මෙරටට එන යුරෝපා සංචාරකයන්ගෙන් සියයට 40ක් පැමිණෙන්නේ ගල්ෆ් කලාපය හරහා


දැනටමත් දින හතරකදී ගුවන් ගමන් වාර 205 ක් අවලංගු කරලා


සතියකට සංචාරක කර්මාන්තයට ඩොලර් මිලියන 10-12ත් අතර අහිමි වීමක්


බොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්ම ගියොත් යුරෝපා සංචාරකයන්ට එය බලපාවිලු‍


යුරෝපයට සිදු කරන ශ්‍රී ලංකන් ඍජු ගුවන් ගමන් වාර වැඩි කරන ලෙස යෝජනාවක්


මාර්තවේ ලක්ෂ 3ක සංචාරක ඉලක්කය අත්හරී


භානුක අමරසිංහ


ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසුව මැදපෙරදිග කලාපය තුළ උද්ගතව තිබෙන යුද ගැටුම් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට සියයට 20ත් 30ත් අතර ඉක්මන් බලපෑමක් එල්ල වනු ඇතැයි කර්මාන්තයේ ප්‍රවීණයෝ සඳහන් කරති.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙත පැමිණෙන යුරෝපා සහ රුසියානු සංචාරකයන් අතරින් සියයට 40ක් පමණ ඩුබායි, දෝහා හෝ අබුඩාබි යන ගුවන් තොටුපොළ හරහා පැමිණීම මෙම තත්වය වඩාත් දරුණු කර තිබේ. එසේම යුද ගැටුම් තවදුරටත් දීර්ඝ වුවහොත් තත්වය තවත් දරුණු වෙතැයිද ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (03) අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට අනුවද මෙම ගැටුම් ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඊයේ දක්වා සිදු කර ඇති ගුවන් ගමන් අවලංගු කිරීම් සංඛ්‍යාව 205 කි. ඉන් 107ක් මෙරටට පැමිණීමට නියමිතව තිබූ යානා වන අතර යානා 98ක් මෙරටින් පිටත්වීමට නියමිතව තිබූ ඒවාය.
මෙහිදී යුරෝපයේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානා මැදපෙරදිග ගුවන් කලාපය මඟහරිමින් විකල්ප මාර්ග හරහා මෙරටට පැමිණෙන බවත්, කෙසේ වෙතත් සිදුවන ඉන්ධන වියදමේ ඉහළ යෑම් හේතුවෙන් සංචාරකයන් සඳහා ගමන් මලු‍ සීමා පැනවීමට එම ගුවන් සමාගම් පියවර ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් “ලංකාදීප FT”ය වෙත අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන, ආචාර්ය රොහාන්ත අතුකෝරාළ මහතා මැද පෙරදිග ඇතුළු ගල්ෆ් කලාපය යනු මෙරට සංචාරක පැමිණීම් අතරින් සියයට 2ත් 4ත් අතර ප්‍රතිශතයක් ගන්නා කලාපයක් බවත්, මෙම ගැටුම් හේතුවෙන් මුලින්ම එම පැමිණීම් අහිමි වී යන බවත් පවසා සිටියේය.
“හැබැයි මෙම ගල්ෆ් කලාපය කියන්නේ ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් වැඩි වශයෙන් ට්‍රාන්සිට් වෙන ස්ථානය. ශ්‍රී ලංකාවට එන යුරෝපා සහ රුසියානු සංචාරකයන්ගෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන්නේ ඩුබායි, දෝහා හරි අබුඩාබි ගුවන් තොටුපොළ හරහා. ඒ වගේම කොළඹ සහ ඍජු ගුවන් ගමන් නොමැති ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල සංචාරකයන් පැමිණෙන්නේත් මේ හරහා. යුද ගැටුම් නිසා මේ ගුවන් තොටුපොළ වසා දැමුනා කියන්නේ යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන්ගේ ක්ෂණික අඩුවීමක් සිදු වෙනවා.”
එසේම මෙවැනි තත්ත්වයක් යටතේ ආසන ධාරිතාව ක්‍රමිකව අඩුවීමක් සිදු නොවන බවත්, එය ක්ෂණිකව එක් රැයකින් සිදුවන්නක් බවත් අතුකෝරාල මහතා පවසයි.

“මෙය තමයි ශ්‍රී ලංකාව කෙටි කාලීනව මුහුණ දෙන වඩාත් දරුණුම තත්ත්වය. මේ නිසා සංචාරක කර්මාන්තයට සියයට 20ත් 30ත් අතර බලපෑමක් එල්ල වෙනවා. හැබැයි ඕෆ් සීසන් එකේ ආරම්භය නිසා මේ බලපෑම යම් තරමකින් අඩු වෙන්නත් පුළුවන්.“ 
මීට අමතරව මැද පෙරදිග පවතින තත්ත්වයත් සමගින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සිදුවන ඉහළ යෑමද මෙරට සංචාරක කර්මාන්තය වෙතද බලපානු ඇතැයි ආචාර්ය අතුකෝරල මහතා සඳහන් කළේය. 
“මේ තත්වයත් සමගින්ම බොරතෙල් මිල ඩොලර් 100 - 120 ක අගයකට පත්වීමේ ඉඩක් තිබෙනවා. එහෙම වුණොත් එය  ලෝක ආර්ථික අර්බුදයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන්ගේ තීරණ වෙත එය බලපානවා.”
මෙම බාධා මධ්‍යයේ වුවත් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු සංචාරකයන් වෙත වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බව ලංකාදීප FT වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ (SLAITO) සභාපති නලින් ජයසුන්දර මහතා සඳහන් කළේය.
“මේ යුද්ධය නිසා අපිට මැදපෙරදිග සහ යුරෝපයේ සංචාරක පැමිණීම් වෙත බලපෑම් සිදුව තිබෙනවා. තවමත් හරියටම මේ පිළිබඳව සංඛ්‍යා ඉදිරිපත් කරන්න බැහැ. හැබැයි අපිට පුළුවන් නම් ඉන්දියානු වෙළෙඳ පොළ වගේම ඔස්ට්‍රේලියානු, ජපාන සහ කොරියානු වෙළෙඳ පොළ වෙත වැඩි අවධානයක් යොමු කරන්න මේ බලපෑම යම් තරමින් හරි මඟහරවා ගන්න හොඳ අවස්ථාවක් වේවි.”
මෙහිදී දැනට ශ්‍රී ලංකන් ගුවන් සමාගම යුරෝපය වෙත සිදු කරන ඍජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට පියවර ගත හොත් ඒ හරහාද වැඩි යුරෝපා සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ අවස්ථාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය. “ඒ වගේම තමයි මේ ගැටුම්වලට මැදිහත් නොවන තුර්කියේ තුර්කි ගුවන් සේවය හරහාත් අපිට පුළුවන් යුරෝපා සංචාරකයන් ගෙන්වා ගන්න. ඒ සඳහා ඔවුන් සමගින් සාකච්ඡා කරලා මෙරටට සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරගන්න වෙනවා.”
මේ අතර පවතින තත්වය සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, මාර්තු මාසයේදී සංචාරක ඉලක්කය වූ ලක්ෂ තුනක පිරිස සාර්ථක කරගැනීමට නොහැකි වනු ඇතැයි සඳහන් කර සිටියේය. එසේම මෙම බලපෑම හේතුවෙන් සංචාරක කර්මාන්තයට අදාළව සතියකට එක්සත් ජනපද ඩොලර් මිලියන 10ත් 12ත් අතර ආදායම් අහිමිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.