සුජිත් හේවාජුලිගේ

වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල්  ජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“වාහන ආනයනය නතර කිරීමට තීන්දුවක් අරගෙන නැහැ. පෞද්ගලික වාහන ඇනවුම් කිරීම මාස කීපයක් පමා කිරීමයි වෙලා තියෙන්නේ. වාහන විතරක් නෙවෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමකට හෝ ආර්ථිකය හැකිළීමට තීරණයක් අරගෙන නැහැ.

තොරතුරු පාදකව මේ සඳහා මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා. පුළුවන් ආකාරයට ආර්ථිකය ප්‍රසාරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජන කැඳවීමට. ඉන්ධන  සහනාධාරය සඳහා බිලියන පනස් හතක් වෙන් කරනවා.

සාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් අපි කළමනාකරණය කරගෙන යනවා. පොලී අනුපාත අතර වෙනස සියයට පහක් තියෙනවා. සාමාන්‍ය  ඉහළ යෑමක් නම් විදේශ විනිමය අනුපාතය පහළ යන්න ඉඩ තියෙනවා. මේ නිසා රුපියල අවප්‍රමාණය වීම ගැටලුවක් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි ඒ කාරණයට මැදිහත් වෙනවා.

ඩොලරය ඉහළ යෑම නිශ්චිතයි. ප්‍රතිචාර දැක්වීමේ ගැටලු‍වක් තියෙනවා. ලංකාවේ තියෙන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් නොවේ. විචල්‍ය අනුපාතිකයක්. ආර්ථිකය හැකිළීමට තීන්දුවක් ගන්නේ නෑ. විදේශ ප්‍රේෂණ වැඩිවෙලා තියෙනවා. ජංගම ගිණුමට ඇතිවිය හැකි බලපෑම අඩු වෙලා තියෙනවා.

උද්ධමනය දැනට තියෙන්නේ රාමුවක් ඇතුළේ. අවශෝෂණය කර ගත හැකි මට්ටමක තියෙන්නේ. රජය සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. අතිරේක බිලියන 100ක සහන පැකේජයක් ඉදිරිපත් කළා. බිලියන පනස් හතක් ඉන්ධන සහනාධාරයට යොමු කරනවා.