
ජාතික ජනබලවේග ආණ්ඩුව ලබා දුන් ඡන්ද පොරොන්දුවක් වූ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා සැකසූ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පොරොන්දුව අනුව විශ්‍රාම වැටුප් පනත අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පතක් සැකසීමට ඉකුත් වසරේ ජූනි මස 17 වැනි දින කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වූ අතර මෙම පනත් කෙටුම්පත එහි ප්‍රතිඵලයකි. සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ද ඉකුත් සතියේ මේ තත්ත්වය ගැන සාකච්ඡා වූ අතර එහිදී ඔවුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟවීමට ද ස්ථීර ආදායමක් නැතිව අසරණව සිටින හිටපු මන්ත්‍රීවරුන් හා යැපෙන්නන්ට මෙම විශ්‍රාම වැටුප ලැබිය යුතු ය යන තීන්දුවකට එළඹුණහ.
බොහෝ හිටපු මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ මාසිකව රුපියල් පනස්දහසකට ආසන්න විශ්‍රාම වැටුපකි. හිටපු මන්ත්‍රීවරුන් ගණනාවකගේම බිරිය ඇතුළු යැපෙන්නන් මාසික විශ්‍රාම වැටුප් දිනයේදී පාර්ලිමේන්තුවටම පැමිණ මෙම මුදල ලබාගන්නා බවද ඔවුන් ඉතා අසරණව සිටින අයුරු එහිදී දැකගත හැකි බවද දේශපාලකයන් අතර කතාබහට ලක්ව ඇත.
මෙයට පෙර මහින්ද රාජපක්ෂ රජයක් යටතේ මුදල් ඇමැතිව සිටි බැසිල් රාජපක්ෂ විශ්‍රාම වැටුප ලබාදීම සඳහා වසර පහක නොව දහයක පාර්ලිමේන්තු කාලයක් සම්පූර්ණ කළ යුතු බවට යෝජනාවක් ගෙන ආවද එම යෝජනාව සම්මත වීම සිදුවූයේ නැත. අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු එම යෝජනාව සිදුකළ ද එම රජය නීතියක් හැටියට ගෙන ඒමට කටයුතු කළේ නැත.
මන්ත්‍රී විශ්‍රාම වැටුප ලැබෙන්නේ වසර පහක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හෙබවීමෙන් පසුවය. ඒ අනුව යම් හෙයකින් විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නොහැකි වුවත් වත්මන් පාර්ලිමේන්තුවේ සිටින කිසිදු නවක මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප හිමි නොවේ. එයට හේතුව නම් වසර පහ පිරීමට අවම වශයෙන් මසකටවත් පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන නිසාය. මෙම තත්ත්වය උදාවූයේ 2015 බලයට ආ යහපාලන රජය වසර හයක්ව පැවැති ජනාධිපතිගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහ දක්වා අඩු කිරීම හේතුවෙනි. විශ්‍රාම වැටුප සක්‍රීය වීමට අවශ්‍ය කාලයට පාර්ලිමේන්තු නිල කාලයද සමාන වීම නිසා වසර පහකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි.
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරෙන සෑම විටකදීම එහි නිර්මාතෘවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද එය ඔහුගේ ක්‍රියාවක් නොව 1976 දී සමගි පෙරමුණ විසින් සම්මත කරන ලද පනතක් බව බොහෝ දෙනා දන්නේ නැත. 1976 දෙසැම්බර් මාසයේදී මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීමේ පනතක් ජාතික රාජ්‍ය සභාවට ගෙන එන ලද්දේ සමගි පෙරමුණු රජයේ එවකට මුදල් ඇමැති ෆීලික්ස් ආර්.ඩී. බණ්ඩාරනායකගේ යෝජනාවක් ලෙසය. එවකට පාර්ලිමේන්තුව හැඳින්වූයේ ජාතික රාජ්‍ය සභාව ලෙසය. දෙසැම්බර් මස විවාද කර සම්මත කර මෙම පනත කතානායක අත්සනින් නීතියක් බවට පත්වූයේ 1977 ජනවාරි 7 වැනි දිනය. එතැන් සිට හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සිදුවිය. ජේ.ආර්. ජයවර්ධන රජය බලයට පත්වූයේ 1977 ජූලි මාසයේදීය. ඒ අනුව මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කළේ ජයවර්ධන ජනාධිපතිවරයාය යන්න සම්පූර්ණයෙන්ම වැරදි කියමනකි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තමා විසින් සකසන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේද මන්ත්‍රී විශ්‍රාම වැටුප දිගටම පවත්වාගෙන ගියෝය.
1976 දෙසැම්බර් මාසයේදී ජාතික රාජ්‍ය සභාවේදී පැවැති මෙම පනත පිළිබඳ විවාදයේදී එජාපයේ සහ වාමාංශික පක්ෂවල ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විරෝධය ද පනතට එල්ල විය.
ලස්සප දකුණු කොළඹ එවක මන්ත්‍රී බර්නාඩ් සොයිසා පැවැසුවේ ප්‍රතිපත්තියක් වශයෙන් තම පක්ෂය මෙයට එකඟ නමුත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන කීපයක් යෝජනා කරන බවය.
