රෝහලට මෙන්ම රජයට විශාල බරක් වී ඇති අතර, ඔවුන් නඩත්තු කිරීමට දිනපතා විශාල මුදලක් වැය වෙන බවද ඔහු කියයි.

ඇතැම් රෝගීන් බාර දුන් පුද්ගලයන් මියගොස් ඇති අතර, ඇතැම් රෝගීන්ගේ ඥාතීන් ඔවුන් භාර ගැනීමට ඉදිරිපත් නොවීම නිසා මේ තත්ත්වය හට ගෙන ඇතැයි, හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.