නිශාන්ත කුමාර බණ්ඩාර

දිට්වා සුළිකුණාටුවෙන් විනාශයට පත් සමාගම් සඳහා වන්දි ලබාදීමේ දී සමාගම් මැදුරේ ලියාපදිංචි වූ සමාගම් සඳහා එක නීතියකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි සමාගම් සඳහා තවත් නීතියකුත් වශයෙන් ක්‍රමවේද දෙකක් අනුගමනය කරන බව දේශීය ව්‍යසායකයන් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න පැවසීය.

මේ සම්බන්ධයෙන් හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමක දී එහි නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම වන්දි මුදල් ගෙවීමට මහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැති බවය. සමාගම් මැදුරේ ලියාපදිංචි වී ඇති සමාගම් සඳහා මුදල් ගෙවීමට මෙතෙක් චක්‍රලේඛ නිකුත් වී නොමැති බව ද ප්‍රකාශ කළේ යැයි ද දිට්වා සුළි කුණාටුව සිදුවී මාස පහක් ගත වී ඇතත් මෙම වන්දි මුදල ලබා නොදීම නිසා සිය සමාගම් බොහොමයක් කඩා වැටී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය ව්‍යවසායකයන් බල ගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න මෙසේ පැවසීය. 

”‍අපි රජයේ අනුමත ආයතනවලයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. සමාගම් මැදුරේ ලියාපදිංචි අයට එක නීතියකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි අයට තව නීතියකුත් ක්‍රියාත්මක වීම අසාධාරණයි. අපි ඔක්කොම මේ රටේ ලියාපදිංචි වෙච්ච සමාගම්. කොහේ ලියාපදිංචි වුවත් මේ සියලු‍ සමාගම් ලියාපදිංචි වෙලා ඇත්තේ රජයේ සමාගම්වලයි. එනිසා ඒ සියලු‍ දෙනාටම එක සමානව වන්දි ලබා දෙන්න ඕනෑ. මේ පිළිබඳව අපි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනවා. ඔහු මුදල් ඇමති විදිහට දැන් භාණ්ඩාගාරයේ මුදල් නැහැයි කියන්නේ කොහොමද? දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ විනාශ වූවන්ට වන්දි ලබාදීමට විදේශ ආධාර ලබා දුන්නා. ඇතැම් විදේශීය ආයතනද මුදල් ලබා දුන්නා. ඒ මුදල්වලට මොකද වුණේ? අපි අහන්නේ ඇයි මේ විනාශ වූ සමාගම්වලට වන්දි ගෙවන්න බැරි වුණේ කියලයි. ඩොලර් මිලියන ගණනක් ලැබුණා කියලා වාර්තා වුණා. විදේශ රටවල ඉන්න අපේම ජනතාවත් ඔවුන්ට පුළු‍වන් විදිහට ආධාර කළා. එහෙනම් ඒ මුදල්වලට මොකද වුණේ. ටකරමක් ගියත් මෙච්චරක් දෙනවා. ගොඩනැගිල්ලක් විනාශ වුණොත් මෙච්චරක් දෙනවා කිව්වා. දැන් කෝ එවා කියලයි අපි අහන්නේ.”