නිශාන්ත කුමාර බණ්ඩාර

හෙපටයිටිස් බී රෝගයෙන් ආරක්ෂාවීම සඳහා නව එන්නත්කරණය ලබන ජුනි පළමුවැනිදා (01දා) සිට දිවයින පුරා ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පැවසුවාය.

මවගෙන් දරුවාට එච්.අයි.වී. හා සිපිලීස් සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා කාලයක සිට එන්නත්කරණ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර එම රෝග ද්විත්වය තුරන් කිරීමේ වැඩසටහන සාර්ථකවීමත් සමග ක්‍රියාත්මක වෙන මෙය නම් කර ඇත්තේ ත්‍රිත්ව එන්නත් වැඩපිළිවෙළ යනුවෙනි.

මවගෙන් දරුවාට හෙපටයිටීස් බී රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගැබිනි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට දියත් කර තිබේ. මෙය ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කළද එය ජුනි පළමුවැනි දා සිට ත්‍රිත්ව එන්නත් කිරීම ලෙස ආරම්භ කෙරේ.

මවගෙන් දරුවාට එච්.අයි.වී. හා සිපිලිස් සම්ප්‍රේෂණය වැළැක්වූ රටක් ලෙස 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2023 සිට 2025 කාලසීමාවේ අඛණ්ඩව සාධනීය තත්ත්වයන් පවත්වා ගෙන ගිය රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  සහතිකය හා ප්‍රශංසාව හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන්ට හෙපටයිටිස් බී තිබේදැයි සොයා බැලීමට මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව විශේෂඥ වෛද්‍ය නිමාලී ජයසූරිය පැවසුවාය. මේ සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සහාය ලබාගන්නා බවද ඇය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරිය මෙසේද පැවසුවාය.

“මවගෙන් දරුවාට එච්.අයි.වී. හා සිපිලීස් සම්ප්‍රේෂණය වීම තුරන් කරපු රටක් විදිහට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව නම් කළා. මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණය හා සිපිලීස් ගොඩක් අඩු මට්ටමක තමයි දැනට ශ්‍රී ලංකාවේ පත්වෙලා තිබෙන්නේ. ආරම්භයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය එච්.අයි.වී. හා සිපිලීස් මෙන්ම හෙපටයිටිස් බී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය තුරන් කිරීමේ අඩිතාලමක් ලෙසයි ජුනි 01 සිට මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. එහිදී  සෑම ගර්භණී මාතාවකටම මේ එන්නට ලබාදෙන්න කටයුතු කරනවා”.