IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කළ හිටපු ප්‍රධානචාර්යවරයෙකු වූ තිලක් වීරසිංහ මැතිතුමා කෙබඳු කෙනෙක් ද යන්න හඳුන්වාදීම සුළු පටු කාර්යයක් නොවේ.
එතුමා ගුරුවරයෙකු ලෙසද, ගත් කතුවරයෙකු ලෙසද, විද්‍යා විෂය පිළිබඳ මනා දැනුමකින් යුක්ත වූ ලේඛකයෙකු සහ දේශකයෙකු ලෙසද, පුවත්පත් කලාවේදියෙකු ලෙසද, රූපවාහිනී, මුතුහර හා ගුවන්විදුලි වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස ද හිමිවූයේ අද්විතීය ස්ථානයකි.
එතුමාගේ ජීවිත කථාවෙන්ම ආරම්භය ගතහොත් කාලෝචිතයැයි හැඟේ.
එතුමා තම ගුරුභූමිකාව හා හා පුරා ඇරඹුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයෙන්ය. ඉන්පසු තම ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදුණු  එතුමා, මාතර රාහුල විදුහලේ ගුරුවරයෙකු ලෙස විශාල කාර්යභාරයක්  ඉටුකර කොළඹ ලු‍ම්බිණි විද්‍යාලයට පැමිණියේය.
එවකට  අධ්‍යාපන ඇමතිතුමාව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමාගේ බලවත් ඉල්ලීම මත - 1966 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණියේය. මෙතුමා විශාල වගකීම් රාශියක් හිතේ රඳවාගෙන, උපන්ගම වූ මාතර අතහැර කොළඹට පැමිණියේ තම මව ඇතුළු ඥාතී හිත මිත්‍රාදීන්ගේ බලවත් විරෝධය නොසලකා හරිමිනි. පියාගේ හදිසි අභාවයෙන් තනි වූ මවත්, සහෝදර, සහෝදරියන් දසදෙනාගේත් උන්නතිය උදෙසා වැඩිමහල් සහෝදරයා ලෙස එම අභියෝගය භාරගත්තා විය හැක.


මෙසේ කඩවසම් තරුණයකු ලෙස කොළඹ ආනන්ද විදුහලට පැමිණ ඔහු නොබෝ දිනකින්ම දක්ෂ කැපී පෙනෙන ගුරුවරයෙක් විය. විද්‍යා විෂය දරුවන්ගේ සිත්ගන්නා ලෙස ළමා මනසට ගෝචර කළේ විනෝදය හාස්‍ය සහ ජීවිතයේ රසමුසු තැන් විෂය සමගාමීව ළං කර දෙමිනි. විද්‍යාව, විද්‍යාවට සීමා නොකර - ජීවිත පාඩමක් ලෙස දරුවන්ගේ ජීවිත මනාව ඔප් නැංවීමට කළ සේවය මෙතෙකැයි කිව නොහැක. එමෙන්ම ආනන්ද විද්‍යාලයේ එවකට සාමාන්‍ය පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙසද, ව්‍යවහාරික ගණිත ගුරුවරයෙකු ලෙසද, දරුවන්ගේ උන්නතියට කළ සේවාවන් රාශියකි.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දී විද්‍යා ඉගැන්වීමේ ක්‍රමවේදයක් ලෙස විද්‍යා, චිත්‍රකතා පළමුවරට නව මුහුණුවරකින් එළි දැක්වූ පළමු පුවත්පත් ලේඛකයා ඔහු විය.
ඔබගේ මතකය අවදිකළොත් 70 දශකයේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් පල කළ “සතුට” පුවත්පතේ “රේණු - රංජි” විද්‍යා ආශ්‍රිත කතා පෙළ මෙතුමා විසින් රචනා කරන ලද්දකි. බාල, තරුණ, මහලු කා අතරත් කොතරම් ජනප්‍රියවී ද යත් - ඊළඟ අඟහරුවාදා වනතෙක් පාඨකයින් බලා සිටියේ ඇඟිලි ගනිමිනි.
මෙම “රේණු - රංජි” චිත්‍රකථාවටම අපූරුවට ගලපමින් තෙළිතුඩ අවදි කළේ - ඔහුගේම ශිෂ්‍යයෙකු වූ ආනන්ද පුතණුවෙක් වන එවකට නව වන වසරේ ඉගෙනුම ලැබූ රුවන් තරස්වින් අබේසිංහ විසිනි. ඔහු අද පුවත්පත් කලාවේ ප්‍රසිද්ධ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකි.
සතුට පත්‍රයේ පළ වූ “පොළවෙන් උඩට” චිත්‍ර කතාව ද, එතුමා විසින් රචිත තවත් චිත්‍ර කතාවකි. එතැනින් නොනැවතුණු ඔහු “දිනමිණ” පුවත්පතේ කතුවැකිය පළකළ මැදපිටුවේ අ.පො.ස. (සා. පෙළ) විද්‍යා පාඩම් පෙළක් ප්‍රකාශයට පත් කළේය. එය සිසු දරුවන්ට පමණක් නොව විද්‍යා ගුරුවරුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට මහත් පිටුවහලක් විය. අදටත් එවන් ගුරුවරුන්ගේ කතිකාවට මෙතුමා ලක්ව ඇත්තේ එහි ඇති ජීවමාන වටිනාකමක් ඔප් නංවමිනි. එසේම “මිහිර” පුවත්පතේ විද්‍යා ලිපි පෙළ ප්‍රායෝගිකව සිසු දරුවන්ට මෙන්ම ගුරුදෙගුරුන්ට ඉගැන්වීම් ක්‍රියාවලියට මෙවලමක් විය.
ඉන්පසු ග්‍රන්ථකරණයට යොමු වූ මෙතුමා 4 ශ්‍රේණියේ සිසු දරුවන්ට “ආරම්භක විද්‍යාව” විෂය හොඳින් හැදෑරීම සඳහා පෙළ පොතක් හා වැඩපොතක් අසූව දශකයේ මුල් භාගයේදී පළමු වරට හඳුන්වා 
දෙන ලදී.
අසූව දශකයේ අගභාගයේදී පමණ විෂය නිර්දේශයට අ.පො.ස. (සා. පෙළ) සඳහා “විද්‍යාව I හා විද්‍යාව II” “ක්‍රමාරෝහණ අභ්‍යාස” ග්‍රන්ථ දෙකක් එතුමා විසින් පළකරන ලදී. එය සිසුන් හා ගුරුවරුන් අතර ඉතා ඉක්මණින් ප්‍රචලිත හා ජනප්‍රිය වූ නිසා අවස්ථා කීපයකදී මුද්‍රණ වාර කීපයක්ම කරන්නට සිදුවූයේ, ඉල්ලීමට සමගාමීවය. මෙම ග්‍රන්ථ දෙක උසස් පෙළ සිසුන් අතර පවා බෙහෙවින් ජනප්‍රිය වූවකි.
එසේම භෞතික විද්‍යා පාඩම් මාලාවේ “ඉලෙක්ට්‍රෝනික විද්‍යා ප්‍රවේශය” පිළිබඳ රචිත ග්‍රන්ථය ගොඩගේ ප්‍රකාශකයින්ගේ සහායද ඇතිව පිට කිරීමට සමත්විය.
එපමණකුදු නොව ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වූ මෙතුමා 80 හා 90 දශකවල රූපවාහිනියේ ජනප්‍රිය ළමා වැඩසටහනක් වූ “මුතුහර” නිෂ්පාදිකා ලලිතා සිරිබද්දන සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගොස් “මුතුහර” ළමා සමාජවල දක්ෂ දරුවන් තෝරා නර්තනයට, කලාවට, මෙන්ම කථිකත්වයට ද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලට යොමුකළේ මහත් කැපවීමකිනි. පසුගිය වකවානුවේ අපේ රටේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ චින්තක කරුණාරත්න  ද ආනන්දයෙන් බිහි වූ එවන් මුතුහර සාමාජිකයෙකි.
