වර්තමාන වේගවත් ලෝකය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු හුදෙක් විෂය නිර්දේශ වෙනස් කිරීමක් නොව, රටක අනාගතය තීරණය කරන ක්‍රියාවලියකි. දේශීය අනන්‍යතාව සුරකිමින් ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පූර්ණ පෞරුෂයකින් හෙබි පුරවැසියකු බිහි කිරීම මෙහි මූලික අරමුණ විය යුතුය.

ඒ සඳහා ප්‍රායෝගික පුහුණුවෙන් සන්නද්ධ ගුරු පරපුරක්, විධිමත් පර්‌යේෂණ දත්ත මත පදනම් වූ ජාතික ප්‍රතිපත්තියක් සහ නවීන තාක්ෂණය හා මානව ගුණාංග අතර මනා සමබරතාවක් පැවැතීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පවතින සැබෑ අභියෝග සහ ඒවා ජයගත හැකි ක්‍රමෝපාය පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යනු සංකීර්ණ මෙන්ම පුළුල් වූ ක්‍රියාවලියකි. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ දී අධ්‍යාපනය පමණක් නොව රටක සියලු‍ අංශ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. එලෙස සියලු‍ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන අධ්‍යපන ප්‍රතිසංස්කරණ අර්බුදය නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රධාන වශයෙන් පූර්ව ළමාවිය, ප්‍රාථමික අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය සහ තෘතීය අධ්‍යාපනය යන අංශ අතරින් මූලික අවධානය යොමු කර තිබෙන්නේ සාමාන්‍ය අධ්‍යාපනය වෙත ය. මේ දිනවල පවතින කතිකාව අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් අවධානය යොමු කර තිබෙන්නේ සාමාන්‍ය අධ්‍යාපනයේ විෂය මාලා සංවර්ධනය වෙත පමණි. විෂය මාලා සංවර්ධනය යනු අධ්‍යාපනය සමස්ත නියෝජනයක් නොව සමස්ත අධ්‍යාපනයෙන් කුඩා අංශයක් පමණි. ඒ හරහා සාර්ථක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කිරීමේ දී පවතින දත්ත වාර්තා අනුව අවධානය යොමු කළ යුතු වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා කුමන පුද්ගලයකු බිහි කළ යුතු ද යන්න වේ. බොහෝ දෙනාගේ මතය වන්නේ සාර්ථක විදේශීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරටට ආදේශනය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සාර්ථක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කළ හැකි බවයි. එහෙත් එය වැරැදි මතයකි. බටහිර රටවල ප්‍රතිසංස්කරණ සාර්ථක වන්නේ එම රටේ අධ්‍යාපන ක්‍රමවේදවලට අවේණිකවය. ශ්‍රී ලංකාව තුළ සාර්ථක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නිර්මාණය කිරීමට නම් මෙරටට ආවේණික වූ සංස්කෘතික සාමාජීය රටා හා බද්ධ වූ ප්‍රතිසංස්කරණ මාලාවක් නිර්මාණය විය යුතුය. එහි දී ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත පුද්ගලයා සහ ගෝලීය වශයෙන් අවශ්‍ය වන පුද්ගලයා යන අංශ ද්විත්වය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මන්ද දේශීයත්වය පමණක් සැලකිල්ලට ගතහොත් ගෝලීය වශයෙන් පුද්ගලයාට මුහුණදීමේ හැකියාව අවම වේ. මෙම ද්විත්වයට අදාළ දැනුම කුසලතා සහ ගුණාංග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ගොඩනැගීම සාර්ථක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වේ.

සාර්ථක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීමේ දී මෙරට පවතින ගැටලු‍ සහ අභියෝග රැසකි. ඒ අතුරින් පවතින ප්‍රධානම අභියෝගයක් වන්නේ පාසල් පද්ධතිය තුළ විෂය උගන්වනු ලබන ගුරුවරුන්ට ප්‍රමාණවත් තරමින් පුහුණුවක් ලබා තිබේ ද යන කාරණාවයි. එනම් ලෝකය නිරන්තරයෙන් අලු‍ත් වෙමින් වර්ධනය වීම ඔස්සේ දැනුම ද පුළුල් වේ. එම පුළුල් වූ දැනුම් ඔස්සේ විෂය මාලා සංවර්ධනයට අවශ්‍ය නව දැනුමෙන් කොතරම් දුරට ගුරුවරුන් සන්නද්ධවේද යන්න ගැටලු‍ පවතී. ගුරුවරුන්ගේ කාලීන දැනුම යාවත්කාලීන වීම කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වේ. දැනුම යාවත්කාලීන නොවූ විට කෙතරම් සාර්ථක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනාව ද ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු‍ පැන නගී.

