හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් ගත කරනු ලැබ සිට අද යළි උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනවාරි 28 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රජයේ මුදල් පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් යොදාගෙන ඇති බවට උසාවියට ඉදිරිපත් කර ඇති කරුණු දැක්වීම සම්බන්ධයෙන් විභාගය පැවැත්වුණු අවස්ථාවේදී සමන් ඒකනායක මහතා එම චෝදනාවේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කරන ලද අතර එදින සිට පෙබරවාරි මස 11 වැනි දින දක්වා ඔහු රිමාන්ඩ් ගත කරනු ලැබීය.
මෑතක සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වී ඇති අවස්ථා පිළිබඳව වාර්තාවේ. එබැවින් එම තත්වය රාජ්‍ය නිලධාරීන් කෙරෙහි කවර බලපෑමක් ඇතිකර තිබේද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ යැයි සිතේ.
සමන් ඒකනායක මහතා රිමාන්ඩ් ගත කිරීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලවල ඒ පිළිබඳව බොහෝ දෙනකු අදහස් ප්‍රකාශ කර තිබේ. මෑතකදී රාජ්‍ය නිලධාරියකු පිළිබඳව ඒ ආකාරයට පුළුල් සාකච්ඡාවක් ඇතිවු ප්‍රථම අවස්ථාව මෙය බව පෙනේ. බොහෝ දෙනකු ප්‍රකාශ කර තිබුණේ හිටපු ජනාධිපති ලේකම්වරයා සෘජු තීරණ ගන්නා අයකු බවත්, රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් දැඩි විනයක් සහිතව කටයුතු කර ඇති බවත්ය. සමහර වියදම් සම්බන්ධයෙන් සෘජුවම සටහන් තබා ඒවා ප්‍රතික්ෂේප කළ ආකාරය පිළිබඳව උදාහරණ ද දක්වා තිබුණි. රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ ඉරණම තීරණය කිරීම සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් නිසා ඇතිවන බලපෑම් එම ප්‍රකාශයෙන් විස්තර කර තිබුණි.
රාජ්‍ය පරිපාලන සේවයට තෝරා ගැනීමෙන් පසු සමන් ඒකනායක මහතා කටයුතු කර ඇති ආකාරයෙන් රජයේ පරිපාලන නිලධාරියකුගේ ගමන් මග කෙබඳු ස්වරූපයක් ගන්නේද යන්න වටහා ගැනීමට අවස්ථාව සැලසේ. පේරාදෙණිය විශ්වවිද්‍යායේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියකු වන ඔහු රාජ්‍ය පරිපාලන සේවයට එකතු වීමෙන් පසු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළේය. එම විශ්වවිද්‍යාලයේම රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමිකර ගත් අතර ඉන්පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ විදේශ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව සම්පූර්ණ කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද ඔහු සේවය කළේය.රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල, විවිධ තනතුරු හෙබවූ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට පත්වීමෙන් පසු ක්වාලාලාම්පූර් සහ ලන්ඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ද සේවය කළේය. නැවත ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරමින් සිටියදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේය. රාජ්‍ය සේවය තුළදි කිසිදු අවස්ථාවක ඔහු කිසිදු චෝදනාවකට ලක්වුයේ නැත.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනාවාස කොමිසමේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානියා ලෙස තෝරා ගනු ලබුවේය. ඉන්පසු අග්‍රාමාත්‍ය ලේකම් තතනතුරෙහි දෙවරක්ම කටයුතු කර විශ්‍රාම ජීවිතයක් ගත කරද්දී නැවත වරක් අග්‍රාමාත්‍ය ලේකම් තනතුරට පත්කර අවසානයේදී ජනාධිපති ලේකම් තනතුරට ද පත්කරනු ලැබුවේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළම තනතුර ලෙස සැලකෙන ජනාධිපති ලේකම් තනතුරට පත්වීමෙන් පසු විශ්‍රාම ලබා ඔහු නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය.
එම තොරතුරු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වීමෙන් පසුව දේශීය සහ විදේශීය විවිධ රාජ්‍ය තනතුරු දරමින් අත්දැකීම් ලබා ගන්නා අතරම ඩිප්ලෝමා, පශ්චාත් උපාධි සහ නීති උපාධි ලබා ගනිමින් තම දැනුම පුළුල් කර ගැනීමට ද කටයුතු කර ඇති බවයි.දැනුම සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහළ සූදුසුකම් ලැබුව ද,රාජ්‍ය සේවයේ ඉහළ පළපුරුද්දක් ලැබුව ද, අවසානයේදී රිමාන්ඩ් ගතවීමට ද ඔහුට සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ අධිකරණය සාධාරණ සහ යුක්ති සහගතව කටයුතු කරන බැවින් සමන් ඒකනායක මහතාට විරුද්ධව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටුවනු ඇත.
කෙසේ වුවද රටේ නීතිය මෙහෙයවීමේ කටයුතු දේශපාලනය සහ පළිගැනීම් මත පදනම්ව සිදු වන්නේ නම් රජයේ පරිපාලන සහ අනෙකුත් වගකීම් දරන නිලධාරීන්ට බොහෝ අපහසුතාවලට මුහුණදීමට සිදුවනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති විදේශ සංචාරයේදී පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් රජයේ මුදල් භාවිත කිරීම පිළිබඳ චෝදනාව ඉදිරිපත් වු අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ නිල සහ පෞද්ගලික කටයුතු වෙන් වෙන්ව හඳුනාගත හැකිද යන කරුණ පිළිබඳව සංවාදයක් ඇතිවිය. නිල කටයුතු අතර පෞද්ගලික කාර්යයන්හි යෙදීමට සිදුවුවහොත් ඒ සඳහා රජයෙන් වියදම් දැරීම වෙනුවට පෞද්ගලිකව වියදම් දැරිය යුතුද, ඒ කවර කටයුතු සඳහාද ආදි වශයෙන් පැන නැගුණු විවාදයට තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැත.
ඒ සම්බන්ධයෙන් පැනනගින ඉතා වැදගත් ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට නිල කටයුතුවල යෙදෙන විට හිටපු අනෙකුත් ජනාධිපතිවරුන්ගේ කටයුතුවල පෞද්ගලික වියදම් රජය මගින් දරා ඇත්තේද යන්නත්, එසේ දරා ඇත්තේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් එවැනි චෝදනාවක් ඉදිරිපත් කරන්නේ කුමක් නිසාද යන්නත්ය. නඩු පවරා ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරය හොබවන ආණ්ඩුවෙනි. එතුමා ජනාධිපති ධූරය දරන අතර නිල කටයුතු සහ පෞද්ගලික කටයුතු අතර වෙනසක් හඳුනාගෙන ඒ අනුව වියදම් කරන්නේ නම් සහ නිල රාජකාරි අතර යෙදෙන පෞද්ගලික කටයුතුවල වියදම් තමන් දරා ඇත්නම් ඒවා පිළිබඳව තොරතුරු රටට හෙළිදරව් කර රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව නඩු පැවරීම යුක්ති සහගත බව පෙන්නුම් කළ හැකිය. අනෙක් අතට පෞද්ගලික කටයුතු කවරේද යන්න නිශ්චය කර ගැනීමේදි අනුගමනය කරනු ලබන නිර්නායක සහ එවැනි අවස්ථාවල නවාතැන්, ආහාරපාන, ප්‍රවාහන, ආරක්ෂක සේවා ආදිය සම්බන්ධයෙන් තමන් අතින් වියදම් දැරීමට පනවාගෙන ඇති නිර්නායක පිළිබඳව ද රටට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමද ඉතා වැදගත් වනු ඇත.
