නිදහස් දිනයේ 78 වැනි සැමරුම යෙදී තිබුණේ මේ සතියේය. ආණ්ඩුව ඒ සඳහා මාතෘකාව ලෙස යොදාගෙන තිබුණේ “ශ්‍රී ලංකාව ගොඩ නගමු” යන්නය. නිදහස් උත්සව වේදිකාවල, නිල ප්‍රකාශනවල, දේශපාලන කථනවල නිතර ඇසෙන මේ වචන දෙක බොහෝවිට සටන් පාඨයක් ලෙස පමණක් භාවිත වේ.

එහෙත් “රට ගොඩ නැගීම” යනු සරල ප්‍රචාරණ වාක්‍යයක් නොව, ශ්‍රී ලංකා සමාජයේ අනාගතය පිළිබඳව ගැඹුරු දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රශ්න එකට බැඳී ඇති සංකීර්ණ අදහසකි. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ රට ගොඩ නැගීම පිළිබදවය.

“ගොඩ නැගීම” යන්න අප සාමාන්‍යයෙන් සමාන කරගන්නේ ගොඩනැගිලි, මහා මාර්ග, වරාය, ගුවන් තොටුපොළ වැනි භෞතික ව්‍යාපෘති සමගය. එහෙත් රටක් ගොඩ නැගෙන්නේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතය තුළ ඇති විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව සහ අනාගත බලාපොරොත්තු වර්ධනය වූ විටය. එබැවින් “ශ්‍රී ලංකාව ගොඩ නගමු” යන සටන් පාඨය සැබෑ අර්ථයක් ලබාගන්නේ ජනතාවගේ දෛනික ජීවිතය තුළ දැනෙන වෙනස්කම් ඇති වූ විට පමණි.

මේ දිනවල රටේ තත්වය

ඊට පෙර ලිවිය යුතු දෙයක් තිබේ. මේ දිනවල මතුවෙමින් පවතින ප්‍රධාන ගැටලු‍ ගණනාවක්ම තිබේ. එක් පැත්තකින් ගල් අඟු‍රු මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුවී ඇති වංචා චෝදනා පිළිබඳව බරපතළ සමාජ සංවාදයක් පවතී. මේ පිළිබදව මතුවී ඇති ආණ්ඩුවේ තර්කය පිළිගත හැකි එකක් නොවේ. මේ දුෂිත ගල් අගුරු මිලදී ගැනීම නවතා ක්ෂණික මිලදී ගැනීම් (Spot tender) සඳහා යා යුතු බව සමහරුන් කියනු ඇසෙන අතර ඒ කාරණය තවත් දූෂණයක ආරම්භය වේ දැයි අපට කිව නොහැකිය. සමහර විට මේ දුෂිත ටෙන්ඩර් සැපයුම්කරුවාම ක්ෂණික ටෙන්ඩර් සැපයුම්කරුවා බවට පත්වීමේ අනතුරක් ද මේ සමග තිබේ.

තවත් පැත්තකින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සහ කතානායකවරයා සම්බන්ධයෙන් මතුවී ඇති දූෂණ චෝදනා හරහා ආණ්ඩුවේ ආයතනික පාලන ක්‍රමය පිළිබඳවම බරපතළ ප්‍රශ්න මතුවෙමින් තිබෙන බව පෙන්නුම් කරයි. මේ සියල්ල හරහා මතුවන්නේ “රට ගොඩ නැගීම” යන වචන සහ වත්මන් පාලන යථාර්ථය අතර ඇති විශාල පරතරයයි. විශේෂයෙන් කතානායකවරයා සම්බන්ධයෙන් මතු කර ඇති දුෂණ චෝදනා මෙතෙක් සිටි කිසිම කතානායකවරයකු සම්බන්ධයෙන් මතු වූ ඒවා නොවන බව මගේ අදහසයි. මේ පිළිබදව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව කිව යුතුය. ආණ්ඩුව තමන්ගේ නිර්දෝෂිභාවය තබා ගැනීමට නම් මේ කතානායකවරයාගේ ක්‍රියා කලාපය හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය.

එසේ සඳහන් කරමින් නැවතත් මගේ මෙවර ලිපියේ මූලික කාරණයට යා යුතුය. ඒ කියන්නේ “රට ගොඩ නගන්නේ කෙසේද?” යන මූලික ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමය. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම යනු ආණ්ඩුවක් විවේචනය කිරීම පමණක් නොව, සමාජයක් ලෙස අප ගැනම සිතීමකි.

වසර 78ම අහකටද?

පසුගිය කාලය තුළ ජනප්‍රිය වූ දේශපාලන තර්කයක් වන්නේ “නිදහසෙන් පසු වසර 78ක්ම වැරැදි” යන අදහසයි. පසුගිය සියලු‍ ආණ්ඩු අසාර්ථක බවට සරල චෝදනා ඉදිරිපත් කරමින්, වත්මන් පාලනය තමන් නව ආරම්භයක් ලෙස ඉදිරිපත් වීම මෙහි අරමුණයි. මේ ආණ්ඩුව බලයට ආවේම ඒ තර්කය ඉදිරියට දමමින් ය. එහෙත් මෙය ඉතිහාසය අතිශය සරල කරගැනීමකි.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාව අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සුබසාධනය වැනි ක්ෂේත්‍රවල විශාල දියුණුවක් ලබා ඇත. එසේම වාරිමාර්ග, මහාමාර්හ සහ කෘෂිකර්මාන්තය විශාල වශයෙන් දියුණු වී ඇත. අද අපට නොමිලේ අධ්‍යාපන පද්ධතියක්, නොමිලේ සෞඛ්‍ය සේවාවක්, උසස් සාක්ෂරතා මට්ටමක් තිබේ. ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය අද සියයට 92ට අධිකය. සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 76කට ආසන්නය. කුඩා දරුවන්ගේ මරණ අනුපාතය දකුණු ආසියාවේම අඩුම මට්ටමක පවතී.

මේ සියල්ල මගින් පෙන්වන්නේ “අසාර්ථක වසර 78ක්” යන කතාව අල්ලේ පැළවෙන බොරුවක් බවයි. එහෙත් ඒ සමගම සත්‍යය ලෙස පිළිගත යුතු කරුණක් තිබේ. ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනයේ දී ස්ථිර දිශාවක් නොමැතිව, කාලයෙන් කාලයට වෙනස් වූ ආර්ථික මොඩල්, දේශපාලන අස්ථාවරතාව සහ දූෂණ - වංචා හේතුවෙන් විශාල අවස්ථා අහිමි වී ඇති බවයි. එබැවින් “වසර 78ම අසාර්ථකයි” යනුවෙන් සරලව කියනවාට වඩා, “අපට තිබූ අවස්ථා සම්පූර්ණයෙන් භාවිත කරගැනීමට නොහැකි විය” යනුවෙන් සංකීර්ණව සිතීම වඩා සාධාරණය. වඩා නිවැරැදිය.

ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද?

අද “රට ගොඩ නැගීම” යන වචන දෙක බොහෝවිට IMF වැඩසටහන්, ණය ප්‍රතිසංස්කරණ, වියදම් කප්පාදු සහ බදු වැඩි කිරීම සමග සමාන කරගනී. මේ වසරේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව සියයට 115ට අධිකය. 2022 අර්බුදයේ දී රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.9කටත් පහළ මට්ටමකට වැටී තිබුණි. මේ සංඛ්‍යා පෙන්වන්නේ ආර්ථිකය පාලනය කළ යුතු බරපතළ අවශ්‍යතාවක් තිබෙන බවයි.

එහෙත් ආර්ථිකය ගොඩ නැගීම යනු ණය අඩු කිරීමක් පමණක් නොවේ. එය සමාජයේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීමයි. අද ශ්‍රී ලංකාවේ සේවක බලකායෙන් සම්පූර්ණයෙන් සියයට 28කට අධික ප්‍රමාණයක් තවමත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ වේ. එහෙත් එම ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන්නේ සියයට 7-8ක් පමණි. මෙය ඵලදායිතා පරතරය productivity gap කි. විශාල ශ්‍රම බලයක් අඩු අගයක් ඇති ක්ෂේත්‍රවල සිරවී සිටීමකි. මේ ප්‍රශ්නය විසඳා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. කෘෂි කර්මාන්තය පැත්තෙන් ජල කළමනාකරණය පමණක් කිරීමෙන් සිදුවන විශාල ලාබයක් නැත. ජල කළමනාකරණයට සාපේක්ෂකව බීජ තාක්ෂණය, පසු අස්වැන්න කළමනාකරණය වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධනය යොමු කළ යුතුව ඇත.

2023 දත්ත අනුව ශ්‍රී ලංකාවේ තරුණ අස්ථිර රැකියා අනුපාතය සියයට 21ට අධිකය. උසස් අධ්‍යාපනය ලබාගත් තරුණයන්ගෙන් පවා විශාල පිරිසක් තම සුදුසුකම්වලට නොගැළපෙන රැකියා කරමින් සිටිති. මෙය ආර්ථිකයේ ව්‍යුහමය ගැටලු‍වකි.

මෙහි ප්‍රධාන විසඳුම වන්නේ ව්‍යවසායකත්වය මූලික කරගත් ආර්ථික මොඩලයක් ගොඩ නගා ගැනීමයි. අද ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සම්පූර්ණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සියයට 75ක් නියෝජනය කරයි. එහෙත් ඒවා දළ දේශීය නිෂ්පාදිතයට දායක වන්නේ සියයට 45කටත් අඩුවෙනි. එනම් ව්‍යාපාර බහුල නමුත් ඵලදායිතාව හෙවත් productivity ඉතාමත් අඩුය.

ඉන්දියාව සහ චීනය සමග සබඳතා සම්බන්ධයෙන් බැලූ විට, අද ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 3.7කට අධිකය. චීනය ඩොලර් ට්‍රිලියන 18කට ආසන්නය. ශ්‍රී ලංකාව තිබෙන්නේ ඩොලර් බිලියන 80ක් වටාය. IT සේවා අපනයනවලින් පමණක් ඉන්දියාවට වාර්ෂිකව ඩොලර් බිලියන 150කට අධික ආදායමක් ලැබේ. ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණය. තවත් පැත්තකින් පසුගිය සතියේ ඉන්දියාව සහ යුරෝපා සංගමයේ රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළේය. වසර 15ක පමණ සාකච්ජා වටයකින් පසු ඔවුහු මේ එකගතාවට පැමිණියහ. යුරෝපානු වෙළෙඳපොළ සමග ඉන්දියාවේ මේ නව සම්බන්ධතාව ඉතාමත් වැදගත් කාරණයකි. අපේ ආර්ථිකය වර්ධනය කරන්නට නම් විශාල වෙළෙඳපොළවල් සමග අප සම්න්බන්ධ විය යුතුය. ඒ සඳහා පියවර නොගන්නේ නම් මෙරට ආර්ථිකය වර්ධනය කිරීම අපහසුය. අද වියට්නාමයේ සංවර්ධනය කියන්නේ ඒ රට ‘ආසියාන්’ සංවිධානයේ රටවල් අතර විශාල වෙළෙඳපොළකට හිමිකම් කීම ය.

මේ සංඛ්‍යා පෙන්වන්නේ ශ්‍රී ලංකාවට පැවැත්මේ උපාය මාර්ග survival strategy ලෙස කලාපීය ආර්ථික ජාලවලට සම්බන්ධ වීම අත්‍යවශ්‍ය බවයි. තනිව, කුඩා ආර්ථිකයක් ලෙස, ගෝලීය වෙළෙඳපොළේ තරග කිරීමට අපට හැකියාවක් නැත. එහෙත් නිවැරැදි ප්‍රතිපත්ති තිබුණහොත්, විදේශ ආයෝජන යනු රට විකිණීමක් නොව, රට ශක්තිමත් කිරීමක් බවට පත් කළ හැකිය.

අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් රට ගොඩ නගන්නේ කෙසේද?

අධ්‍යාපනය මේ දවස්වල විශේෂ මාතෘකාවකි. රටක් ගොඩ නැගෙන්නේ දැනුමෙන්ය. ශ්‍රී ලංකාවට තිබෙන විශාලම සම්පත ස්වාභාවික සම්පත් නොව, මානව සම්පතයි. එහෙත් මේ සම්පත ආර්ථිකයට හෙවත් economy එකට නිකම්ම පරිවර්තනය වෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ තෘතීයික අධ්‍යාපනයට ඇතුළත් වීමේ අනුපාතය tertiary education enrollment rate අද සියයට 23ක් පමණය. ඒ කියන්නේ වෘත්තීය පුහුණු අධ්‍යාපනයයි. OECD රටවල මෙය සියයට 60-70 අතර වේ. තවත් බරපතළ කරුණක් වන්නේ අධ්‍යාපනය සදහා රජයේ වියදම public expenditure on education ය. ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වැය කරන්නේ සියයට 1.9ක් පමණය. ජවිපෙට සම්බන්ධ අධ්‍යාපන වෘත්තීය සමිති 2012 වසරේ සිට කියා සිටියේ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කළ යුතු බවයි. සියයට 6 ලාංඡනය සමගින් ටී ෂර්ට් ඇදගත් වත්මන් අගමැතිනියගේ ජායාරූප අදත් සමහර වෙබ් අඩවිවල පළවෙමින් තිබෙන්නේ මේ කාරණය මතක් කිරීමටය. එහෙත් ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ඒ තර්කය තමන්ගේ මතකයෙන් එළියට දමමිනි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ උසස් පෙළ සිසුන්ගෙන් සියයට 18-20ක් පමණි. ඉතිරි සියයට 80කට සංක්‍රමණය (migration) පෞද්ගලික අධ්‍යාපනය (private education) හෝ අස්ථිර ශ්‍රම වෙළෙදපොළ (labour market) පමණි ඉතිරි වන්නේ. මෙය brain waste නැතහොත් බුද්ධිය අපතේ යාමකි.

අධ්‍යාපනයෙන් රට ගොඩ නැගීම යනු විෂයමාලාව වෙනස් කිරීම පමණක් නොවේ. ඒ සඳහා ප්‍රධාන කාරණා කීපයක් ම තිබේ. එයින් එකක් වන්නේ විෂයමාලාව වෙනස් කිරීමය. අනෙක වන්නේ ශක්තිමත් ගුරු පුහුණුවක් ලබාදීමය. එසේම ඉගැන්වීමේ සංස්කෘතිය හා ක්‍රමවේදය වෙනස් කිරීමත් ඉතාමත් වැදගත් ය. විචාරශීලි චින්තනය (critical thinking) පරිගණක සාක්ෂරතාව (digital literacy) පර්‌යේෂණ කුසලතා (research skills) නිර්මාණශීලිත්වය (creativity) යන මේවා නොමැතිව දැනුම මත පදනම් වූ ආර්ථිකය (knowledge economy) නිර්මාණය කළ නොහැකි බව සැබෑවක් ය. එහෙත් වත්මන් ආණ්ඩුව මේ වැඩ කරන්නට යන ආකාරයේ තිබෙන ගැටලු‍කාරීත්වය නිසා හා තමන්ගේ පෞද්ගලික ජිවිත රටා අධ්‍යාපනය තුළට ඇතුළු කිරීමට යාම නිසා ඒ වැඩේ සම්පුර්ණයෙන්ම අවුල් වී ඇත.

අද දකුණු කොරියාව R&D සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.8ක් වැය කරයි. ශ්‍රී ලංකාව R&D සඳහා වැය කරන්නේ සියයට 0.2කටත් අඩුවෙනි. මෙය තාක්ෂණික අනාගතයක් (technological future) නැති රටක් බවට අප පත් කරන සංඛ්‍යාත්මක සත්‍යයකි.

පාලන සංස්කෘතිය

ආර්ථිකයත් අධ්‍යාපනයත් ගොඩ නැගෙන්න නම්, ඒවාට පදනම් වන පාලන සංස්කෘතිය ශක්තිමත් විය යුතුය. දූෂණය සාමාන්‍ය කරගත්, නීතිය දේශපාලන බලයට යටත් වූ, ආයතන ස්වාධීන නොවන සමාජයක කිසිදු සංවර්ධන සැලැස්මක් දිගු කාලීනව සාර්ථක වන්නේ නැත.

රට ගොඩ නැගීමේ මූලික පියවර වන්නේ විනිවිදභාවය, වගකීම සහ මහජන විශ්වාසය යළි ගොඩනගා ගැනීමයි. විශ්වාසය නැති රටක සංවර්ධනය යනු කඩදාසි සංඛ්‍යාත පමණක් වේ.

අවසානයේ රට ගොඩ නැගෙන්නේ ආණ්ඩුවෙන් පමණක් නොවේ. එය ජනතාව සමග ජනතාව විසින්, ජනතාව සඳහා සිදුවන ක්‍රියාවලියකි. පුරවැසියන්ට තමන්ට හඬක්, බලයක් සහ ගෞරවයක් ඇති බව දැනෙන විටය “ශ්‍රී ලංකාව ගොඩ නැගීම” යන වචන දෙක සැබෑ අර්ථයකින් ජීවිතයට පත්වෙන්නේ.නැතිනම්, නිදහස් දිනයට වාර්ෂිකව වෙනස් වන මාතෘකා, නව නව සටන් පාඨ සහ වර්ණවත් උත්සව තිබුණ ද ජනතාවගේ ජීවිතය වෙනස් නොවන තුරු, “රට ගොඩ නැගීම” යනු තවත් හිස් දේශපාලන කතාවක් ලෙසම ඉතිරි වනු ඇත.

(***)