එයට පිළිතුරු දෙමින් කේ.බී. රත්නායක ඇමැතිවරයා සඳහන් කළේ මෙම පනත සකස් කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයකින් බවත් සංශෝධන අවශ්‍ය නම් එය කාරක සභාවේදී කළ හැකි බවත්ය. බර්නාඩ් වැනි වාමාංශික පක්ෂවල මන්ත්‍රීවරුන් එම විවාදයේදී පවසා තිබුණේ මන්ත්‍රීවරුන් වශයෙන් සිටියදී අල්ලස් ගැනීම ආදී වැරැද්දකට උසාවියෙන් වැරදිකරුවකු වූ අයට විශ්‍රාම වැටුප දීම වැරදි බවය.
ප්‍රින්ස් ගුණසේකර වැනි මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහිදී පවසා තිබුණේ වසර පහක කාලයක් ජාතික රාජ්‍ය සභාවේ සිටි මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ගෙවීම වැරදි බවය. එම කාල සීමාව වසර දහයක් දක්වාවත් ඉහළ දැමිය යුතු බව ඔවුන් පවසා තිබිණ. එයට පිළිතුරු දුන් කතානායක ස්ටැන්ලි තිලකරත්න මෙසේ පැවසීය.
‘පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී හබරාදූව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මෙවැනි අදහසක් දැරුවේ නෑ. විශ්‍රාම වැටුප් ගෙවීම ගැන කිසිම පක්ෂ නායකයකු විරුද්ධ වූයේ නෑ. ඒ බව මා මේ සභාවටත් රටටත් දැනුම් දිය යුතුයි.’ කතානායකවරයා පැවසීය.
මේ වන විට හිටපු මන්ත්‍රීවරුන් ගණනාවක්ම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනුකර ඇති අතර වත්මන් රජය සැකසූ පනතේ ක්‍රියාත්මක භාවය සිදුවනවා ද නැද්ද යන්න තීන්දු වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවය.
එයට පිළිතුරු දෙමින් ප්‍රින්ස් ගුණසේකර කියා සිටියේ මහ මැතිවරණයකින් එක් වරක් පාවී ආ පලියට විශ්‍රාම වැටුප් ගෙවිය යුතු නැති බවත් දෙවරක් මැති සබයට එන අය සුදුස්සන් ලෙස තමා යෝජනා කරන බවය. ‘නීතිඥයකු ලෙස මට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නෑ. මම විශ්‍රාම වැටුප ගන්නේ නෑ...’ ප්‍රින්ස් ගුණසේකර මන්ත්‍රීවරයා පැවසීය.
එම පාර්ලිමේන්තුවේ පෙරලිකාර මන්ත්‍රීවරයකු වූ හබරාදූවේ ප්‍රින්ස් ගුණසේකර එම පනතට සංශෝධනයක් ගෙන එමින් අල්ලස් හෝ දූෂණ චෝදනාවලට හා වත්කම් පනත යටතේ වැරදි තොරතුරු සපයා අධිකරණය හමුවේ වැරදිකරුවන් වන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කළ යුතු යැයි ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 14 කින් පරාජය කිරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළේය.
මුදල් හා අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කියා සිටියේ යටියන්තොට මන්ත්‍රීවරයා (ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා) රජය තුළ සිටියදී මෙම පනතට විශාල දායකත්වයක් දැක්වූ බවය. එයට ස්තූති කළ බණ්ඩාරනායක මෙසේ ද කීවේය. ‘විවිධ තර්ක ඉදිරිපත් වුණා. අපට දේශපාලන තර්ක ඉදිරිපත් කිරීමෙන් හෝ විවාද කිරීමෙන් නොව මන්ත්‍රීවරුන්ගේ ජීවන තත්ත්වය ගැන ලැජ්ජාවකින් තොරව කටයුතු කිරීමට සැලැස්විය යුතුයි. එසේ කළ යුත්තේ මේ සභාවේ සේවය කරන මෙන්ම අනාගතයේදී සේවය කරන්නට ඉදිරිපත් වන අයගේ යහපත සඳහායි.’ යැයිද අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා කීවේය.
ඇතැම් මන්ත්‍රීවරුන් එම විවාදයේදී පැවසුවේ එවකට මෙම සභාවේ ධනවතකු ලෙස සැලකුණු බොනී ජයසූරිය වැන්නන්ට විශ්‍රාම වැටුපක් ගෙවීම අනවශ්‍ය බවය.
විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන
“මේ කෙටුම්පතට අප පක්ෂයි. මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම මීට පෙර කළ යුතුව තිබූ දෙයක්. අප සංශෝධන ගෙනෙන්නේත් නෑ. මෙය ඉතා ඉක්මනින් නීති පොතට ඇතුළු වනවා දකින්නට අප කැමැතියි. මන්ත්‍රීවරුන්ට ලැබෙන රුපියල් 1000 වැටුප ප්‍රමාණවත් නෑ. මන්ත්‍රීවරුන් අල්ලස් ගැනීමෙන් වළක්වන්න පියවර ගත යුතුයි. මා හිතනවා මට නුදුරු කාලයේම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ගැන සලකා බලයට අවස්ථාව ලැබේය” කියා පැවසීය.
ගාල්ල මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතා පැවසුවේ මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ගෙවීමට අගමැතිනියගේ රජය ගත් පියවර ඉතා නිවැරදි බවය.
“මීට අවුරුදු විස්සකට කලින් මෙම විශ්‍රාම වැටුප දෙන්න තිබුණේ. මන්ත්‍රීන්ට පමණක් නොවෙයි රටේ සියලු දෙනාටම විශ්‍රාම අවශ්‍යයි.” දහනායක පැවසීය.
ලසසපයේ අගලවත්ත මන්ත්‍රී කොල්වින් ආර්. ද සිල්වා කියා සිටියේ 1931, 1936 හා 1947 දී තේරී පත්වූයේ ධනවත් පුද්ගලයන් බවය. එහෙත් 1956 න් පසුව සාමාන්‍ය පවුල්වල පුද්ගලයන් ආ හෙයින් ජීවත්වීමේ මාර්ගයක් ඔවුන්ට අවශ්‍ය බවද රජයේ සේවකයන්ට වසර දහයක සේවයකින් පසුව විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන නීතියට මන්ත්‍රීවරුන්ටත් ක්‍රියාත්මක කරන ලෙස ද ඒ ඉල්ලා සිටියේය.
පක්ෂ මන්ත්‍රීවරුන් (ලැයිස්තු) හා එවකට තිබූ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුප් ගෙවිය යුතු දැයි සලකා බලන බවට කේ.බී. රත්නායක ඇමැතිවරයා සඳහන් කළේය. පනත සම්මත වූයේ පක්ෂව ඡන්ද 50 ක්ද විරුද්ධව ඡන්ද 8 ක් ද ලැබීමෙනි.
එම විවාදයෙන් අනුමත වූ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා නීතියක් බවට පත්වූයේ 1977 ජනවාරි මස 7 වැනිදාය. ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත නමින් එම කෙටුම්පත නීතියක් බවට පත් විය.
පනතේ මෙසේ සඳහන් වෙයි.
ව්‍යවස්ථා දායකයේ නියෝජනය අවසන් වී ඇති තැනැත්තන්ට විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීම සඳහා දායක මුදල් නොගෙවන විශ්‍රාම වැටුප ක්‍රමයක් ඇති කරනු ලැබේ.
1931 ජූලි මස 7 වැනි දිනයෙන් පසු ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළා වූ ද මෙම පනත ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටින්නා වූද යම් තැනැත්තෙක් මෙහි මින් මතු සලස්වා ඇති විධිවිධානවලට යටත්ව මේ පනත යටතේ විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන්නේය.
ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකු වශයෙන් මුළුමනින්ම අවුරුදු පහක අවම කාලයක් සේවය කළ යම් තැනැත්තෙක් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකුට දැනට ගෙවනු ලබන මූලික මාසික දීමනාවෙන් තුනෙන් පංගුවක් වන්නා වූ විශ්‍රාම වැටුපක්ද ඔහු මුළුමනින්ම අවුරුදු පහළොවක කාලයක් හෝ ඊට වැඩි කාලයක් මන්ත්‍රීවරයකු ලෙස සේවය කර ඇත්තේ නම් එකී මාසික දීමනාවෙන් උපරිම වශයෙන් තුනෙන් දෙපංගුවක් වන්නා වූ විශ්‍රාම වැටුපක් ද මාසිකව ගෙවනු ලැබීමට හිමිකම් ලබන්නේය.
1931 පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් තේරී පත්ව ඒ වන විට ජීවතුන් අතර සිටි මන්ත්‍රීවරුන් ද ඇතුළුව ඒ දක්වා මන්ත්‍රී ධුර දරා විශ්‍රාමිකව දිවි ගෙවූ සියලු මහජන නියෝජිතයන් සඳහා විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ වූයේ 1977 ජනවාරි මාසයේ සිටය. 1977 ජූලි මස බලයට ආ එජාප රජයද මෙම විශ්‍රාම වැටුප ගෙවීම දිගටම කරගෙන ගියේය. 1990 අංක 47 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් සංශෝධන පනතෙන් මෙම විශ්‍රාම හිමිකම මන්ත්‍රීවරයා මියගිය පසු ඔහුගේ බිරියට හා දරුවන්ට ද ලැබෙන සේ සංශෝධනය කෙරිණි.
මේ වන විට හිටපු මන්ත්‍රීවරුන් ගණනාවක්ම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනුකර ඇති අතර වත්මන් රජය සැකසූ පනතේ ක්‍රියාත්මක භාවය සිදුවනවා ද නැද්ද යන්න තීන්දු වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවය. මේ සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව විවිධ අදහස් ඉදිරිපත් වන මහජන උනන්දුවක් ද ඇතිවන නඩු කටයුත්තක් බවට එම පෙත්සම් විභාගය පත්වනු ඇතැයි පෙනෙන්නට තිබේ.
ප්‍රේමකීර්ති රණතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd