යොහාන් භාසුර

දරුවන්ගේ සහ ගර්භිණී මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට රජය නොමිලේ සපයන ත්‍රිපෝෂ මාස තුනකට අධික කාලයකින් ලැබී නොමැති බව රට පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල පවසයි.

මෙම තත්ත්වය දරුවන්ගේ, ගර්භිණී මව්වරුන්ගේ සහ ඉපදීමට සිටින දරුවන්ගේ පෝෂණයට සැලකිය යුතු බලපෑමක් වන බවත් මව්වරු ත්‍රිපෝෂ ඉල්ලා සිටිය ද සැපයුම නොමැතිවීමෙන් තමන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ත්‍රිපෝෂ බෙදාහැරීමේ වගකීම දරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ පැවසූහ.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු‍ තොග ප්‍රමාණවත් පරිදි නොලැබීමෙන් නිෂ්පාදනය අකර්මණ්‍ය වී ඇති බවත් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනය කළ බඩඉරිඟු‍ මෙට්‍රික් ටොන් 2,200 කට අධික තොගයක් සති කිහිපයක් තිස්සේ වරායේ සිරවී ඇති බවත් මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසීය.

එම බඩඉරිඟු‍ තොග නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියක් අවශ්‍ය බව කී ත්‍රිපෝෂ සමාගම ඉරිඟු‍ නිදහස් නොකර සති ගණන් තබා ගැනීමෙන් ඒවා විනාශ වන බව ද සඳහන් කළේය.

“අපි ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ කිරිදෙන මව්වරුන්ට සහ දරුවන්ටයි. එහිදී ඇෆ්ලටොක්සීන් මට්ටම සියයට 5 ට වඩා අඩුවිය යුතුයි. දැනට ලංකාවේ නිෂ්පාදනය කරන බඩඉරිඟු‍වලින් ඒ මට්ටම එන්නේ නෑ. ඒක ගොවීන්ගේ වරදක් නොවෙයි. ඊට හේතුව තාක්ෂණය සහ වෘත්තීමභාවය නොතිබීමයි. අපි දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් යනවා හෙක්ටයාර් 500 ක වත් ප්‍රමිතියෙන් යුතුව බඩඉරිඟු‍ වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් කිරීම සඳහා. මේ වසර ඇතුළත දී එය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.“යැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සභාපති අමල් අත්තනායක පැවසීය.