කොළඹ ආනන්ද විදුහලේ වසර තිහකට වැඩි කලක් සේවය කළ මෙතුමා තනතුරු රාශියක් මහත් වගකීමෙන් හා වගවීමෙන් ඉටු කළේය.
කණිෂ්ඨ හා ද්විතියක අංශ ප්‍රධානාචාර්ය ලෙසද, ගුරු සුභසාධක සංගමයේ ආරම්භක ලේකම් ලෙසද, ආනන්ද ශත සංවත්සර උත්සවයේ හා ප්‍රදර්ශනයේ සම්බන්ධීකරණ ලේකම් ලෙසද, සංවත්සර සමරු කළාපයේ කර්තෘ ලෙසද, විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ආදි සිසු දරුවන් වෙනුවෙන් රැකියා බැංකුවක් පවත්වාගෙන යාමද, මානව හිමිකම් පදනම් ආයතනයේ කාර්යයන් වෙනුවෙන් ඉන්දියාවේ පැවති සම්මේලනයේ ආනන්දය නියෝජනය කිරීම වැනි බොහෝ දේ ආනන්දයේ දරුවන්ට මෙන්ම විද්‍යාලයේ කීර්ති නාමයට දහසක් දේ එක් කළේ ගසට පොත්ත මෙන් ඇද බැඳ ගනිමින් ය. ආනන්දයේ දරුවන් අතර පමණක් නොව ගුරුවරුන් අතර ද, මෙතුමා සුහදව කටයුතු කළ අතර ඉතාම ජනප්‍රිය ගුරුවරයකු ද විය.
ජීවිතයේ අවසාන භාගයේදී එනම් 2023 ජනවාරි මස “සරසවි ප්‍රකාශකයන්” නිකුත් කළ එතුමා විසින් රචිත “මං පුංචි සන්දියේ” නවකතාව ජීවන අත්දැකීම් මුසුකොට ගත් රසාස්වාදය, වින්දනය අන් අය අතරට ගෙන ඒමට සමත් වූවකි. මෙම ග්‍රන්ථය මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර දුටුවේ මෙසේය. “මං පුංචි සන්දියේ කෘතිය ඉතා රසවත්, හරවත්, අත්දැකීම් සමුදායකි. 
එහි ඇති පෙරවදනම අගනේය. පසුගිය සියවසේ සාමාජීය, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික, සංස්කෘතිමය සංසිද්ධින් තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතයකි” යනුවෙනි.
කඩවත සිංහ සමාජය ඇති කිරීමට පුරෝගාමී වූයේ ද මෙතුමාය. එසේම කඩවත සණස සභාපති ලෙසද දිගු කලක් තම කාර්යය නොපිරිහෙලා ඉටු කළේය. කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ ප්‍රධාන දායකයෙක් ද වූයේය.
දරුවන් වෙනුවෙනුත්, පොදුවේ සමාජය වෙනුවෙනුත් ඉතා ගුණගරුකව විශාල කාර්ය භාරයකට උරදුන් මෙතුමා විශිෂ්ටයන් අතර විශිෂ්ඨයෙකි. දක්ෂතා බොහොමයකින් හෙබි මෙම ගුරු දේවයාණන් සදහටම අපෙන් සමුගෙන තෙමසක් පිරීමට ආසන්න වූ බැවින්, එතුමා වෙනුවෙන් කළගුණ සැලකීම් වස් මෙවන් ගුණානුස්මරණය මෙසේ සනිටුහන් වූ වගයි.
එම යුග පුරුෂයාණනි, නැවත අපි අතර ඉපිද, අපට අත්වැලක් වේවායි. අපේ පැතුමයි.
ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්යවරුන් වන
එස්.එච්.බන්දුල සහ
මානෙල් කටුලන්ද



අදහස් (0)

විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන

ඔබේ අදහස් එවන්න

 

 

නිම්තෙර

ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ආරම්භකයාගේ අභාවය
2025 ජනවාරි මස 27 87 0

මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට


පාසල පන්සලක් කළ විදුහල්පති යතිවරයාණෝ
2025 ජනවාරි මස 20 83 0

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.


මියන්මාරයෙන් ආ අනාථයන් තවත් කල්ලතෝනි ප්‍රශ්නයක් වේද?
2025 ජනවාරි මස 20 80 0

ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ


සාමාජයේ සැමටම වඩා තමන් ඉදිරියෙන් සිටිනවා වැනි මානසිකත්වයක් මාධ්‍යයට තියෙනවා
2025 ජනවාරි මස 15 49 0

න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.


උදේෂිකා ජීවමානයි
2025 ජනවාරි මස 06 154 0

මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ


විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන
2024 දෙසැම්බර් මස 30 104 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 43 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 844 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site