තවත් ගැටලු‍වක් වන්නේ දීපව්‍යාප්ත පාසල් පද්ධතිය තුළ සම්පත් බෙදී යෑමේ විෂමතාවයි. එනම් භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් බෙදී යෑම ද විශාල ලෙස විෂමතාවක් පවතී. නාගරික තදාසන්න පාසල් තුළ ගුරු අතිරික්තයක් සිටිය දී යම් ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව වැනි ප්‍රධාන විෂයයන් සඳහා ද ගුරු පුරප්පාඩු පවතී. එවැනි තත්වයන් තුළ දී සිදුවන්නේ විෂය ප්‍රවීණ නොවූ ගුරුවරුන් විෂය ඉගැන්වීමට යොමු වීමයි. ඒ තුළින් නිසි අධ්‍යාපන ඵල ලබා ගැනීමේ ගැටලු‍ මතුවේ. භෞතික සම්පත් බෙදී යෑමේ ද ගැටලු‍ මේ අයුරින්ම පවතී. ග්‍රාමීය පාසල් තුළ රසායනාගාර, ක්‍රීඩා, තාක්ෂණික පහසුකම් අවම මට්ටමක පැවැතීම එයට නිදසුන් සපයයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් විෂය මාලා සංවර්ධනය පමණක් නොව මෙම සම්පත් බෙදීයෑමේ විෂමතාව කෙරෙහි ද මූලික අවධානයක් යොමු කළ යුතුය.

තවදුරටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයක් වන්නේ ඇගැයීම් ක්‍රියාවලියයි. දරුවන්ට ලබාදෙන දැනුම, කුසලතා, නිපුණතා ආදි වූ ගුණාංග නිසි ලෙස දරුවන්ට අවශෝෂණය වූයේ ද යන්න එනම් නිසියාකාර වැඩපිළිවෙළක් හරහා ඇගැයීමට ලක් කළ යුතුය. ඒ සඳහා යම් කාල පරිච්ඡේදයක් ගත වේ. එම කාලය නිසි කළමනාකරණයෙන් යුතු. මෙහෙයවීමට නිසි සැලැස්මක් අවශ්‍ය වේ. මෙම ඇගැයීම් ක්‍රියාවලිය සරල නොවූවකි. ඒ සඳහා විෂය අන්තර්ගතය පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනය සහ විෂය සම්පාදකයන් විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වේ. එමෙන්ම ඇගැයීම් ක්‍රියාවලිය සඳහා විභාග දෙපාර්තමේන්තුවේ දායකත්වය ද වැදගත් වේ. මෙම කටයුතු අධීක්ෂණයකින් යුතුව සිදු කිරීමට විෂයයන් පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත විශ්වවිද්‍යාල කථිකාචාර්වරුන්, අධ්‍යාපන පීඨවල කථිකාචාර්යවරුන් ආදි අත්දැකීම් සහිත ප්‍රාමාණිකයන් සමග කතිකාවක් ඇති කළ යුතුය. එනම් විෂය අන්තර්ගතය සහ ඉගැන්වීමේ ක්‍රමවේද ඔස්සේ බිහිවන අවසන් ප්‍රතිඵලය පිළිබඳව දැක්මක් සැලැස්මක් මෙම කතිකා ඔස්සේ නිර්මාණය විය යුතුය. එසේ නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි කියූ පමණින් නිසි සැලැස්මක් නොමැතිව සාර්ථක ප්‍රතිසංස්කරණ මාලාවක් සැකසිය නොහැකිය.

ගල් යුගයෙන් ඇරඹි ජීවන ගමන වර්තමානය වනවිට හයවැනි කාර්මික විප්ලවය කරා පැමිණ ඇත. එම පරිවර්තනය සමග තාක්ෂණය ද කරළියට පැමිණ ඇත. එබැවින් තාක්ෂණයෙන් වියුක්තව කටයුතු කරීම අභියෝගයකි. තාක්ෂණය හමුවේ පාසල් දරුවාගේ ද කායික මානසික හැසිරීම් සංකීර්ණ වී තිබේ. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීමේදී ද තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එහෙත් තාක්ෂණය මත පදනම්ව පමණක් සාර්ථක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කළ නොහැකි වේ.

මෙම අංශ කෙරෙහි සැලකිමත් වී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණකරණයේ නියැළු‍ණහොත් අභියෝග අවම කර ගනිමින් මානව සම්පත පිළිබඳව විශේෂ අවධනයක් යොමු කරමින් සංකීර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බොහෝවිට දේශපාලන අරමුණු මත පදනම් වන බවට ද චෝදනා එල්ල වේ. ආණ්ඩු මාරු වුව ද වෙනස් නොවන, විද්වතුන්ගේ එකඟතාව මත පදනම් වූ “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්”‍ සකස් කිරීම මෙම ගැටලු‍ව සඳහා පවතින විසඳුම වේ. එනම් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ඔස්සේ පාලකයන්ගේ බලධාරීන්ගේ හුදු අවශ්‍යතා මත කාලයෙන් කාලයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලු‍ උද්ගතවීම අවම කරගත හැකිය. එලෙස ජාතික අධ්‍යපන ප්‍රතිසංස්කරණයක් නිර්මාණය කිරීම ඒක පාර්ශවික ලෙස කළ නොහැකිය. එය සාමූහික ක්‍රියාවලියක් විය යුතුය. එලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නිර්මාණය කිරීමට ප්‍රථමව කළ යුත්තේ පර්‌යේෂණ පැවැත්වීමයි. එනම් පසුගිය වසරවල යථාර්ථයක් නොවූ අධ්‍යපන ප්‍රතිසංස්කරණ වාර්තා අධ්‍යයනය කර අසාර්ථක වීමට හේතු විශ්ලේෂණය කිරීම කළ යුතුය.

සෑම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකම පාහේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය, ගුණාත්මක අධ්‍යාපනය, සැමට අධ්‍යාපනය ආදී වූ තේමා යටතේ ප්‍රතිපත්ති මාලා සකස් කළ ද පර්යේෂණ දෘෂ්ටිකෝණ ඔස්සේ ගමන් කිරීමක් සිදු නොවීම එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික වශයෙන් ආසර්ථක වීමට හේතු වී තිබේ. එබැවින් පර්‌යේෂණ ඔස්සේම ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කිරීම සාර්ථක අවසානයක් කරා ගමන් කළ හැකිය. මෙවරත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ දිනවල ජනප්‍රිය උණුසුම් මතෘකාවක් බවට පත් වුව ද සාර්ථක ජාතික අධ්‍යපන ප්‍රතිසංස්කරණයක් නිර්මාණය කිරීමට සාර්ථක ප්‍රවිෂ්‍ටවීමක් දැකගත නොහැකිය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනවල වඩාත් කතාබහට ආන්දෝලනයට ලක් වූ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල් ගැටලු‍ව පෙන්වා දිය හැකිය. 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල”‍ ගැටලු‍වෙන් පෙනී යන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී පවතින සන්නිවේදන සහ සැලසුම් සහගතභාවයේ දුර්වලතාවකි. එනම් වගකීමකින් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 6 ශ්‍රේණියේ මොඩියුල් ගැටලු‍ව හඳුනාගත හැකිය. විධිමත්ව සැලස්මකට අනුව කටයුතු කළේ නම් මෙවැනි ආන්දෝලනාත්මක ගැටලු‍වක් උද්ගත නොවේ. එනම් නිසි ආකාරයෙන් සුපරීක්ෂණයක් සිදුවී නොමැත. ගැඹුරින් අවධානය යොමු කළ යුතු වුව ද නිසි අවධානයක් නොදීම මෙවැනි ගැටලු‍ සඳහා මුලපුරනු ලබයි. ඉදිරියේදී වුව ද නිසි නියාමනයකින් යුතුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි වගකීම් සහගත කටයුතු කළ යුතු වේ.

සමස්තයක් ලෙස ගත් කල, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු හුදෙක් පෙළපොත් අලු‍ත් කිරීමක් හෝ විභාග ක්‍රමවේද වෙනස් කිරීමක් පමණක් නොව, එය ජාතියක ආත්මය හැඩගැස්වීමේ ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාව තුළ පවතින සම්පත් විෂමතාව, ගුරු පුහුණුවේ හිඩැස් සහ දේශපාලනික අස්ථාවරත්වය වැනි අභියෝග ජය ගැනීමට නම්, පර්‌යේෂණ දත්ත මත පදනම් වූ ස්ථාවර “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්”‍ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. තාක්ෂණික දියුණුව වැළඳ ගන්නා අතරම අපටම ආවේණික වූ සංස්කෘතික සාරධර්ම ආරක්ෂා කර ගනිමින්, ගෝලීය පුරවැසියකු බිහි කිරීමේ වගකීම රජය, ගුරුවරුන් මෙන්ම සමස්ත සමාජයම සාමූහිකව බාරගත යුතුය. 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල වැනි ගැටලු‍ නැවත ඇති නොවීමට නම් සැලසුම්කරණයේ පවතින විනිවිදභාවය සහ වගවීම තහවුරු කළ යුතුය. අවසාන වශයෙන්, සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක සාර්ථකත්වය රැඳී පවතින්නේ එය කඩදාසියකට පමණක් සීමා නොවී, පන්ති කාමරය තුළ ජීවමාන වන ප්‍රායෝගික හා මානවවාදී පරිවර්තනයක් බවට පත්වීම මතය.

(*** සටහන - ශෂිකා අබේරත්න)