බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස ලබා 78 වසරක් ගතවීමේ ජාතික නිදහස් සමරු උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස ඉකුත් 4 වැනි දින පැවැත්විණි. නිදහස් රාජ්‍යයක් ලෙසට අප නිදහසේ උපරිම ඵල නෙළාගෙන ඇත්ද යන්න ප්‍රශ්නයකි.

ගතවූ 78 වසරක කාලය තුළ වරින් වර බලය හිමි කර ගත් රජයන් ජන ජීවිතය නගා සිටුවීම සඳහා වූ අධ්‍යාපනය, කෘෂිකර්මය, කර්මාන්ත සහ මාර්ග සංවර්ධනය යනාදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය සඳහා යම් සාධනීය පියවර ගෙන ඇති නමුත් කාල පරිච්ඡේදයක් වශයෙන් ගතහොත් 78 වසර තුළ දී රටක් වශයෙන් ලබන ලද ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව ලෝකයේ වෙනත් රටවල් එම කාලය තළ ලබා ඇති විස්මිත දියුණුව සමග සසඳන විට පැහැදිලි වෙයි.

ඉන්දියාව, චීනය, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව ආදි රටවල් විද්‍යාව හා තාක්ෂණය සමග විවිධ ක්ෂේත්‍රවල අසිරිමත් දියුණුවක් දශක කිහිපයක් තුළ පෙන්නුම් කර ඇත. ශ්‍රී ලංකාව 78 වසරක කාලයක් තුළ යම් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති නමුත් මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා පුළුල් දැක්මකින් හා සංවිධිත මහා සැලැස්මකින් රට ගොඩ නැගීමකින් තොරව, බලයට පත් පක්ෂ සිය පෞද්ගලික අභිමතාර්ථ සාධනයට අතිමහත් සැලකිල්ලක් උනන්දුවක් දැක්වීම නිසා 2024 වන විට ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රය වූයේ ජාත්‍යන්තරයෙහි බංකොලොත් රාජ්‍යයක් ප්‍රකාශයට පත්වීමයි. ආර්ථික බංකොලොත්භාවයට සමගාමීව සංස්කෘතිමය, සමාජමය වශයෙන් ද පරිහානි පථය කරා අප රට ගමන් කරමින් තිබුණි. පාලක පන්තියේ ආශිර්වාදය මත කරන ලද මහා පරිමාණ දූෂණ වංචා, ජන වාර්ගික ගැටුම්, පාතාල ක්‍රියාකාරකම්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම හේතු කර ගෙන සදාචාරමය වශයෙන් දූෂිත සමාජ දර්ශනයක් ද ප්‍රදර්ශනය කරමින් තිබුණි.

 

දූරදර්ශී නායකත්වය

නිදහසෙන් පසු සියලු‍ ජාතීන් ශ්‍රී ලාංකික ධජය යටතේ ඒකරාශී කරමින් සෞභාග්‍ය සම්පන්න අභිමානවත් දේශයක් බවට පත් කිරීමට තිබූ ඉඩ ප්‍රස්ථා අපට අහිමි වූයේ බලයට පත් පක්ෂ තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ජනතා බලවේග වෙන් කරලීමට විවිධ උපක්‍රම සූක්ෂමාකාරයෙන් භාවිත කිරීම නිසාය. පාලක දූෂිත ප්‍රභූ පන්තිය අප්‍රමාණ සුඛ විහරණ ජීවිතයක් සහ වරප්‍රසාද බුක්ති විඳීමට මිස දිගුකාලීන දූරදර්ශී දැක්මකින් රට ගොඩ නැගීමට ක්‍රියා කළේ නැත. නිදහසෙන් පසුව සෞභ්‍යග්‍ය සම්පන්න අභිමානවත් දේශයක් නිර්මාණය කිරීමට තිබූ ඉඩ ප්‍රස්ථා ගිලිහී ගියේ දූර්දර්ශී දේශමාමක ජාතික නායකත්වයක් නොමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය ඇතුළු රටවල ජාතික නායකත්වය දේශමාමක බලවේග අවදි කරමින් සිය රට ආර්ථික, සාමාජික, සංස්කෘතික වශයෙන් ඔසවා තැබීමට විවිධ උපායමාර්ග සැලසුම් සම්පාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දශක කිහිපයක් තුළ සෞභාග්‍ය සම්පන්න දේශයක් සිය ජනතාව අත්පත් කර දීමට සමත් විය. එහෙත් නිදහසෙන් පසු රාජ්‍ය බලයට පත් අප රටේ පක්ෂවල නායක කාරකාදීන් සිය සුඛ විහරණය තහවුරු කර ගැනීමේ න්‍යාය පත්‍රවලට ප්‍රමුඛතාව දීමෙන් සියලු‍, ස්වාභාවික සහ මානව සම්පත්වලින් පොහොසත් අප රට, ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික දර්ශකයන් අනුව දිළිඳු රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්විය. ජනතාවට අර්ථවත් නිදහසක් ලබාදිය හැක්කේ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ පරිසරයක් නිර්මාණය කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මගිනි. බලය ලබා ගත් පක්ෂවල නායක කාරකාදීන් අත්තනෝමතික පාලනයක් ගෙන යමින් නීතියේ ආධිපත්‍යයට ඉහළින් සිට ක්‍රියා කිරීම නිසා ලබාගත් නිදහස වල්බූරු නිදහසක් වූවා මිස පරිපූර්ණ නිදහසක් බවට පත් වූයේ නැත.

 

ජාතික සමගිය

මුළු මහත් ශ්‍රී ලංකාවේම වාසය කරන්නාවූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ යන සියලු‍ම ජාතීන් අතර අතිශය භාරදූර වගකීම තම රජය වෙත පැවරී ඇති බවත් එය ඉටු කිරීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපතිවරයා ජාතික නිදහස් සමරු දින උළෙලේ දී මෙන්ම මැතිවරණ ප්‍රකාශයෙන් ද අවධාරණය කර ඇත. එය රජය වෙත පැවැරී ඇති, අත් නොහැරිය හැකි වගකීමක් බවට ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවල දී පුන පුනා කරන ලද ප්‍රකාශය ද එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ගනිමින් සිටින ක්‍රියාමාර්ග ද ජනතා ප්‍රසාදයට ලක්වී ඇත. ජාතික, ආගම, භාෂාව, සංස්කෘතිය විවිධ ජාතීන්ගේ අනන්‍යතාව සුරක්ෂිත වන පරිදි ලක්වැසියන් ලෙස අප එක මිටකට ඒකරාශී කිරීම රටෙහි සංවර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. දේශපාලන බලය ලබා ගැනීමට අවස්ථාවාදීන් වරින්වර අන්තවාදී ජාතිවාදය සහ ආගම්වාදයට උඩ ගෙඩි දීම අප සමාජයක් ලෙස පිටු දැකිය යුතුය. දේශපාලන බලය ලබා ගැනීම සඳහා එය ජනතාව බෙදන නිර්ණායකයක් නොවිය යුතුය. සියල්ලෝම ලාංකික පුරවැසියෝය යන අභිමානවත් සංකල්පය පෙරට ගත යුතුව ඇත. ජාතිවාදය, ආගම්වාදය බලය ලබා ගැනීම සඳහා බර අවියක් කර ගැනීම ආර්ථික, සාමාජික, දේශපාලනික වශයෙන් රට පසුගාමී තත්වයට පත්වීමට ප්‍රධාන හේතුවකි.

ජනතාවගේ සිත් සතන්වල ජාතිවාදයේත් ආගම්වාදයේත් ගිනි අවුළුවා බලය ඩැහැගෙන තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ සුඛ විහරණය පමණක් මහත් කොට සලකන දේශපාලන සංස්කෘතිය ජාතික ජන බලවේග රජය සහ පොදු ජනතාව පිටු දැකීම පැසසිය යුතු ලක්ෂණයකි. ජනාධිපතිවරයා සියලු‍ ජාතීන්ගේ අයිතීන් සුරක්ෂිත කරන බවට නිදහස් සමරු උළෙලේ දී කළ ප්‍රතිඥාව රටෙහි අභිමානයට මෙන්ම රටෙහි ආර්ථික සමාජ, සංස්කෘතික ප්‍රගමනයට මෙන්ම ස්ථාවරත්වයට ද හේතු වනු ඇත.

 

නීතියේ ආධිපත්‍යය

ජාතික ජන බලවේගය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සෑම දෙනාටම නීතිය එක සමානය, යනුවෙන් කරන ලද ප්‍රකාශය ජනාධිපතිවරයා යළි තහවුරු කර ඇත. නීතියේ විධානයට සියලු‍ දෙනාම උස් පහත් භේදයක් නැතිව අවනත විය යුතුය. ‘අපගේ පරම්පරාව උපන්නේ රාජ්‍ය පාලනය කිරීමටය. ‘අප හැර අන් කිසිවෙක් රාජ්‍ය පාලනය නොකළ යුතුය’, යනුවෙන් පැවැති හිස් උඬඟු‍කම දැන් වාෂ්ප වෙමින් පවතී. ‘නීතිය ක්‍රියාත්මක විය යුත්තේ අපගෙන් පාලනය වන ජනතාවට පමණි’, පවත්නා නීතිය අපට අදාළ වන්නේ නැතැයි දේශපාලන බලයෙන් මත්ව සිටි බලවතුන් තුළ තිබූ සාවද්‍ය අදහස දැන් වියැකී යමින් පවතී. දියුණු රාජ්‍යවල සියලු‍ ජනතාව නීතියට යටත්ය. එසේ වුව ද අප රට ප්‍රභූ දේශපාලනඥයන්ට බැල මෙහෙවරකම් කරන සුළු පිරිසක් තමන්ගේ පන්තියට අයත් වූවන්ට නීතිය ක්‍රියාත්මක වුව ද ප්‍රභූ දේශපාලනඥයන්ට නීතිය ක්‍රියාත්මක නොවිය යුතුය, යන වහල් අදහසක තවමත් පිහිටා සිටීම ඛේදජනක කරුණකි.

 

තොරතුරු තාක්ෂණය

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ දී සෑම ක්ෂේත්‍රයක් සඳහාම තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අතිශය වැදගත්ය. ඒ සඳහා වත්මන් රජය සුවිශේෂ අවධානයක් යොමු කර ඇති බව ජනාධිපතිවරයා පවසයි. වත්මන් ලෝකයෙහි සංවර්ධන උපාය මාර්ගවල දියුණුවට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ තොරතුරු තාක්ෂණයයි. ලෝකයේ බොහෝ රටවල් ආර්ථික සාමාජික සංවර්ධනය සඳහා බෙහෙවින් හේතු වී ඇත්තේ තොරතුරු ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයයි. තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, කර්මාන්ත සහ පරිපාලනය මූල්‍ය කටයුතු ආදී විවිධ ක්ෂේත්‍රවල සේවා පහසුකම් කඩිනම් කිරීමටත් සංවර්ධන අභිලාෂ වේගවත් කිරීමටත් හේතුවේ. එබැවින් වෙනස්වන ලෝකයට අනුගතව තොරතුරු තාක්ෂණය පිළිබඳව යාවත්කාලීන කිරීම රජයේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හේතුවනු ඇත. එම මානව සම්පත්වලින් විශාල ප්‍රමාණයක් විදේශීය රටවල් කරා ඇදී ගොස් ඇත්තේ රටෙහි පවත්නා දේශපාලන ආර්ථික සමාජ ව්‍යාකූලත්වය සහ අස්ථාවරත්වය නිසාය.

 

මානව සම්පත් සංවර්ධනය සහ කළමනාකරණය

අප රට මානව, පරිසර සම්පත් මනා ලෙස කළමනාකරණය කළ යුතුව ඇත. බොහෝ පිරිස් රැකියා අවස්ථා නොමැතිව නිකරුණේ කාලය ගත කරති. සුදුසු රැකියා අවස්ථා නොමැති වීම නිසා ගෘහ සේවිකාවන්, කම්කරුවන් මෙන්ම වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි බොහෝ වෘත්තිකයෝ ද විදේශ රටවලට සංක්‍රමණය වී සිටිති. ශ්‍රම ගලනය සහ බුද්ධි ගලනය සුළු පටු නැත. එබැවින් කාලීන සහ අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගෙන මානව සම්පත වර්ධනය ද කළමනාකරණය කළ යුතුව ඇත.

රටෙහි සංවර්ධන සහ සේවා අංශවල අවශ්‍යතාවලට යෝග්‍ය පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇත. අධ්‍යාපනය තුළින් යාන්ත්‍රික මිනිසකු බිහිකිරීම වෙනුවට විෂය ඥානය මෙන්ම මානව ගුණයෙන් ද, සාර ධර්මවලින් ද, සහකම්පනයෙන් ද යුත් මානව සම්පතක් සැලසුම් කිරීම අධ්‍යාපන ප්‍රතිපත්තිවල පරමාර්ථය විය යුතුය. මානව ගුණයෙන් තොර පිරිසක් අධ්‍යාපනයෙන් බිහිවීමෙන් ඔවුන් දැඩි ආත්මාර්ථකාමීත්වයෙන් ක්‍රියා කරනු දක්නට ඇත. මෙයට හේතුව අධ්‍යාපනයෙහි කිසියම් අඩුවක් පැවැතීමයි. රටකට අවශ්‍ය වන්නේ තමන්ගේ සුඛ විහරණය පමණක් මහත්කොට සලකන විෂය ඥානයට පමණක් සීමාවූ උගත්හු නොවෙති. විෂය දැනුම සමග මානව සාරධර්ම සහ වෘත්තීන්ට අදාළ ආචාර ධර්මවලට ගරු කරන මානව සම්පතක් සැලසුම් කරන අධ්‍යාපන ක්‍රමයක අශ්‍යතාව ද පවතී. මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලැබ, එම මහජනතාවම ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරමින් තමන්ගේ සුඛ විහරණය පමණක් සලකා වර්ජන තර්ජන සහ ගර්ජන කරන රාජ්‍ය සේවය මහජනතාව අනුමත කරන්නේ නැත. එබැවින් අප ලත් නිදහස පරිපූර්ණ කර ගැනීම සඳහා මානව ගුණයෙන් සපිරි මානව සම්පතක් බිහි කර ගැනීම ද අත්‍යවශ්‍යය.

(*** මහාචාර්ය සුසිරිපාල මානවඩු)