එසේ වුව ද එවැනි තොරතුරු රටට දැන ගැනීමට නොලැබෙන අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒවා ලබා ගැනීමට නොහැකි වන වාතාවරණයක් නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රමයෙන් ගොඩ නැගෙන බව පෙනී යයි. සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී ජනාධිපති කාර්ය මණ්ඩලයේ තොරතුරු විමසු සෑම අවස්ථාවකදීම ඔහු එම සියලු තොරතුරු කිසිදු පැකිලීමකින් තොරව ඒවා ඉල්ලු අයට ලබා දුන්නේය. නිලධාරින්ගේ නම් ගම්, දරන තනතුරු, වැටුප් හා දීමනා, ලබාදී ඇති වාහන ආදිය පිළිබඳ තොරතුරු ඒ අතර විය. නව රජය බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය සාකච්ඡාවලදී රජයේ මැති ඇමැතිවරුන් ප්‍රකාශයට පත් කළේ එසේ ලබාදුන් තොරතුරුය.
ජාතික ජනබලවේග රජය බලයට පත්වීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන නිලධාරීන්ගේ නම් සහ තනතුරු පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා ඇතත් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි තත්වයක් තුළ ජනාධිපතිවරයා තම නිල කටයුතු අතර යෙදෙන පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් දරන වියදම තම මුදලින් ආපසු ගෙවන්නේ ද යන්න දැන ගැනීමට ඉඩක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. ජනාධිපති වියදම් පිළිබඳව ‘අවභාවිතය’ යන්න යොදා ගැනීමේදී එය හිටපු, සිටින සහ අනාගත ජනාධිපතිවරුන්ට ද සමාන ලෙස අදාළ විය යුතුව ඇත.
රිමාන්ඩ් සිරගත කෙරුණු දෙවැනි ජනාධිපති ලේකම්වරයා සමන් ඒකනායක මහතා වේ. මීට පෙර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාත්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු අනූෂ පැල්පිට මහතාත් චෝදනා ගොනුකර සිරදඩුවම්වලට ලක්වු නමුත් අවසානයේදී නිදහස් විය. දැනට පරිපාලන නිලධාරීන් සැලකිය යුතු පිරිසකට චෝදනා එල්ල වි හෝ දඩුවම් ලැබි ඇත. චෝදනා කිරීම, පැමිණිලි ඉදිරිපත් කිරීම, නඩු පැවරීම හුදෙක් දේශපාලන අවශ්‍යතා හා පළිගැනීම මත පමණක් සිදුවන විට එහි ප්‍රතිඵලය විය හැක්කේ රාජ්‍ය පරිපාලන සේවය ඇතුළු අනෙකුත් සේවා අකර්මණ්‍ය තත්වයකට පත්වීම බව රජය වටහාගත යුතුව ඇත. 2025 වසරට අදාළ රජයේ අයවැය ලේඛනයේ ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම්වලින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආපසු භාණ්ඩාගාරයට යැවීමට හේතුවී ඇති කරුණු අවබෝධ කර ගන්නේ නම් රාජ්‍ය නිලධාරීන් දේශපාලන පළිගැනීම් මුල් කරගෙන පීඩනයට ලක් කිරිම මුළු රාජ්‍ය යාන්ත්‍රණයම අකර්මණ්‍ය කිරීම සඳහා හේතුවන බව වටහා ගැනීමට හැකිවනු ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා පිළිබඳව සොයා බැලීමට මහා බ්‍රිතාන්‍යට යැවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සමහර පුද්ගලයන්ගෙන් තොරතුරු ලබාගෙන තිබුණ ද, සිද්ධියට අදාළ විශ්වවිද්‍යාලයෙන් කිසිදු තොරතුරක් ලබාගෙන නැති බව ද වාර්තා විය. එමගින් පැහැදිලි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සංචාරයේ අරමුණ වී ඇත්තේ චෝදනා ඉදිරිපත් කර ඇති පුද්ගලයන් වරදකරුවන් බවට පත්කිරීමට අදාළ වන අයුරින් කරුණු ගොනු කිරීම මිස නිවැරැදි තත්වය පිළිබඳව තොරතුරු සොයා බැලීම නොවන බවය. දේශපාලන අරමුණු මත සහ පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වන ආකාරය එමගින් පැහැදිලි වේ. ඒ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ රජයේ කටයුතුවලට අදාළ තීරණ ගැනීමේදී රජයේ නිලධාරීන් සෑම අවස්ථාවකදීම වගකීම් දැරීමෙන් බැහැර වන අයුරින් කටයුතු කිරීමට පෙළැඹීමය.
***

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd