ගෝලීය ආර්ථිකය තුළ විවිධ කලාප පදනම් කර ගනිමින්, ආගමික හා දේශපාලනික මුහුණුවරක් ගත් විවිධ ගැටලු උද්ගතවීම අතීතයේ පටන් සිදු වී තිබේ. විශේෂයෙන්ම පසුගිය වසර දෙකක පමණ කාලය පුරා රුසියාව සහ යුක්‍රේනය අතර පවතින අර්බුදය මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
ආරම්භයේ දී මෙම ගැටුම මූලික වශයෙන් එම රටවල් දෙකට පමණක් සීමා වූ ස්වභාවයක් ගත් අතර, එය ලෝක ආර්ථික රටාවට බලාපොරොත්තු වූ තරම් දරුණු බලපෑමක් එල්ල කිරීමට සමත් වූයේ නැත. එම ගැටුම්කාරී වතාවරණය හමුවේ ලෝක බලවතුන්ගේ මැදිහත්වීම් මත ගෝලීය තෙල් සැපයුමට දැඩි බාධා එල්ල වනු ඇතැයි පුරෝකථනය කළ ද, ප්‍රායෝගිකව එම බලපෑම අනෙක් රටවලට ප්‍රබල ලෙස දැනුණේ නැත. කාලයත් සමග එම තත්වය යම් මට්ටමකට සමනය වූ අතර, එබැවින් ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වයට එල්ල වූ තර්ජනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා අවම මට්ටමක පැවැතිණි.
වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ උද්ගත වී ඇති තත්වය, මීට පෙර පැවැති රුසියා-යුක්‍රේන අර්බුදයට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගනී. මෙම ගැටලුවේ මූලික බලපෑමක් එල්ල වන්නේ ගෝලීය තෙල් සැපයුම් දාමය වෙතය. ඉරානයට එල්ල වූ ප්‍රහාර හමුවේ ඔවුන් අනුගමනය කළ උපක්‍රමය වූයේ, කලාපය තුළ පිහිටි ඇමෙරිකානු හිතවාදී මූලස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමයි. එහිදී ප්‍රධාන වශයෙන්ම ඇමෙරිකානු යුද ශක්තිය දුර්වල කිරීමේ අරමුණින් එම රටවල ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන සහ මූල්‍ය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර ක්‍රියාත්මක විය. මෙම යුදමය තත්වය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇත. එක් පසෙකින් තෙල් නිෂ්පාදනය සීමා වීම නිසා ගෝලීය තෙල් සැපයුම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, අනෙක් පසින් නිෂ්පාදනය කරනු ලබන තෙල් ප්‍රවාහනය කිරීමේදී ද දැඩි බාධා මතු වී තිබේ. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධානතම සමුද්‍රීය මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග තෙල් ප්‍රවාහනය මෙන්ම අනෙකුත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවල ගමනාගමනය ද අතිශය අවදානම් සහගත තත්වයකට පත්ව ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය පෙර අවස්ථාවලට වඩා ඉතා දරුණු මට්ටමක පවතී.
මෙම දේශපාලනික නොසන්සුන්තාවයේ ඍජු බලපෑම මුලින්ම එල්ල වන්නේ ගෝලීය තෙල් සැපයුම් ජාලය බිඳ වැටීමත් සමගයි. ලෝකයේ සෑම රටකටම පොදුවේ බලපාන පරිදි බොරතෙල් සැපයුම අඩාළ වීම හේතුවෙන් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ලෝක වෙළෙඳපොළේ මෙලෙස තෙල් මිල ඉහළ යාම අනෙකුත් රටවල ආර්ථිකයට දරුණු ලෙස බලපායි. කෙසේ වෙතත්, වර්තමාන අර්බුදය බොරතෙල් මිල ඉහළ යාමට පමණක් සීමා වී නොමැත. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඇතිවූ අවදානම හේතුවෙන් නෞකා එම මාර්ගය හරහා ගමන් කිරීමට මැළිකමක් දක්වයි. යම් හෙයකින් එම මාර්ගයේ ගමන් කරන්නේ නම්, නැව් රක්ෂණ ගාස්තු ඉහළ අගයකින් ඉල්ලා සිටින අතර, මේ හේතුවෙන් තෙල් ප්‍රවාහන වියදම ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.
මූලික වශයෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත්, ප්‍රවාහන හා රක්ෂණ වියදම් අධික වීමත් යන සාධක ද්විත්වයම අනෙකුත් රටවල තෙල් මිල ඉහළ යාමට ඍජුවම බලපා තිබේ. ශ්‍රී ලංකාවේ තෙල් මිල විශාල අගයකින් ඉහළ යාමට බලපෑ ප්‍රධානතම හේතුව ද මෙයයි. පවතින යුද වාතාවරණය හමුවේ තෙල් මිල නිරන්තරයෙන් උච්චාවචනය වීම හේතුවෙන් වෙළෙඳපොළේ දැඩි අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇත. මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවට සිය ආයෝජන හා මෙහෙයුම් සම්බන්ධයෙන් නිශ්චිත තීරණ ගැනීම අතිශය දුෂ්කර වී ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හුදෙක් ප්‍රවාහන ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, ඉන්ධන ඍජුව හා වක්‍රව භාවිත කරමින් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙම අර්බුදය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වුවහොත්, සාමාන්‍ය ජනතාවගෙන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගෙන් රජය වෙත එල්ල වන බලපෑම් සහ විරෝධතා තීව්‍ර වනු ඇත. කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ විදුලිබල ගාස්තු සංශෝධනය වීම වැනි කරුණු හේතුවෙන් සමස්ත ආර්ථිකය තුළ ප්‍රබල උද්ධමනාත්මක අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතී. මෙලෙස භාණ්ඩ හා සේවා මිල අසීමිත ලෙස ඉහළ යාම හමුවේ ඉදිරි කාලසීමාව මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග වන විදේශ ප්‍රේෂණ, සංචාරක කර්මාන්තය සහ අපනයන ක්ෂේත්‍ර මගින් මුළු විදේශ විනිමය ආදායමෙන් සියයට 75කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කෙරේ. ගෝලීය අර්බුද දිගින් දිගටම පැවතුණහොත්, එහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද දැඩි ආර්ථික බලපෑම් එල්ල වේ.
විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධාන රටවල ආර්ථිකය හැකිළීමකට ලක්වීම අපේ අපනයන වෙළෙඳපොළට අහිතකර ලෙස බලපායි. එම රටවල් තම ආනයන ප්‍රමුඛතා සංශෝධනය කරන විට, අපේ අපනයන භාණ්ඩ සඳහා හිමිවන ස්ථානය අවදානමට ලක් වේ. මැදපෙරදිග කලාපයේ ඉරානය සහ ඉරාකය වැනි රටවලින් ශ්‍රී ලංකාවේ තේ සඳහා පැවැති ඉල්ලුම මේ වන විට බෙහෙවින් අඩාළ වී ඇත. මේ හේතුවෙන් ඉදිරියේ දී අපනයන මගින් උපයන විදේශ විනිමය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මෙරට ප්‍රධානතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. වර්තමාන යුද වාතාවරණයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ඇමෙරිකාව, යුද කටයුතු වෙනුවෙන් දිනකට අතිවිශාල ධනයක් වැය කරන අතර එය ඔවුන්ගේ වෙළෙඳ ශේෂයට ද දැඩි ලෙස බලපායි. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟලුම් ඇණවුම් සීමා වීමට ඇති ඉඩකඩ වැඩිය. මෙය මෙරට ඇඟලුම් නිෂ්පාදන ධාරිතාව අඩුවීමටත්, එම ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතතාවටත් තර්ජනයක් විය හැකිය. යුද්ධය පවතින කාලසීමාව මත මෙම අහිතකර බලපෑම්වල ප්‍රමාණය තීරණය වන අතර, ඉදිරියේ දී අපනයන වෙළෙඳපොළ සම්බන්ධයෙන් යම් අසතුටුදායක තත්වයක් පුරෝකථනය කිරීමට සිදු වී ඇත.
ලංකාවට විදේශ විනිමය ගලා එන තවත් ප්‍රධානතම මූලාශ්‍රයක් වන්නේ විදේශ ප්‍රේෂණ වේ. වර්තමාන දත්තවලට අනුව මැදපෙරදිග කලාපය තුළ පමණක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ලක්ෂ 10ක් පමණ සේවය කරති. පවතින යුදමය වාතාවරණය දිගින් දිගටම පැවතුණහොත්, එම ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ගැටලු මතු විය හැකිය. ලංකාව තුළ යහපත් ආර්ථික වටපිටාවක් නැවත ගොඩනැගෙමින් පවතින අවස්ථාවක මෙම අර්බුදය මතුවීම අවාසනාවන්ත තත්වයකි. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් විදේශ විනිමය ගලා ඒමේ වේගය අඩාළ විය හැකි අතර, එය විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය කෙරෙහි ද ඍජු අවදානමක් එල්ල කරයි.
පසුගිය කාලසීමාව තුළ මෙරට ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී රජය වැඩි අවධානයක් සංචාරක කර්මාන්තයට යොමු කළේය. පසුගිය වසරේ අග භාගයේ සහ මෙම වසරේ මුල් භාගයේ දී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සහ එමගින් උපයන ලද ආදායම ඉතා ඉහළ මට්ටමක පැවතිණි. කෙසේ වෙතත්, වර්තමානයේ උද්ගතව ඇති කලාපීය අර්බුද හමුවේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීම ප්‍රබල අභියෝගයක් වී තිබේ. මීට බලපා ඇති ප්‍රධානතම හේතුවක් වන්නේ ගෝලීය ගුවන් ගමන් මාර්ග බොහොමයක් මැදපෙරදිග ගල්ෆ් කලාපය හරහා වැටී තිබීමයි. දැනටමත් ඩුබායි සහ කටාර් වැනි ප්‍රධාන ගුවන් තොටුපොළ තාවකාලිකව වැසී යාම සහ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහත වැටී ඇත. මීට අමතරව, ඉන්ධන මිල ඉහළ යාමත් සමග ගුවන් ටිකට්පත් මිල ද අසීමිත ලෙස ඉහළ ගොස් තිබේ. පවතින ආරක්ෂක තත්වය සහ අධික ගමන් වියදම් හේතුවෙන් සංචාරකයන් මෙරටට පැමිණීමට දක්වන උනන්දුව අඩු වෙමින් පවතී. විවිධාකාර බලපෑම් හේතුවෙන් සංචාරක කර්මාන්තය මගින් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහත වැටීමේ අවදානමක් පවතී.
වත්මන් බලශක්ති අර්බුදය මෙරට සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. පවතින ඉන්ධන හිඟය කළමනාකරණය කිරීම සඳහා රජය QR කේත ක්‍රමය හඳුන්වා දී ඇති අතර, එය සීමිත ඉන්ධන ප්‍රමාණය සාධාරණව බෙදා හැරීමේ උපාය මාර්ගික පියවරකි. මෙම අවස්ථාවේ දී රජය අතිශය කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර, ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සහ ජන ජීවිතය අඩාළ නොවී පවත්වාගෙන යාම බලධාරීන්ගේ මූලික වගකීමකි.
ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ පිළියමක් ලෙස නිවෙසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදය සහ බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත. එහෙත්, මෙමගින් පමණක් සමස්ත ඉන්ධන පරිභෝජනය සාර්ථකව පාලනය කළ හැකිද යන්න ගැටලුසහගතය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත සේවා නියුක්තිය දෙස බැලූ විට වැඩි පිරිසක් සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. රජය ගමන් බිමන් සීමා කිරීමට උපදෙස් දුන්න ද, පෞද්ගලික අංශයේ සේවකයන්ට සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු පැන නගී. මෙවැනි සීමා කිරීම් රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම සේවාවල කාර්යක්ෂමතාවට ද ඍජු බාධාවක් එල්ල කරයි.
ශ්‍රී ලංකාව මේ වන විට වියළි කාලගුණයකට මුහුණ දී සිටින අතර, එය මෙරට ජල විදුලි නිෂ්පාදනයට ඍජු බලපෑමක් එල්ල කරයි. ජල විදුලිය නිපදවීමට ඇති හැකියාව සීමාවීමත් සමග විකල්පයක් ලෙස ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමට සිදුවන නමුත්, ඒ සඳහා ද ලෝක වෙළෙඳපොළේ විවිධ බාධා මතු වී ඇත. ගෝලීය දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ගල්අඟුරු සපයා ගැනීමේ අපහසුතා සහ මිල ඉහළ යාම නිසා සමස්ත විදුලි නිෂ්පාදන ධාරිතාව පහත වැටීමේ අවදානමක් පවතී. මේ හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ විදුලි කපා හැරීම් වැනි තීරණවලට එළැඹීමට රජයට සිදුවිය හැකි අතර, එය මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට ද දැඩි ලෙස බලපානු ලබයි.
පවතින ගෝලීය සහ දේශීය තත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සතුටු විය හැකි මට්ටමක් දක්නට නොලැබේ. විශේෂයෙන්ම මෙරට සමස්ත ආර්ථික නිමැවුම පහළ බැසීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින්, පවතින සීමිත සම්පත් කළමනාකරණය කර ගැනීම අතිශය වැදගත් වේ. මෙහිදී විදේශ විනිමය සංචිත නිසි පරිදි කළමනාකරණය කිරීම රජය සතු ප්‍රමුඛතම වගකීමකි. පසුගිය කාලසීමාවේ දී රජය ප්‍රකාශ කළේ සංචිත පැවැතිය ද භාණ්ඩ හිඟයක් පවතින බවයි. එහෙත් ඉදිරියේ දී වෙළෙඳපොළේ භාණ්ඩ පැවැතිය ද ඒවා මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සංචිත නොමැතිවීමේ අවදානමක් මතු විය හැකිය. එබැවින් අතිශය කල්පනාකාරීව කටයුතු කරමින්, පවතින ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට රජය වහා පියවර ගත යුතුය.
(*** සටහන - ශෂිකා අබේරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd