නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අවධාරණය කරමින් පසුගිය සතියේ අපි අපගේ ලිපිය ඉදිරිපත් කළෙමු. එය පුවත්පතේ පළ වී දින තුනකට පසු එම කාරණය පිළිබඳ ඉතා අගනා බුද්ධිමය සංවාදයකට සවන් දීමට අපට හැකි විය.

2003 වසරේ ආරම්භ කෙරුණ ද රටේ වැඩි දෙනකු නොදන්නා වන් ටෙක්ස්ට් ඉනිෂියටිව් නම් ආයතනය විසින් සංවිධානය කරන ලද එම සංවාදය ඉකුත් අඟහරුවාදා තුන් වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් විණි.

දැනට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායන මහතා ද සහභාගි කරවාගෙන මෙම සංවාදය ඉතා ඉහළ මට්ටමෙන් පැවැත්වීමට මුලදී සංවිධායකයන් අදහස් කළ ද ඔවුහු කිසිවෙක් ඊට සහභාගි නොවූහ.

ර​ටේ අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂවල කැපී පෙනෙන නියෝජිතයන් ඊට සහභාගී වුවද වත්මන් ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගයේ කැපී පෙනෙන කිසිවෙක් එම සංවාද ශාලාවේ දක්නට  නොවූහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව විවිධ අවස්ථාවල දී පවසන ජාතික ජන බලවේගය මෙවැනි සංවාදයකට තම බුද්ධිමය දායකත්වය සැපයීම කෙසේ වෙතත් එවැන්නකට සවන් දීමවත් වැදගත් නැතැයි සිතන සේය. එය කෙසේවත් යහපත් ආකල්පයක් නොවේ.

කෙසේ වුවද මෙම සංවාද වෙතින් මුල සිටම දක්කට ලැබුණේ විපක්ෂයේ කටයුත්තක පෙනුමකි. ඇතැම් පුවත්පත් මෙය විපක්ෂයේ කටයුත්තක් ලෙස සංවාදයට පෙරම හඳුන්වා තිබිණි. ආණ්ඩු පක්ෂය මුල සිටම ඊට කිසිදු අනුග්‍රහයක් හෝ සහායක් හෝ එකඟතාවක් හෝ  පළ නොකළ තත්වය යටතේ එහි එවැනි පෙනුමක් තිබුණ ද සංවාදයේ ඉදිරිපත් වූ අදහස්වල මූලික වශයෙන් එවැනි පාක්ෂිකත්වයක් දක්නට නොවීය. එය විෂයානුබද්ධව කෙරුණු සැබෑ බුද්ධිමය සංවාදයක් විය. වෙනසක් වූයේ නම් ඒ ප්‍රධාන දේශනයෙන් පසු අදහස් දැක්වූවන් අතර සිටි එකම දේශපාලනඥයා වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එක් අවස්ථාවක දී දැක්වූ එක් අදහසක් පමණි.

එසේ අදහස් දැක්වීම සඳහා තෝරා ගනු ලැබ සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවද සාමන්‍යයෙන් ඔහු දේශපාලනඥයකු ලෙස සැලකෙන්නේ නැත.

ප්‍රධාන දේශනය පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය දීපිකා උඩගම සිය දේශනයේ එක් අවස්ථාවකදී කළ ප්‍රකාශක් ශ්‍රී ලංකාවේ සියල්ලන්ට කෙසේ වෙතත් වැඩි දෙනකුට පිළිගත හැකි ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ගැනීම කෙතරම් දුෂ්කර කටයුත්තක්ද යන්න මනාව පෙන්නුම් කරන්නක් විය. ඇය පැවැසුවේ තමන් නීති ශිෂ්‍යාවක ලෙස සිටියදී ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් රටේ  පැවැති අතර දැන් තමන් විශ්‍රාම ගොස් සිටියදීත් එම සංවාදය තවමත් කෙරෙමින් පවතින බවය.

සැබෑවකි. අපගේ මතකය නිවැරැදි නම් මෙම සංවාදය ආරම්භ වූයේ හැටේ දශකයේ අවසානයේදීය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව ඒ ආරම්භක සංවාදයේ ප්‍රතිඵලයක් විය. ඉන්පසු වසර තුන හතරකින් යළිත් සංවාදයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්මත විය.

එහෙත් එම ව්‍යවස්ථාව ද ඉතා කෙටි කලෙකින් ප්‍රබල විවේචනවලට හා විරෝධයට ලක්විය. ඒ අනුව 1994 පාර්ලිමේන්තු මැතිවරණයට හා ජනාධිපතිවරණයට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දු දෙමිනි. ඒ අනුව 1994 වසරේම සැප්තැම්බර් මස ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි.

වසර තුනක් ගත වීත් බොහෝ කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට දෙන විසඳුම සම්බන්ධයෙන් එකඟතා ඇති කර ගත නොහැකි වූයෙන් 1997 ඔක්තෝබර් මාසයේ දී එවක පැවැති පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තමන්ගේ යෝජනා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළේය. අනෙක් පක්ෂ ද ඊට තම ප්‍රතිචාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉන්පසු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2000 අගෝස්තු මාසයේදී පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එය සම්මත කර ගත  නොහැකි විය. 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව පැවැසුවද 2015 දී බලයෙන් පහ වන  විටත් එවැන්නක් ඉදිරිපත් නොවීය. ඒ වෙනුවට ඔහු 2010 දී 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර තම බලය තවත් තහවුරු කර ගත්තේය.

අනතුරුව 2015 දී මෛත්‍රී - රනිල් ආණ්ඩුව යළිත් ව්‍යවස්ථා සංශෝධන සංවාදය පෙරට ගත් අතර 2016 දී පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට ද පරිවර්තනය කෙරිණි. එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරවුල් හා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළම ඇති වූ කඩාකප්පල්කාරී කටයුතු නිසා එය අතරමග ඇන හිටියේය.

2019 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට ඉදිරිපත් විය. ඔහු ඒ සඳහා විශේෂඥ කමිටුවක්ද පත් කළේය. එහි වාර්තාව ද හමස් පෙට්ටියට ගියේය. දැන් ජාතික ජන බලවේගය ආණ්ඩුවද බලයට පත් වී වසර තුනකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව කියයි. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ අතීත කමිටුවල වාර්තා හා වෙනත් අදාළ අධ්‍යයනය කරමින් සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී පැවැසුවාය. ඒ අනුව මෙම සංවාදය ආචාර්ය දීපිකා උඩගම පැවැසූ පරිදි දීර්ඝ කාලයක් තිස්සේ කෙරී ගෙන එන්නකි.

 මෙම ව්‍යවස්ථා ක්‍රියාවලිය තුළ බොහෝ අවස්ථාවල දී ව්‍යවස්ථා සංශෝධන සම්මත කර  ගෙන ඇත. එහෙත් ඒවායින් වැඩි සංඛ්‍යාවක් මහජන යහපත සඳහා වූ ඒවා නොවන බවද ඒවා අවංක අදහසින් ගෙන එනු ලැබූ ඒවාදැයි සිතා බැලිය යුතු බවද මහාචාර්යවරිය සිය දේශනයේ දී ප්‍රකාශ කළාය.

 මෙය ද මුළුමනින්ම එකඟ විය හැකි අදහසකි. විශේෂයෙන්ම ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේදී එවැනි තත්වයක් තිබිණි. ඒ කාලයේ තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලැබුවේ ජයවර්ධන මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදී තරහකාරිය වන සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබ තිබූ තත්වය යටතේ ජනාධිපතිවරණය පවත්වා ඔහුට යළිත් ජනාධිපතිවීම සඳහාය. එසේම හතරවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලැබුවේ මැතිවරණයක් නිසි කාලයේ නොපවත්වා පාර්ලිමේන්තුවේ කාලය වසර හයකින් දීර්ඝ කරගැනීම සඳහාය.

අනෙක් අතට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 18 වැනි සංශෝධනයත් ගෝඨාභය රාජපක්ෂ මහතා 20 වැනි සංශෝධනයත් සම්මත කර ගත්තේ තම පාලනය පිළිබඳ සංවරණ හා තුලන ක්‍රියාවලිය අහෝසි කර තම බලය තහවුරු කර ගැනීම සඳහාය.

මේ සිදුවීම් නිසාදෝ මහාචාර්ය උඩගම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් පිළිබඳ අර්බුදයක් නිර්මාණය කර ඇතැයි පැවසුවාය. එසේම 1972 හා 1978 ව්‍යවස්ථාවලට සාපේක්ෂව 1947 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිතව පැවැති බවද සඳහන් කළාය.

ව්‍යවස්ථා සම්පාදකයන්ට හා අවංකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට සිතන දේශපාලනඥයන්ට ඉතා වැදගත් වන අදහස් ගණනාවක් ඇගේ දේශනයට ඇතුළත් විය. බලය බෙදීම සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ අදහස එවැන්නකි. බලය බෙදීම ජන කොට්ඨාස අතර බලය බෙදීමකට වඩා වෙනත් කරුණු ද සලකා බලා ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමක් විය යුතුය යන්න ඇගේ අදහස විය.

එසේම දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ  ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රතිපාදන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බවත් එසේ විය යුත්තේ රට පාලනය කිරීම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබීම නිසා බවත් මහාචාර්යවරිය ප්‍රකාශ කළාය. මෙය ඇතැම් විට බොහෝ දේශපාලන පක්ෂවලට එකඟ විය නොහැකි මතයක් විය හැකිය.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කෙබඳු එකක් විය යුතුද යන්න ගැන මෙම සංවාදයේදී ප්‍රධාන දේශනය කළ මහාචාර්යවරිය මෙන්ම වෙනත් කථිකයෝද විශේෂ අවධානයක් යොමු කළහ. කෙටුම්පත් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිය පිළිබඳ ජනතාවට හැඟීමක් ඇතිවන අයුරින් එය ඔවුන්ගේ හැඟීම්වලින් පෝෂණය විය යුතුය යන්න ඒ සියලු දෙනාගේම මතය බව පෙනිණි.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදනය සඳහා මහජන අදහස් ලබා  ගැනීම කෙසේ කළ යුතුද යන්න වැදගත් බවත් එය හුදෙක් සමස්ත  ක්‍රියාවලියට සුජාතභාවයක් දීම සඳහා කෙරෙන්නක් නොවිය යුතු බවත් මහාචාර්ය උඩගමගේ මතය විය.

යාපනය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ හිටපු ආචාර්යවරයකු මෙන්ම මානව හිමිකම් පිළිබඳ නීතිඥයකු වන ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාද මෙම කරුණ ගැන දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය. ඔහු එහිදී ඉතා වටිනා ප්‍රශ්නයක් මතු කළේය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී මහජන අදහස් විමසීමේ දී  ජනතාව යම් කරුණක් පිළිබඳ පරස්පර විවිධ අදහස් ඉදිරිපත් කරති. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පරස්පර තත්වයක් තිබිය නොහැකිය. එසේ නම් ව්‍යවස්ථාව තුළට ඇතුළු කර ගන්නේ ඒ අදහස්වලින් කුමන අදහස ද? ඒ කුමන පදනමින් ද යන්න ඔහුගේ ප්‍රශ්නයයි.

 උදාහරණයක් වශයෙන් 2016 මෙවැනි මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් ක්‍රියාවට නැගිණි. එහිදී ඇතැම් පිරිසක් බලය බෙදීමට විරුද්ධව ද තවත් පිරිසක් ඊට පක්ෂව ද අදහස් පළ කළහ. එහෙත් ව්‍යවස්ථා සම්පාදනයන් තෝරා ගත්තේ බලය බෙදීම සුදුසුය යන මතයයි. එය සිදු වූයේ කෙසේද යන්න පැහැදිලි නැත. මෙය මෙම මත විමසුමේ නිරත වූවන්ගේ රුචි අරුචිකම් අනුව ද සිදුවිය හැකිය.

 බලය බෙදීම සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා එක් අවස්ථාවක දී දැක් වූ අදහසකට බොහො දෙනාගේ අවධානය දැඩි ලෙස යොමුවන්නට ඇත. බලය බෙදීමේ ඒකකය සම්බන්ධයෙන් සිංහල ජාතිකවාදී කණ්ඩායම් අතර විවිධ මත ඇති බවත් ඇතැමුන් බලය බෙදීමට ප්‍රතික්ෂේප කරන බවත් තවත් පිරිසක් එය පිළිගන්නා බවත්ය. දෙවැනි පිරිසෙන්ද පිරිසක් පළාත් පදනමින් බලය බෙදිය යුතු යැයි කියන බවත් තවත් පිරිසක් දිස්ත්‍රික්ක පදනමින් බලය බෙදිය යුතු යැයි පවසන බවත් ඔහු සඳහන් කළේය.

තමන්ගේ පක්ෂය පළාත් පදනමින් බලය බෙදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. මෙය ඉතා වැදගත් පරිවර්තනයකි. පිවිතුරු හෙළ උරුමය කලින් බලය බෙදීම කිසිසේත් නොපිළිගත් පක්ෂයකි. මෙම පරිවර්තනය සමහර විට ව්‍යවස්ථා සම්පාදනය ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය.

වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයේ සමස්ත වගකීම පැවරී ඇත්තේ ජාතික ජනබලවේගය ආණ්ඩුවටය. ඒ සඳහා ආණ්ඩුව සැබැවින්ම විවිධ මත සැලකිල්ලට ලක්  කරන්නේ නම් අඟහරුවාදා පැවැති මෙම සංවාදය ද ඔවුනට අතිශයින් වැදගත් වනු ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්)