වසර හතකට පෙර පාස්කු ඉරිදා දිනයක් වූ 2019 අප්‍රේල 21 වැනිදා මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හතකින් 270 දෙනකු පමණ ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පසුගිය බදාදා (25) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් මේ වන විට විශාල ආන්දෝලනයක් තිබේ. සාමාන්‍යයෙන් සිදුවන්නා සේම මෙම සිද්ධිය පිළිබඳව ද සෑම කෙනකුම පාහේ දේශපාලන පක්ෂ ඇසින් බලා තම තමන්ගේ විග්‍රහ ඉදිරිපත් කරනු පෙනේ.
දැනට වඩාත් ඉස්මතු වී පෙනෙන්නේත් ඇසෙන්නේත් මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහි පිරිසේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, එහි නායකයන් වන රාජපක්ෂවරුන්ටත් හිතවත් පිරිස් කරන ප්‍රකාශයි.
කොටි සංවිධානය පරාජය කිරීමේ හමුදා මෙහෙයුමේදී බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් සලේ මහතා විශිෂ්ට සේවයක් කළ පුද්ගලයකු බවත් එවැනි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගැනීම නුසුදුසු ක්‍රියාවක් බවත් ඔවුන්ගෙන් ඇතැමකු කියනු ඇසේ. එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් එම පිරිසේම තවත් අය කොටි සංවිධානය පරාජය කිරීමට සලේ මහතා දැක්වූ දායකත්වය නිසා ඔහුගෙන් පළිගැනීමට දෙමළ ඩයස්පෝරාවේ පෙළැඹවීම මත ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි කියති.
ඊටම අදාළව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වය බාරගෙන රට දෙකඩ කිරීමේ සටන ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට සලේ මහතා මූලිකව කටයුතු කළ බව ද කියැවේ.
මෙරටට ගල්අඟුරු ගෙන්වීමේදී විශාල වංචාවක් සිදුවී ඇති බවට විරුද්ධ පක්ෂ චෝදනා කරන තත්වය තුළ එම චෝදනාව යටපත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇතැයි ද විපක්ෂයේ ඇතැම්හු චෝදනා කරති.
මේ අතර තවත් අප්‍රේල් 21 වැනිදාවක් ළඟ එන නිසා පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලොකු වැඩක් කළ බව විශේෂයෙන්ම කතෝලික ජනතාවට පෙන්වීම සඳහා ආණ්ඩුවේ මෙහෙයවීමෙන් රහස් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම කර ඇතැයි ද විපක්ෂයේ පිරිස් චෝදනා කරති.
මේවා දේශපාලන ප්‍රකාශයි. සලේ මහතා අත්අඩංගුවට ගැනීම නීතිමය කටයුත්තකි. ඔහුගේ ඉරණම තීරණය වන්නේත් විය යුත්තේත් දේශපාලන ප්‍රකාශ මත නොව අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරෙන නීතිමය කරුණු මතය.
එසේම මෙම දේශපාලන තර්කවලින් ඇතැම් ඒවා එකිනෙක ගැටෙන බවක් ද පෙනේ. උදාහරණයක් වශයෙන් කේ.පී. අත්අඩංගුවට ගැනීම රාජ්‍ය ආරක්ෂාව අතින් අතිශයින් වැදගත් කටයුත්තක් බව මෙහිදී ප්‍රකාශ කෙරේ. ඇත්ත වශයෙන් එම සිද්ධියේ වැදගත්කම අතිශයින්ම ඉහළය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී කේ.පී.ට එරෙහිව කිසිදු නඩු විභාගයක් නොපැවැත්විණි. ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන්නැයි වත්මන් විදේශ ඇමැති විජිත හේරත් මහතා 2015 අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. දශක තුනක් තිස්සේ කොටි සංවිධානයට ආයුධ සැපයූ බව කියන පෙත්සමක් ඉදිරිපත් කළේය. එහෙත් කේපීට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි නැතැයි නීතිපතිවරයා දැක්වූ කරුණු මත හේරත් මහතාගේ පෙත්සම 2017 දී නිෂ්ප්‍රභ කෙරිණි.
අනෙක් අතට තවත් අප්‍රේල් 21 වැනිදාවක් ළඟ එන නිසා සලේ මහතා අත්අඩංගුවට ගත් බවටත්, ගල්අඟුරු චෝදනාව වසා ගැනීම සඳහා ඔහු අත්අඩංගුට ගත් බවටත් කෙරෙන ප්‍රකාශ එකම කණ්ඩායමෙන් එල්ල වන විට එතැන තරමක් ගැටලු සහගත තත්වයක් පෙනේ. ඒ අප්‍රේල් 21 ට ආසන්නව ගල්අඟුරු චෝදනාවක් එල්ල වීම නිසාය.
කෙසේ වෙතත් මෙරට දේශපාලනයේ ස්වභාවය අනුව මෙම සිද්ධියේදී විරුද්ධ පක්ෂවලින් එල්ල කෙරෙන චෝදනා අපට මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒවායේ සත්‍ය අසත්‍යභාවය තීරණය වනු ඇත්තේ සලේ මහතාට එරෙහිව පැවරිය හැකි නඩු තීන්දුවකින් පසුවය.
කෙසේ වෙතත් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් යමක් කිරීමට ජාතික ජනබලවේගය ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල වී ඇත. ඒ බලපෑම එන්නේ ඒ සිද්ධිය පිළිබඳ ඔවුන්ගේම මැතිවරණ පොරොන්දුවක් නිසාය. ඒ නිසාම පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදාට පෙර අලුත් හෙළිදරව් කිරීමක් කරන්නට හැකිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම වසරේම මාර්තු මාසයේ 30 වැනිදා දෙයියන්දර පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා අප්‍රේල් 21 කට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරන බවට පොරොන්දු වී යැයි විරුද්ධ පක්ෂ එම ප්‍රකාශය විකෘති කර අද දක්වා පවත්වා ගෙන එයි.
කෙසේ වෙතත් එම වසරේ අප්‍රේල් 21 වැනිදාට පෙර ජනාධිපතිවරයා පැවැසූ ආකාරයේ අලුත් හෙළිදරව්වක් කරන්නට එම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නිලධාරීන්ට නොහැකි විය.
එහෙත් 2006 දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එස්. රවීන්ද්‍රනාත් මහතා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පසුගිය වසරේ අප්‍රේල් 9 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. එම වසරේ ජූලි 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලයාන් ඊට පෙරම දැනුවත්ව සිට ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කීවේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස පහකට පමණ පෙර, 2018 නොවැම්බර් 30 වැනිදා නැගෙනහිර පළාතේ වවුනතීව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණයට පිල්ලයාන් සම්බන්ධ බවට සාක්ෂි ලැබී ඇතැයි ඇමැතිවරයා ඉකුත් සැප්තැම්බර් මස ‘රතු ඉර’ නමැති රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කළේය. එහෙත් ඊට පෙර පිල්ලයාන් හා සලේ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කරමින් පිල්ලයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා වූ හන්සීර් අසාද් මව්ලානා නම් අයකු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනිය 2023 සැප්තැම්බර් මස වැඩසටහනක් විකාශය කළේය. ඉන් කියවුණේ 2018 දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටි පිල්ලයාන්ට බන්ධනාගාරය තුළදී පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ නායකයා යැයි කියන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් හෂීම්ගේ සොහොයුරු ෂයිනි මව්ලවි හමුවූ බවයි.
ෂයිනි වැන්නන් මරණයට සූදානම්ව යම් යම් කටයුතු කරන බවත් තමන් ඔවුන් තමන්ගේ අවශ්‍යතාවට පාවිච්චි කරන්නට යන බවත් පිල්ලයාන් තමා සමග පැවැසූ බව මෙම වැඩසටහනේදී හන්සීර් මව්ලානා පැවැසීය.
ඔහුගේ ප්‍රකාශය අනුව පිල්ලයාන්ගේ උපදෙස් මත ඔහු 2018 ජනවාරි මස සහ්රාන් ඇතුළු කණ්ඩායමක් හා සලේ අතර සාකච්ඡාවක් සංවිධානය කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති කරවන්නට නම් රටේ අනාරක්ෂිත තත්වයක් ඇති කළ යුතු යැයි එම සාකච්ඡාවට පැමිණි සලේ තමා සමග පැවසූ බව ද මව්ලානා එහිදී පැවසීය. ඒ අනුව මව්ලානාගේ තර්කය වූයේ සලේගේ සහයෝගය ඇතිව ජාතික තව්හීද් ජමාත් සංවිධානය පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ බවයි.
මෙම චැනල් ෆෝ වැඩසටහන ද රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළේය. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. මව්ලානාගේ ප්‍රකාශය පිළිගත නොහැකි යැයි එම කමිටුව තීන්දු කර තිබිණි.
අනෙක් අතට තමා හා සහ්රාන් ඇතුළු කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්වුණේ යැයි මව්ලානා පවසන දිනයේ තමන් සිටියේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් බවත් මව්ලානාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන්නේ නම් එම පරීක්ෂකයන්ට තම විදේශ ගමන් බලපත්‍ර පරික්ෂා කර ඒ බව තහවුරු කර ගත හැකි බවත් සලේ මහතා පවසා තිබිණි.
එසේම මෙම වාර්තා වැඩසටහනෙන් කියැවෙන සිද්ධින් සම්බන්ධයෙන් මව්ලානාගේ ප්‍රකාශය හැර තමන් වෙත වෙනත් සාක්ෂි නැතැයි චැනල් ෆෝ රූපවාහිනිය ද පසුව පවසා තිබිණි.
කෙසේ වෙතත් 2024 දී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස බලයට පත්වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන යළිත් පරීක්ෂණ ආරම්භ විය. ඒ අනුව 2024 නොවැම්බර් මස මහ මැතිවරණයට දින කිහිපයකට පසු චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් රහස් පොලිසිය පිල්ලයාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. ඉන්පසු ඔහු පසුගිය වසරේ අප්‍රේල් 9 වැනිදා වෙනත් සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබීය. සලේ මහතා අත්අඩංගුවට පත්වීමේ පසුබිම එයයි.
කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව විනා ඔහුට විරුද්ධව නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කරන්නට පොලිසිය එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව පැවැත්වූ ජනමාධ්‍ය හමුවේදී අසමත් විය. නිශ්චිත චෝදනා ඉදිරිපත් කිරීමෙන් පරීක්ෂණවලට බාධා පැමිණෙනු ඇතැයි ඔවුන් සිතූ සේය.
මව්ලානාගේ ප්‍රකාශය අනුවම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාස්කු ඉරිදා ප්‍රහාරය උපරිම ලෙස යොදා ගත්තේය. එම පක්ෂය එම සිද්ධිය උපයෝගී කර ගෙන තමන්ට හිතවත් ජනමාධ්‍ය මගින් දරුණු ලෙස ජාතිවාදය අවුළුවා තමන්ට සුදුසු වටපිටාවක් නිර්මාණය කරගත්තේය. එහෙත් මව්ලානා සැබැවින්ම සිදුවූ දේ ප්‍රකාශ කළේද පොදුජන පෙරමුණ පාස්කු ඉරිදා ප්‍රහාරය තම වැඩයට යොදා ගැනීම පදනම් කරගෙන පසුබිම් කතාවක් නිර්මාණය කළේ ද යන්න ඉදිරි පරීක්ෂණවලින් සනාථ විය යුතුය.
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට චෝදනා එල්ල වන්නට පටන් ගත්තේ 2020 මැදදී පමණ සිටය. චෝදනා කරන්නන් අතර සමගි ජනබලවේගයේ ඇතැම් පුද්ගලයෝ ඉදිරියෙන්ම සිටියහ. එහෙත් ඔවුන් කිසිවකුට එරෙහිව නිශ්චිත චෝදනා කිසිවක් එල්ල කළේ නැත. ඔවුන්ගේ තර්කය වූයේ දඩයම ඔසවා ගෙන යන්නා අනුව දඩයක්කරු කවුදැයි තීරණය කළ හැකි බවයි. එනම් බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රයෝජනය ගත් පුද්ගලයා ප්‍රහාරය පිටුපස සිටින බවයි. නිශ්චිතව පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් එම චෝදනාව ඉදිරිපත් කළේ මව්ලානාය. සජබ තවමත් තම ස්ථාවරයේ සිටින්නේද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත් ආණ්ඩුවේ අනුදැනුම හා පෙළැඹවීම උඩ සිදුවුවත් නැතත් සලේ අත්අඩංගුවට ගනු ලැබීම ජාජබ ආණ්ඩුවට ලිට්මස් පරික්ෂාවකි. දැන් මග නැවතිය නොහැකිය. ආපසු හැරීමක් කළ නොහැකිය. පරික්ෂකයන් නිවැරැදි නම් ආණ්ඩුව දෙතුන් ගුණයකින් ශක්තිමත් වනු ඇත. වැරැදි නම් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය එය වනු ඇත.
(*** එම්.එස්.එම්. අයුබ්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd