
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකීය අනන්‍යතාව විදහා දක්වන ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයයි. මෙය හුදෙක් දින දර්ශනයක වෙනසක් සැමරීමට එහා ගිය, සොබාදහම සහ තාරකා විද්‍යාව සමඟ දැඩි ලෙස බැඳුණු උත්සවයකි. මෙම මංගල්‍යයේ ප්‍රධාන ලක්ෂණය ලෙස සූර්ය ගමන (තාරකා විද්‍යාත්මක පදනම) හැඳින්වේ.
අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟය. මෙය ලක්වැසි ජනතාව විසින් “සූර්ය මංගල්‍යය” ලෙසද හඳුන්වනු ලබයි. “බක්මහ සූර්ය මංගල්‍යය” යන විවිධ නම් ගම්වලින් මෙය හැඳින්වේ.
අලුත් අවුරුද්දේ තවත් විශේෂත්වයක් වන්නේ සියලුම වැඩකටයුතු නැකත් පදනම් කරගෙන සිදු කිරීමය. මෙම නැකත් සාදනු ලබන්නේ සූර්ය උදාවන වේලාව පදනම් කරගෙන සිදුකරන ගණනය කිරීම් මතය. ඒ අනුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ස්වභාවධර්මයට කෘතගුණ දක්වන, පාරම්පරික සිරිත් විරිත් සුරකින කා බී විනෝද වන සංස්කෘතික උලෙළකි.
ඈත අතීතයේ සිටම ලාංකීය ජනතාව කෘෂිකාර්මික ජීවන රටාවත් සමග සූර්යයාට කෘතගුණ සැලකීමට පුරැදු පුහුණු වී සිටියහ. අපේ සිංහල සංස්කෘතිය හා ආගම පෝෂණය වූ ඉන්දියානු ආභාසයන්ද මෙහිදී බලපා තිබේ. එසේම අතීතයේ රජ දවසද සැණකෙළි පවත්වා සූර්ය සැමරුම් සිදු කරන්නට යෙදුණු බවට ඉතිහාස තොරතුරුවල සදහන් වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දීර්ඝකාලීන යටත් විජිත සමයන්හිදී මෙම සාම්ප්‍රදායික බක්මහ උලෙළට විවිධ අංගෝපාංග එක් වෙමින් වෙනස්කම්වලට භාජනය වෙමින් සංස්කෘතික අංගයක් ලෙස ඉදිරියට ගලා විත් තිබේ. New Year යන ඉංග්‍රීසි භාෂාවෙන් “අලුත් අවුරුද්ද” යන යෙදුම යටත්විජිත සමයන්හිදී ඈඳුණ බවටද මතයක් පවතී. මෙම යුගයන්හිදී ඇතැම් චාරිත්‍ර ගිලිහී යාම අරුමයක් නොවේ.
නැකත
යටත් විජිත බලපෑම් කෙසේ වුවද මීට වසර 200කට පෙර ඉතිහාස කරුණු හා ජනශ්‍රැති අධ්‍යයනයෙන් පෙනී යන්නේ බොහෝ පැරණි චාරිත්‍ර ප්‍රාදේශීය මට්ටමින් හෝ පැවත ගෙන එන බවය. සූර්ය උදාව මත නැකත් සීට්ටුව සැකසීම පාරම්පරික සිරිත් රැකගෙන ආ පුද්ගලයෙකු විසින් කෘෂි කර්මාන්තයට, වෙදකමට හා එදිනෙදා ජීවිතයේ කටයුතුවල පහසුව පිණිස ප්‍රදේශයට ගැළපෙන පරිදි සිදුකොට තිබේ. බොහෝ විට ප්‍රාදේශීයව විසූ නැකත් රාල විසින් මෙම කාර්ය සිදුකොට ඇත. එයට හේතුව අප රටේ සූර්ය උදාව ප්‍රාදේශීය වශයෙන් වෙනස්වන නිසාය.
මෙසේ ප්‍රාදේශීයව සිදුවන සූර්ය උදාව අනුව ගණනය කර නැකත් සීට්ටු සැකසීම සිදුවිය. රට පුරා අලුත් අවුරුදු සම්ප්‍රදායන් හා සිරිත් විරිත් කැවිලි වර්ග සැකසීම පිළිබඳ අදටත් විවිධත්වයක් පවතින්නේ ඒබැවිනි. උදාහරණයක් ලෙස අලුත් අවුරුද්ද වෙනුවෙන් සකසන හත්මාළුව සඳහා යොදා ගන්නා එළවළු හා අමුද්‍රව්‍ය ප්‍රාදේශීයව වෙනස්කම්වවලින් යුක්තය. සමහර ප්‍රදේශවල අවුරුදු කෑම මේසයෙහි හත්මාළුවක් දක්නට ලැබෙන්නේද නැත. රටම එකට චාරිත්‍ර කිරීම පෙර ග්‍රාමීය සමාජයේ නොපැවතිණ. එය අප රටේ සිංහල අවුරුදු සංස්කෘතිය නොවේ. එය ප්‍රාදේශීය විවිධත්වය හා අනන්‍යතාව මත සිදු වූ සංස්කෘතික කටයුත්තකි.
ඈපා පංචාංග ලිත සහ මුද්‍රිත ලිතේ ආගමනය
මෙම තත්ත්වය යම් තාක් දුරකට වෙනස් වූයේ ක්‍රි.ව. 1855 වන විට ප්‍රථම වරට මෙරට මුද්‍රණාලයක් අරඹා පංචාංග ලිත් මුද්‍රණය ආරම්භ කිරීමෙන් පසුවය. ඒ බෙන්තර ඇල්පිටියේ වලල්ලාවිට කෝරළයේ පිටිගල වැයිහේනේදී උපත ලැබූ දොන් පිලිප්ද සිල්වා ඈපා අප්පුහාමි යන අය විසිනි. ඒ වන විට ගමේ නැතක් කරුවන් සතු වූ ප්‍රාදේශීය මට්ටමින් සැකසූ අවුරුදු නැකත් සීට්ටුව ඈපා ලිතට එක් වී රට පුරා ව්‍යාප්ත වීම සිදු වී අද දක්වා වාර්ෂිකව මෙම ලිත මුද්‍රණය වේ. පසුකාලීනව මහාපරිමාණ ව්‍යාපාරික කටයුත්තක් දක්වා ලිත් මුද්‍රණය වර්ධනය වීමත් සමග විවිධ නම් යටතේ විවිධ පුද්ගලයන් විසින් වෙළඳපොළට ලිත් නිකුත් කෙරිණ. ඒ අනුව දිවයින පුරා අලුත් අවුරුදු නැකත් කටයුතු ලිත් ආශ්‍රයෙන් සිදු කිරීම ආරම්භ විය. එහෙත් විවිධ ලිත්වල ප්‍රාදේශීය සූර්ය උදාව අනුව සිදුවන ගණනය කිරීම් මත නැකත්වල යම් යම් වෙනස්කම් පැවත තිබේ.
2024 වසරේ ගැටුම සහ නැකත් කමිටුව විසුරුවා හැරීම
මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ 1988 දී පමණ එවකට සංස්කෘතික කටයුතු ඇමති වශයෙන් කටයුතු කළ වි.ජ.මු. ලොකුබණ්ඩාර ආරම්භ කළ “සිංහල අවුරුදු නැකත් කමිටුව “මගිනි. මෙම කමිටුව නිර්මාණය කළේ” රටම එකට ” නැකත් කිරීමේ අදහස පෙරදැරි කරගෙනය.මෙහිදී එකිනෙකට වෙනස් ප්‍රාදේශීය ලිත් කරුවන් සියල්ල එක්තැන් කොට රටම එකට ලෙස කොළඹ මුල් කරගෙන සිංහල අලුත් අවුරුදු නැකත් සෑදීම සිදුකොට තිබුණි. මෙමගින් ශ්‍රී ලාංකිකයන් එකම නැකතකට එකමුතු වීමකට වඩා මාධ්‍ය සංදර්ශන යුගයක ඇරඹුම සිදුවිය. එය සිදුවූයේ ප්‍රායෝගිකව වෙළෙඳ පළ වුවමනා හා දේශපාලන වුවමනා ඉටු වීමක් බවට චෝදනා නැගේ.
පසුකාලීනව මෙ නැකත් කමිටුව මගින් ඉරිපත් කළ නැකත් සම්බන්ධයෙන් විවිධ මතවාද පැන නැගිණ. කොළඹ මුල් කරගෙන පංචම කාල හෝරාවට පමණක් වේලාව ශුද්ධ කොට භාවිතාවට ගැනීමෙන් විවිධ දෝෂ සහගත තත්ත්වයන් ඇතිවන බවට චෝදනා එල්ල විය. එසේම 2024 අවුරුද්දේ මධ්‍යම රාත්‍රියට නැකත් සෑදීම හා වේලාවන් දෙකකට අවුරුදු නැකත් ලබා දීම ආදී ක්‍රියා මත ප්‍රසිද්ධියේ විවේචන එල්ලවී ගැටුමක් දක්වා වර්ධනය විය. පසු ගිය 2024 වසර පමණ වන විට ඉහත සඳහන් කළ නැකත් කමිටුව දේශපාලන නායකත්වයට අවශ්‍ය ආකාරයට නුසුදුසු පුද්ගලයන් පත්කිරීම් හා මේ සදහා ලිත් ව්‍යාපාරික ප්‍රජාව එක් වීමෙන් සිය ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමට “සිංහල අවුරුදු නැකත් කමිටු සාමාජික වෙනුවට “රාජ්‍ය නැකත් කමිටු සාමාජික” යන නම සිය ප්‍රචාරණයට යොදාගැනීම ආදී අයථා කටයුතු සිදු කළ බවටද චෝදනා එල්ලවිය. ලිපි ශීර්ෂවල මෙන්ම විවිධ මාධ්‍ය නාළිකා හරහා ගෙන ගිය විවිධ ප්‍රචාරණයන්ට මහ ජනතාව හසු වීමද ඇතැමුන් ජ්‍යොතිෂය යන විෂය පිළිබඳ අප්‍රසාදය ඇතිකර ගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන්නට ඇත. මෙවැනි චෝදනා හා අයථා කටයුතු හේතුවෙන් 2024.08.22 වන දින හිටපු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විසින් එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය වරයා වූ විදුර වික්‍රමනායකගේ උපදෙස් පරිදි “සිංහල අවුරුදුනැකත් කමිටුව” විසුරුවා හරින ලදි.
මේ අනුව 2025 වසරට තාවකාලික අවුරුදු නැකත් සකසා තිබුණේ පොහොය කමිටුව නියෝජනය කළ ලිත් ව්‍යාපාරිකයන් 06 දෙනෙකු විසිනි. පොහොය කමිටුව ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ වන අතර එය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් කමිටුවක් නොවේ.
වසරේ නිවාඩු දින සැකසීම හා පෝය දින වෙන් කිරීම පෝය කමිටුවේ කාර්යභාරයයි. අවුරුදු නැකත් සෑදීම ඔවුන්ට අයත් රාජකාරියක් නොවේ.
මේ අනුව පසුගිය වසර කිහිපයෙහි නැකත් පිළි ගැනීම හා පිළි නොගැනීම මත පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකක් ඇති වීමෙන් මෙම ගැටලුව ඔඩු දුවන තුවාලයක් තරමට උස්සන්න වී තිබේ. මෙම තත්ත්වය මත අද වන විට ශ්‍රී ලාංකික ප්‍රජාව කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ සාම්ප්‍රදායික සිංහල හා දමිළ අලුත් අවුරුද්ද මතවාදී මෙන්ම සමාජ සංස්කෘතික ගැටලුවක් දක්වා වර්ධනය වී තිබේ. 2026 වර්ෂයේ අලුත් අවුරුදු උදාව ආසන්නයේ නැවතත් මෙම අලුත් අවුරුදු නැකත් පත්‍රය යළි කරළියට පැමිණ තිබේ.
ජ්‍යොතීර්වේදීන්ගේ විද්වත් කමිටුවේ මැදිහත්වීම
ජ්‍යොතීර් වේදීන්ගේ විද්වත් කමිටුව යනුවෙන් හඳුන්වන්නේ අවුරුදු නැකත් සම්බන්ධයෙන් දැනට දිවයිනේ ප්‍රසිද්ධියට පත්ව ඇති ඈපා පංචාංග ලිත් සම්ප්‍රදාය හා එවායේ ඇති විවිධ අඩුපාඩකම් මෙන්ම සාවද්‍යතා සම්ප්‍රදායන් කඩ වීම් වැනි දෑ පෙන්වා දෙමින් ඒ වෙනුවෙන් කාලයක පටන් හඩක් නගිමින් සිටින පාරම්පරික ජ්‍යෙතීර්වේදීන්ගේ හා ශාස්ත්‍රීය වශයෙන් එය හදාරන විවිධ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් එකමුතුවකි. මෙම කමිටු සාමාජිකයන් විසින්ද ජ්‍යොතිෂ්‍ය ලිත් හා දිනපොත් මෙන්ම විවිධ මාර්ගෝපදේශ ඇතුළත් ග්‍රන්ථ වෙළෙඳ පළට නිකුත් කරමින් සිටින පාර්ශ්වයකි.
එසේම ඔවුන් විසින් 2026 වසරේ අවුරුදු නැකත් සීට්ටුවක් සම්පාදනය කර ඇති අතර එය මාධ්‍යයට එළිදැක්වීම සහ අවුරුදු නැකැත් සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහයත්, පැරණි නැකත් සම්ප්‍රදායන් පිළිබඳව දැනුම්වත් කිරීම ඇතුළුව ”සිංහල අවුරුදු නැකැත් කමිටුව” විසුරුවා හැරීමෙන් පසු වසර එක හමාරක කාලයක් තුළ ජ්‍යොතිෂ විද්වතුන් මේ දක්වා කරනු ලැබූ මැදිහත්වීම්වල ප්‍රගතිය පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන ලදි.
එහිදී ඔවුන් මතුකළ ප්‍රධාන කාරණා අතර දිවයිනේ මේ වන විට පිළිගැනීමට ලක්ව තිබෙන ඈපා පංචාංග ලිතේ පවතින අඩුලුහුඬුකම් හා එමගින් අතහැර දමා තිබෙන පැරණි නැකත් සම්ප්‍රදායන් නැවත ස්ථාපිත කිරීම ඇතුළත් වේ. එමෙන්ම 2024.08.22 දින හිටපු සංස්කෘතික අධ්‍යක්ෂ විසින් පැවති නැකත් කමිටුව විසුරුවා හැරීමෙන් පසුව නැවත එය පිහිටු වීමට හෝ අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීමට නව ආණ්ඩුව ඇතුළු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ක්‍රියාමාර්ග නොගැනීම හා ඔවුන් සමග පැවති සාකච්ඡා වල අසාර්ථක භාවය රටට හෙළිකිරීම යන කාරණා ඉදිරිපත් කරන ලදි. එසේම මෙවර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2026 වර්ෂයට අදාළව කිසිදු නැකත් සීට්ටුවක් රජය විසින් ප්‍රකාශ නොකර අවුරුදු නැකත් ප්‍රකාශ කිරීමෙන් රජය ඉවත්වන බවට ප්‍රකාශයක් 2025 අගෝස්තු මාසයේදී සිදු කර ඇති බවට චෝදනාවක් එල්ල කළ අතර එයට දැඩි ලෙස විරෝධය පළ කරන ලද.
ලිත් දෝෂ
ජෝතීර්වේදීන්ගේ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කළ දැනට පවත්නා ඈපා ලිත් සම්ප්‍රදායේ දෝෂ සහගත අවස්ථා සඳහා ඉදිරිපත් කළ මූලික චෝදනාවක් වන්නේ ලිත මුද්‍රණය කිරීමේ දී ඉඩකඩ සීමිත වීම සහ තාක්ෂණික බාධා නිසා, පැරැණි සිංහල සංස්කෘතියේ තිබූ වැදගත් චාරිත්‍ර රාශියක් (උදා: අලුත් සහල් මංගල්‍යය, පට්ටි කිරි ඉතිරවීම, ගෙවල් දොරවල් අලුත්වැඩියාව, ගමන් නැකත් ආදිය) ලිතෙන් ඉවත්ව ගොස් ඇති බවයි. එසේම නොනගතය ගැනද විශේෂ කරුණක් මෙහිදී අනාවරණය විය.
පසුගිය වසර 162 ක කාලය පුරාම ‘නොනගතය‘ සහ ‘පුණ්‍ය කාලය‘ යන්න පටලවාගෙන කටයුතු කර ඇති බව මෙහිදී අදහස් ඉදිරිපත් විය. සම්භාව්‍ය ජ්‍යෙතිෂ්‍ය මූලාශ්‍රවල (උදා: නාරද පුරාණය) දැක්වෙන නිවැරදි සිද්ධාන්ත සිංහලයට පරිවර්තනය නොවීම නිසා මෙම ව්‍යාකූලත්වය හටගෙන ඇති බව මෙහිදී හෙළි කෙරිණ.
මෙම කරුණු සම්බන්ධයෙන් ජ්‍යෝතීර්වේදීන්ගේ විද්වත් කමිටුව රජයේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සමග ද සාකච්ඡා පවත්වා ඇති අතර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ගැටලුව නිරාකරණය කිරීමට මෙම පාර්ශ්ව දෙක සමගම සාකච්ඡා පවත්වා මේ සම්බන්ධව දුනුම ඇති අය එක්කරගෙන ගැටලු විසඳීමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්දකුමාර දලුපොත කමිටු සාමාජිකත්වය දරන අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ කමිටුව (ICH) වෙත පැවරූ බවට විද්වත් කමිටුව පැවසීය.
තවමත් එය සාකච්ඡා මට්ටමින් පවතී. 2026 වසරේ සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් ද කිසිදු තීරණයකට මෙතෙක් පැමිණීමේ හැකියාවක් නැති බවට කරුණු ඉදිරිපත් කරන ලදි. මේ අනුව ජ්‍යෝතීර්වේදීන්ගේ විද්වත් කමිටුව පෙන්වා දෙන්නේ පවතින අවිද්‍යාත්මක නැකත් ක්‍රමය නිවැරදි කිරීම සඳහා අමාත්‍යවරයාගේ නියෝග පවා ක්‍රියාත්මක නොවන බවත්, අදාළ අස්පර්ශනීය සංස්කෘතික උරුම කමිටුවෙහි විෂය ප්‍රාමාණික දැනුමක් නොමැති පුද්ගලයන් සිටීම නිසා නිවැරදි තීන්දු ගැනීම ප්‍රමාද වී ඇති බවත්ය.
2026 වසර සඳහා නිල අවුරුදු නැකත් සීට්ටුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ ශාස්ත්‍රීය කරුණු නොසලකා හැරීම නිසා සිංහල අවුරුදු සම්ප්‍රදාය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත්, රාජ්‍ය යාන්ත්‍රණය මෙම වගකීමෙන් බැහැරව ක්‍රියා කළහොත් ජාතික උරුමයකට කරන හානියක් බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
දෙපිළට බෙදී පලක් නෑ
වර්තමාන ගැටලුවට මූලික වී ඇත්තේ අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් දේපාලනික තීන්දු සහ විද්‍යාත්මක පදනමකින් තොරව සිදුකළ සංශෝධන බව අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ කමිටුවේ (ICH) සාමාජික මහින්ද කුමාර දලුපොත අප කළ විමසුමකදී පැවසීය.
විශේෂයෙන්ම, එක් එක් කාලවල බලයට පත් වූ අමාත්‍යවරුන් තමන්ට හිතවත් පිරිස් යොදාගෙන නැකත් සකස් කිරීම නිසා, සාම්ප්‍රදායික ජ්‍යොතිෂ්‍ය ක්‍රමවේද සහ විද්‍යාත්මක ගණනය කිරීම් අතර පරස්පරතා නිර්මාණය වී තිබේ එසේම මෙම නැකත් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන්නේ පාර්ශ්ව දෙකක් පමණක් නොව තවත් පාර්ශ්ව ගණනාවක් සිටින හෙයිනි.මෙම සෑම පාර්ශ්වයක් සමගම සාකච්ඡා කරමින් ව්‍යාපාරිික අරමුණු බැහැර කරමින් එකගතාවන්ට පැමිණීමට කාලයක් ගතවන බව ඔහුගේ අදහසයි.
සූර්ය උදාව සහ විද්‍යාත්මක ගණනය කිරීම් සම්බන්ධයෙන් මෙන්ම ප්‍රාදේශීය ව පැවති නැකත් සම්ප්‍රදායන් වෙනුවට එකම නැකතකට රටම නැකත් සිදු කරන්නට යාමේදී විවිධ ගැටලු ඇති වී තිබෙන බවද ඔහු පැහැදිලි කළේය. ලංකාවේ විවිධ පළාත්වල ඉර උදාවන වේලාවන් සුළු වශයෙන් වෙනස් වන බැවින්, මුළු රටටම එකම වේලාවක් ලබා දීම ජ්‍යොතිෂ්‍යනුකූලව කොතරම් දුරට නිවැරදිද යන්න පිළිබඳවද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
මෙම කාර්ය පිළිබඳ ව පර්‌යේෂණ මට්ටමින් විද්‍යාත්මක විසඳුමක් ලබාගැනීම හැර දෙපිලකට බෙදී මතවාදී අරගල සිදු කිරීමෙන් පලක් නොවන බව ඔහු අවධාරණය කළේය.
නූතන තාක්ෂණය සහ නාසා (NASA)
නාසා ආයතනය වැනි ජාත්‍යන්තර ආයතන ලබාදෙන දත්ත අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම (සංක්‍රාන්තිය) ඉතා නිවැරදිව ගණනය කළ හැකිය. නමුත් ඇතැම් නැකත් සකස් කරන්නන් මෙම විද්‍යාත්මක පදනම නොසලකා හැරීම ගැටලුවකි.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ වන විට ICH විද්වත් කමිටුවක් හරහා මෙම ගැටලු අධ්‍යයනය කරමින් සිටින නිසා ජනතාව අතර පවතින අවිශ්වාසය දුරු කරමින්, ඉදිරියේදී වඩාත් විද්‍යාත්මක සහ සම්ප්‍රදායික පදනමකින් යුත් නැකත් පත්‍රයක් නිකුත් කිරීමට රජය බලාපොරොත්තු වන බවටද ඔහු වැඩිදුරටත් පැවසීය. එතෙක් 2026 වර්ෂය සදහා ලිත් කරැවන් විසින් සාදා ඇති ලිත් පදනම් කරගෙන මේ අවුරුද්දට නැකත් ලබා දීම සිදුවනු ඇති බව පැවසීය.
ඒ අනුව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් ලබා දීම රජය මගින් අත්හිටුවා ඇති බවට පැන නැගී චෝදනාව ප්‍රතික්ෂේප කළ මහින්ද දලුපොත මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මූලික නැකත් කිහිපය ප්‍රජාව වෙත ලබා දීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බව පැවසීය.
2026 අවුරුදු නැකත් සම්බන්ධ වත්මන් තත්ත්වය සහ රජයේ ස්ථාවරය
ඒ අතරම කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාර්තු 11 වන බදාදා වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා සිටියේද සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ප්‍රජාවගේ ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය බැවින් ඒ සඳහා නැකත් සෑදීම රජයේ කාර්යක් නොව එය ජ්‍යෝතීර්වේදීන්ගේ කාර්යක් බවය. ඔවුන් සාදන නැකත් ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීම සිදුකරන බවය. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වගකීම ඒ සදහා සහය මෙන්ම පහසුකම් සම්පාදනය කිරීම වන අතර මෙවරත් එය ඒ ආකාරයෙන් සිදුවන බවය.
මේ පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර සිටියේද ඉදිරියේදී අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දෙන බවය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු 12 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇත්තේ 2026 වර්ෂයට අලුත් අවුරුදු නැකත් සම්පාදනය සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා පොදු එකඟතාවකට එළඹීමේ අරමුණින් අවස්ථා 4කදී එකී කණ්ඩායම් සමග සාකච්ඡා පැවැත්වුවද මේ වනතුරුත් මෙම පාර්ශ්ව අතර එකඟතාවකට පැමිණ නැති බවය.
මේ සම්බන්ධයෙන් පළ වූ විවිධ වාර්තා හේතුවෙන් තව දුරටත් දෙපාර්ශ්වය සමගම සාකච්ඡා කරමින් රටේ සංස්කෘතික වටානාකම් සුරකිමින් සිංහල හා දෙමළ අලුත් අවුරදු නැකත් ඒකාබද්ධ ව සම්පාදනය කිරීමට 2026 මාර්තු මස 16 වැනිදා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර ඇති බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
නැකත නොමැති විට ඇතිවන සමාජීය සහ සංස්කෘතික බලපෑම
අවුරුදු නැකත් පිළිබඳ පවතින මෙම ගැටුම හුදෙක් ජ්‍යෝතිර්වේදීන් දෙපිරිසක් අතර වන ආරවුලක් නොවේ. එය මුළු මහත් සමාජයටම බලපාන කරුණකි.
- ජනතා විශ්වාසය බිඳවැටීම: නැකත් දෙකක් තිබීම නිසා ජනතාව ජෝතිෂ්‍යය පිළිබඳව අවිශ්වාසයකින් පසුවෙයි. මෙය අපගේ සංස්කෘතික පදනමට එල්ල වන පහරකි.
- ළමා පරපුර: අනාගත පරපුරට මෙම උතුම් චාරිත්‍ර පිළිබඳව වැරදි චිත්‍රයක් මවා පෑමට මෙය හේතු වේ.
- ජාතික සමගිය: සිංහල සහ දෙමළ ජනතාව යන දෙපිරිසම සමරන සංස්කෘතික කටයුත්තක් බැවින් විවිධත්වය තුළ එකමුතු කම රැකගෙන නැකත් ඉටු කිරීමෙන් ගොඩනැඟෙන ජාතික සමගියට මෙම මතභේද බාධාවකි.
අප යා යුතු මාවත
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු හුදෙක් චාරිත්‍ර සමූහයක් පමණක් නොව, එය අපගේ ආත්මයයි. සොබාදහම සමඟ බැඳුණු මෙම විද්‍යාත්මක සංසිද්ධිය පටු දේශපාලන හෝ වාණිජ අරමුණු වෙනුවෙන් බිලි නොදිය යුතුය.
වත්මන් රජයේ සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ, විද්වතුන්ගේ සහ ජ්‍යෝතීර්වේදීන්ගේ සහභාගීත්වයෙන් විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් හරහා “නිවැරදි නැකත් පත්‍රයක්” ජනතාවට ලබා දීමය. මහජනතාවද අන්ධ විශ්වාසයෙන් තොරව, මෙම චාරිත්‍රවල පවතින ගැඹුරු අරුත සහ විද්‍යාත්මක පදනම වටහාගැනීමට උත්සාහ කළ යුතුය. අනාගතයේදී හෝ, තාක්ෂණය සහ සම්ප්‍රදාය නිවැරදිව ගළපමින්, මතභේදවලින් තොර සූර්ය මංගල්‍යයක් සැමරීමට ශ්‍රී ලාංකික අප සැමට හැකි විය යුතුය. එය අපගේ අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු ජාතික වගකීමකි.
උදානි ජයසේන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd