මෙරට ජනවාර්ගික සුහදතාව වර්ධනය කිරීම වෙනුවෙන් සාහිත්‍ය නිර්මාණකරුවකු ලෙස පුළුල් මෙහෙවරක් කරමින් සිටින ප්‍රවීණ ලේඛක මඩුළුගිරියේ විජේරත්න මහතා සිංහලෙන් දෙමළ බසටත් දෙමළෙන් සිංහල බසටත් පරිවර්තනය කළ කෘති ගණනාවකි.

ඒ කෘති බොහොමයක් මෙරට පාඨක විචාරකයන්ගේ නොමද අවධානයට යොමු වී ඇති අතර විශේෂයෙන්ම මෙරට දෙමළ සාහිත්‍ය නිර්මාණ රසවිදීමට එමගින් සිංහල පාඨකයාට අවස්ථාවක් ලැබිණ. ඔහුගේ පරිවර්තන කාර්යය වෙනුවෙන් ඔහු ලද ඇගැයුම් සම්මාන ද බොහෝය. එසේම විජේරත්න මහතා ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් ද මෙරට සාහිත්‍යයට දායාද කර තිබෙන අතර නවකතාකරුවකු, කෙටිකතා රචකයකු මෙන්ම යොවුන් කතා රචකයකු ලෙස ඔහුගේ දායකත්වය කැපී පෙනේ.  විජේරත්න මහතා මේ දිනවල නවතම

පර්යේෂණ කාර්යයක නිරතව සිටින අතර ඒ තිරුක්කුරල් ග්‍රන්ථය සිංහල සාහිත්‍යයට කළ බලපෑම පිළිබදවය. මතු දැක්වෙන්නේ මඩුළුගිරියේ විජේරත්න මහතා සමග අප කළ සංවාදයක සටහනකි.

ප්‍ර ඈත අතීතයේ සිටම දෙමළ සාහිත්‍යය සහ සිංහල සාහිත්‍යය අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට බලපෑ බව ඉතිහාසය විමසා බැලීමේදී පැහැදිලි වන කරුණක්. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබදුද?

සිංහල සාහිත්‍යයත් දෙමළ සාහිත්‍යයත් අතර බැඳීම හා අන්‍යොන්‍ය වශයෙන් කළ බලපෑම අනුරාධපුර යුගය දක්වාම දිව යනවා. එහෙත් දඹදෙණි යුගයේ තමයි දෙමළ සාහිත්‍යයේ ප්‍රබලම බලපෑම සිංහල සාහිත්‍යයට ලැබෙන්නෙ. ඒ බලපෑම ඊට පස්සෙ කාලෙත් විවිධ අයුරින් වර්ධනය වෙනවා. පූජාවලිය වගේ කෘතිවල වුණත් දෙමළ භාෂාවේ වචන දකින්න පුළුවන්. දඹදෙණි යුගයේ ජීවත් වූ පුදන් දේව නායගර් නැමැත්තා රාජ සභාවේ පුරෝහිතයකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු කෘතියක් රචනා කළා සංශෝධි මාලෛ කියලා. එය අපේ රටේ දෙමළ සාහිත්‍යයේ පුරෝගාමී කෘතියක්. ඉන් පසුව යාපනය රාජ්‍යයේ වර්ධනයත් එක්ක දෙමළ සාහිත්‍යයේ පිබිදීමක් දකින්න පුළුවන්. යාපනයේ සිටි පරරාජ සේකරම් නම් පාලකයාගේ කාලයේ බොහෝ දෙමළ කෘති බිහිවූ බව කියන්න පුළුවන්. එය ලාංකීය දෙමළ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයයැයි සැලකිය හැකියි. මේ විදියට ලංකාවේ සිංහල සාහිත්‍යයත් දෙමළ සාහිත්‍යයත් සමගාමීව වර්ධනය වූ ආකාරය හදුනාගන්න පුළුවන්.

 

ප්‍ර ලංකාවේ දෙමළ සාහිත්‍යය වර්ධනය වන්නේ සම්පූර්ණයෙන්ම පාහේ ඉන්දියානු බලපෑම මතයයැයි බොහෝ දෙනාගේ අදහසක් තිබෙනවා නේද?

නෑ. ඒක වැරදියි. වැදගත්ම දේ තමයි සිංහල සාහිත්‍යයට සමගාමීව අපට අනන්‍ය වූ ලාංකික දෙමළ සාහිත්‍යයක් අපේ රටේ තිබුණා. ඒකෙ තියෙන්නෙ ඉන්දියානු සංස්කෘතික ලක්ෂණ නොවෙයි. ලාංකික සංස්කෘතික ලක්ෂණ. පැරැණි යුගයේ සිට වර්ධනය වූ ලාංකීක දෙමළ සාහිත්‍යය නූතනයේ නවකතාව කෙටිකතාව දක්වාම වර්ධනය වන්නේ මේ ලාංකික සංස්කෘතියේ අනන්‍ය ලක්ෂණ පදනම් කරගෙන. ඉන්දියානු සාහිත්‍යය බලපෑ බව ඇත්ත. එහෙත් ලාංකීය දෙමළ සාහිත්‍ය ඉන්දියානු සාහිත්‍යයේ හුදු අනුකරණයක් පමණකැයි කියන්න බෑ.

ඉන්දියාවේ දෙමළ නවකතාවක් බිහි වෙන්නත් කලින් ලංකාවේ දෙමළ නවකතාව බිහි වූ බවට මතයක් තියෙනවා. ඒ තමයි 1885 දී මොහොමඩ් සිද්ධි ලෙබ්බෙ ලියූ අසෙන්ඩි කදී සයිද්‍රම් කියන නවකතාව. ඉන්දියානු දෙමළ නවකතාව බිහි වෙන්නෙ ඊට පස්සෙ. සිද්ධි ලෙබ්බෙගේ මේ නවකතාව පිළිබදව දෙමළ විද්වතුන් අතර මතයක් තිබෙනවා ඊට ඉරාන සාහිත්‍යය සහ කුරාණය බලපෑවාද කියන එක. කොහොම වුණත් එය සිත්ගන්නාසුලු‍ නවකතාවක්. සිද්ධි ලෙබ්බෙ තමයි ලාංකීය දෙමළ නවකතාවට අඩිතාලම දාන්නෙ.

 

ප්‍ර නූතන ලාංකික දෙමළ සාහිත්‍යයේ ඔබ දකින විශේෂතා සහ අනන්‍යතා ලක්ෂණ මොනවාද?

නූතන ලාංකික දෙමළ සාහිත්‍යයේ බොහෝ කෘතිවල සාකච්ජා කරන්නේ පොදු සමාජයේ පවතින ගැටලු‍. හරිම ප්‍රගතිශීලී ලක්ෂණ එහි දකින්නට තිබෙනවා. ඇතැම් කෘතිවලට මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය වගේ නවකතාත් බලපා තිබෙන බව පෙනෙනවා. දෙමළ සාහිත්‍යයේ නවකතා බොහොමයකට කුල ප්‍රශ්නය පදනම් වීම විශේෂත්වයක්. එසේම දරිද්‍රතාව, දෛනික ජීවිතයේ හැලහැප්පීම් වගේ තේමා තමයි 1965න් පසු ලාංකීය දෙමළ නවකතාවට වැඩි වශයෙන්ම වස්තු විෂය වී ඇත්තේ. කුල ප්‍රශ්නය දැඩිව කතා කරන්නේ 1970 දශකයේ සිටයි. කේ. ඩැනියෙල් නම් ලාංකීය දෙමළ ලේඛකයා නවකතා එකොළහක් ලිව්වා ඒ සියල්ලටම පාදක වුණේ කුල ප්‍රශ්නය. ඔහුගේ එක් නවකතාවක් මම ඕඝය නමින් සිංහලට පරිවර්තනය කළා. යාපනයේ කුල ප්‍රශ්නය සාමාන්‍ය ජනතාවට ඉතාම තදින් බලපෑ සැටි ඒ නවකතාවේ මතු කරනවා.

වැදගත් දෙයක් තමයි ලංකාවේ උතුරේ දෙමළ සාහිත්‍යය වර්ධනය වනවිට පසුකාලීනව කඳුකරය පදනම් කරගෙනත් දෙමළ සාහිත්‍යයක් බිහි වීම. වතුකරයේ ජනයා මුහුණ දුන් විව්ධ ප්‍රශ්න ගැටලු‍ මේ නවකතාවල කවිවල දකින්න පුළුවන්. කඳුකරයේ දෙමළ සාහිත්‍යය තුළ ලේඛිකාවන් කිහිපදෙනකුම සිටීමත් විශේෂ කාරණයක්.

 

ප්‍ර තිරුක්කුරල් කෘතිය සිංහල සාහිත්‍යයට කළ බලපෑම සම්බන්ධයෙන් ඔබ විශේෂ අධ්‍යයනයක් යොමු කිරීමට අදහස් කළේ ඇයි?

තුරුක්කුරල් කෘතිය බිහිවෙන්නේ 11 වැනි සියවසේදී. මේ පොත දැනට භාෂා 146කට පමණ පරිවර්තනය වෙලා තියෙනවා. තිරුක්කුරල් අධ්‍යයනය කිරීමේදී මට තේරුම් ගියේ මේ සදහා බෞද්ධාගම බලපා ඇති බවයි. තිරුක්කුරල් පද්‍ය නවසියයක පමණම මේ බෞද්ධ ලක්ෂණ දකින්න පුළුවන්. බුදුදහමේ සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ගප්ජ්ජ සූත්‍රය, වගේ සූත්‍ර දේශනා ගණනාවක බලපෑම තිරුක්කුරල් කෘතියේ දැකිය හැකියි. එසේම ත්‍රිපිටකය ධම්ම පදය ආදියේ බලපෑම ද එහි දකින්න තිබෙනවා. එසේම භගවාන් කියන වචනය තිරුක්කුරල් කතුවරයා නිතරම යොදනවා. හින්දු දහමේ මේ වචනය මුලින් හමුවෙන්නේ නෑ. ඒත් බුදුන්වහන්සේ හැදින්වීමේදී ඉතිපිසෝ භගවා, නමෝතස්ස භගවතෝ වගේ යෙදුම් දකින්න තියෙනවා. මේ කෘතියේ වැදගත්කම විධිමත් පර් යේෂණයකින් ලාංකීය සමාජයට හෙළිදරවු කළ යුතුය යන අදහසේ ඉදල තමයි මම මේ අධ්‍යයනය පටන් ගත්තෙ.

අනික් පැත්තෙන් තිරුක්කුරල් ග්‍රන්ථය අපේ සිංහල පොත් කිහිපයකටම බලපාලා තියෙනවා. විශේෂයෙන්ම සුභාෂිතය, ලෝකෝපකාරය, පත්තිනි හෑල්ල වගේ කෘති ඒ අතර දකින්න පුළුවන්.

 

ප්‍ර ජාතීන් අතර සහජීවනය පිළිබද කාරණය සම්බන්ධයෙන් අපි නිතර අවධානය යොමු කරනවා. ජාතික සමගිය නිර්මාණය කරන පාලම තැනීමට සිංහල දෙමළ සාහිත්‍යයෙන් ඉටුවන්නේ මහත් මෙහෙවරක්. ඒත් වර්තමානයේ ඒ ගැන ප්‍රමාණාත්මක අවධානයක් යොමු කර තිබෙනවා යැයි ඔබ සිතනවාද?

මේ සම්බන්ධයෙන් වන අවධානය ප්‍රමාණවත් යැයි මා සිතන්නේ නෑ. කොටින්ම රාජ්‍ය මට්ටමින් මේ ගැන අවධානය යොමු වෙන්න ඕනෑ. හොඳ පොත පත සමාජයට හදුන්වා දෙන්න ඕනෑ. ඒවායේ අගය කියා දෙන්න ඕනෑ. ඒත් ඒක හරියට වෙනවද කියල බලන්න ඕනෑ. අඩුම තරමේ සම්මාන දෙනකොටවත් හොඳ පොත්වලට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒත් මම හිතන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන උත්සවවල සමහර සම්මාන පිරිනැමුණේ පක්ෂග්‍රාහීව කියලයි. එහෙම පක්ෂග්‍රාහී වෙන්න බෑ. හොඳ කෘතියට සාධාරණයක් වෙන්න ඕනෑ. උදාහරණයක් හැටියට දෙමළ සාහිත්‍යයේ වැඩි වැදගත්කමක් නැති පොත්වලට සම්මාන දීලා තිබුණා. හොඳ කෘති තිබියදී අවශේෂ පොත්වලට සම්මාන දීමෙන් පෙනෙන්නේ මේවා ගැන අවංක උනන්දුවක් නැති බවයි. ඒත් පොදු රසික ජනතාව සිංහල දෙමළ සාහිත්‍යය කෙරෙහි වඩාත් උනන්දු බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනෙනවා. එකම රටේ සිංහල දෙමළ සාහිත්‍ය අනන්‍යතාව තහවුරු කරගන්නා ගමන් ශ්‍රී ලාංකික සාහිත්‍යයක් ගොඩනැගීමට මේ හැම දෙනාගේම කැප වීම අවශ්‍ය වෙනවා.

 

ප්‍ර ඒ සදහා ඔබ කරන්නේ මොනවගේ යෝජනාද?

සිංහල පොත පත දෙමළ බසට පරිවර්තනය වන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා මේ තත්වය පුළුල් වෙන්න ඕනෑ. ඊට වැඩපිළිවෙළක් අවශ්‍යයයි. සියලු‍ ජාතීන්ගේ අදහස් ඔවුනොවුන් වෙත සමීප වුණාම තමයි එකිනෙකා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දෙමළ භාෂාව සිංහල පාසල්වල උගන්වනවා. අනික් පැත්තෙන් සිංහල භාෂාව දෙමළ පාසල්වල උගන්වනවා. ඒත් ඒකට මීට වඩා වටිනාකමක් දෙන්න ඕනෑ. මගේ යෝජනාව නම් ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට යනකොට මේ දෙවැනි භාෂා අවබෝධය වෙනුවෙන් අඩුම තරමේ එක ලකුණක් හරි දෙන්න ඕනෑ. ඒ ඒ භාෂාවලට ඒ ඒ සංස්කෘතීන්ට ගරු කරන පුරවැසියන් නිර්මාණය කිරීම අපේ වගකීම බව සිතිය යුතුයි.

තමන්ගෙ මවුභාෂාව පිළිබදව ඕනැම කෙනෙකුට අභිමානයක් ඇතිවෙන විදියේ පරිසරයක් රටක තිබිය යුතුයි. ඒක සිංහල වෙන්න පුළුවන්. දෙමළ වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් කියැවෙන්නෙ නෑ ජාතික වශයෙන් සම්මත වූ කාරණාවලදි භාෂා ප්‍රශ්නය විතරක් අල්ලාගෙන කටයුතු කළ යුතුයි කියලා. උදාහරණයකට ජාතික ගීය දෙමළ සමාජයේදී දෙමළ බසින් ගායනා කළ යුතුයැයි සමහර අය කරන යෝජනා ගන්න පුළුවන්. ඒ වගේ යෝජනා තර්කානුකූල නැහැ කියලයි මම හිතන්නේ. ජාතික වශයෙන් ජාතික ගීය ගැයීමේදී සම්මත වූ භාෂාවක් තියෙනවා. ඒ වගේ දේවල් ගැටලුවක් කරගෙන මේ මත ම ඉන්න ගියොත් සමාජයට යහපත් අනාගතය ගොඩනගන්න බැරිව යනවා. ඉන්දියාවේ භාෂා කීයක් තියෙනවද? ඒත් එදා සිටම ජාතික ගීය ගැයෙන්නේ එකම භාෂාවකින්.

අප දැන් කළ යුත්තේ මේ වගේ පටු තර්කවල පිහිටා ඒ ගැන රණ්ඩු කිරීම නොවෙයි. සමාජයේ රටේ අනාගත දියුණුව වෙනුවෙන් සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් ජනවාර්ගික විස්වාසය ඇති කිරීමයි. ඔවුනොවුන්ගේ සිතුම් පැතුම්, හැගීම්, ආකල්ප තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි. ඒ සදහා අවශ්‍යවන පාලම තැනිය හැක්කේ සාහිත්‍යයෙන්. කලාවෙන්. අපි බටහිර සාහිත්‍ය ගැන ලොකුවට කතා කරනවා. ඒත් අපේම රටේ ඉන්න දෙමළ ලේඛකයන්ගෙ නමක්වත් දන්නෙ නෑ.

(*** සංවාද සටහන - ගාමිණී කන්දෙපොළ)