2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2,77,327 ක් විය. පෙබරවාරි මාසයේ දී එම සංඛ්‍යාව 2,79,328 දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මාර්තු මාසයේ දී සංචාරකයන් 2,40,935 ක් පැමිණෙනු ඇතැයි ඉලක්ක කර තිබුණි. ඇමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු එම ඉලක්කය සංචාරකයන් දෙලක්ෂය දක්වා වෙනස් කරනු ලැබීය.
එසේ වුව ද 2026 මාර්තු 25 වැනිදා දක්වා පැමිණි සංචාරක සංඛ්‍යාව 1,51,693 ක් විය. මාර්තු 14 වැනිදා සංචාරකයෝ 7,318 ක් ශ්‍රී ලංකාවට පැමිණියහ. එසේ වුවද මාර්තු 25 වැනිදා පැමිණියේ සංචාරකයන් 4,890 ක් පමණි. යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සිදුව ඇති බලපෑම ඉන් වටහා ගැනීමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන රටවල් නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන මුල් රටවල් විස්ස අතර මැදපෙරදිග රටවල් කිසිවක් නැති බවය. එසේ වුව ද බොහොමයක් සංචාරකයන් තම ගමනාන්ත සඳහා තෝරාගනු ලබන්නේ මැදපෙරදිග කලාපය ආශ්‍රිත ගුවන් ගමන් මාර්ග ය. මාර්තු මාසයේ දී සංචාරක පැමිණීම විශාල ලෙස අඩුවීම කෙරෙහි බලපා ඇත්තේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් එම කලාපය හරහා සිදු කෙරෙන ගුවන් ගමන් අවලංගුවීම, අඩුවීම සහ නවතා දැමීම නිසා බව පෙනී යයි. යුද්ධය අවසන් වනතුරු මෙන්ම අවසන්වීමෙන් පසු ගුවන් ගමන් නැවතත් යථා තත්වයට පත්වන තුරුම මෙම තත්වය සංචාරක ව්‍යාපාරය කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.
මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ සංචාරකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති නමුදු එයින් පැහැදිලි වන තවත් කරුණක් තිබේ. එනම් සමස්ත ලෝකයම යුද්ධයක බලපෑමට මැදිව සිටියදී සහ ජාත්‍යන්තර ගුවන් සේවා විශාල ප්‍රමාණයක් අඩපණව තිබියදී පවා සැලකිය යුතු සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවය. ශ්‍රී ලංකාව විවිධාකාරයේ ස්වාභාවික සහ ස්වාභාවික නොවන විපත් රැසකට පසුගිය කාලය තුළ මුහුණ දුන් නමුදු එම අවස්ථාවලදී පවා සැලකිය යුතු සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පෙනේ. තිස් අවුරුදු යුද්ධය පැවැති කාල පරිච්ඡේදය, යුද්ධය අවසන් වූ කාලපරිච්ඡේදය, ජනවාර්ගික අර්බුද, ගංවතුර, සුනාමිය සහ ආර්ථික අර්බුදය වැනි පීඩාකාරී කාලපරිච්ඡේදවල ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවිය. එසේ වුවද ඒ සෑම අවස්ථාවකදීම අඩුම තරමින් ලක්ෂයකට වැඩි සංචාරක පිරිසක් වසරකට ශ්‍රී ලංකාවට පැමිණියහ. කෝවිඩ් ව්‍යසන යුගයේ දී සංචරණ සීමා, නිරෝධායන නීති රීති සහ ගුවන් ගමන් අඩුවීම වැනි හේතු නිසා සංචාරක පැමිණීම විශාල ලෙස අඩුවූ නමුදු එම යුගයේදී ද සංචාරකයෝ යම් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ.
එයින් පැහැදිලි වන මුලික කරුණ වන්නේ කවර තත්වයක් යටතේ වුව ද ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන සංචාරකයන් විශාල පිරිසක් ලොව සිටින බවය. 2018 වසරේදී ශ්‍රී ලංකාව ඒ දක්වා ඉතිහාසය තුළ වැඩිම සංචාරක පැමිණීම වාර්තා කළේය. එම වසරේ පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,333,796 ක් විය. 2019 පාස්කු දා ප්‍රහාරයත් සමග සංචාරක පැමිණීම අඩුවන්නට පටන් ගත් අතර කෝවිඩ් අර්බුදය සහ ඉන් පසුව ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයේ දැඩි පසුබෑමක් ඇති විය. 2021 වසරේ දී මුළු සංචාරක පැමිණීම 1,94,495 ක් විය.
රටේ නිෂ්පාදන හා සේවා අංශ අතර සංචාරක ව්‍යාපාරයේ පවතින විශේෂත්වය වන්නේ කිසියම් පසුබැස්මකට ලක් වූ අවස්ථාවක දී ඉතා කෙටි කලකදී, අඩු පිරිවැයක් යටතේ එය යථා තත්වයට පත්කර ගැනීමට ඇති හැකියාවයි. සංචාරක ව්‍යාපාරය සඳහා ඉදිකර ඇති හෝටල් සහ නවාතැන් ආදිය කිසියම් ආර්ථික පසුබැස්මක දී විනාශයකට පත් නොවන බැවින් ඉතා කෙටි කලකින් ඒවා නැවත සූදානම් කර ගැනීමට හැකියාව ලැබේ. එසේම එම කර්මාන්තය යථා තත්වයට පත්කර ගැනීමේ දී අනෙකුත් ආර්ථික අංශවල දී මෙන් විශාල පිරිවැයක් දැරීමට ද සිදු නොවේ. එවැනි තත්වයක් තුළ ආර්ථික පසුබෑමකින් පසු වෙනත් අංශවලට වඩා පහසුවෙන් සහ කඩිනමින් සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබේ.
තිස් වසරක් පැවැති මෙරට යුද්ධය නිසා 2008 වසර වනවිට සංචාරක පැමිණීම ඉතා පහළ මට්ටමකට පත්ව තිබුණි. එම වසරේ පැමිණි මුළු සංචාරක සංඛ්‍යාව 4,94,008 ක් විය. එසේ වුවද යුද්ධය අවසන් වීමෙන් පසු ඉතා ඉක්මනින් එම ප්‍රමාණය වැඩි වූ අතර 2012 දී දසලක්ෂය ඉක්මවා යෑමට ද, 2016 දී විසි ලක්ෂය ඉක්මවා යෑමට ද හැකිවිය. 2018 වසරේදී මුළු සංචාරක පැමිණීම් මිලියන 2.33 ක් වී, ඒ දක්වා වූ ඉහළම සංචාරක පැමිණීම වාර්තා කළේය. පාස්කු දා ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා සංචාරක පැමිණීම යළිත් අඩු වන්නට පටන් ගත් අතර 2019 දී මිලියන 1.9 දක්වා පහත වැටුණි.
2023 වසරේ දී ආර්ථික අර්බුදය පවතිද්දීම සංචාරක ව්‍යාපාරය යථා තත්වයට ගෙන ඒම සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක විය. 2024 වසරේ දී මුළු සංචාරක පැමිණීම 2,053,465 දක්වා වැඩිවිය. 2025 වසරේ දී ඒ දක්වා වූ ඉහළම පැමිණීම වාර්තා කරමින් සංචාරක පැමිණීම 2,362,521 දක්වා වැඩිවිය. මෙම සංඛ්‍යා දත්ත හා ප්‍රවණතාව මගින් පෙන්නුම් කරන්නේ සමහර අවස්ථාවල දී විශාල පසුබෑමකට ලක් වූව ද රට යථා තත්වයට පත්වූ පසු ඉතා කෙටි කලකින් සංචාරක කර්මාන්තය ද යථා තත්වයට පත් කර ගැනීමට මෙන්ම පෙර තත්වයට වඩා ඉහළ තත්වයකට ගෙන ඒමට ද හැකියාව ඇති බවයි. අපනයන සහ විදේශ ප්‍රේෂණ යන අංශ දෙකට පසුව ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙනි.
සංචාරක කර්මාන්තය වැඩි දියුණු කර ගැනීමේ දී මූලික අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පවතින බව පෙනේ. වඩා වැදගත් වන්නේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සමගම රටට ලැබෙන ආදායම ද වැඩි කර ගැනීමයි. 2009 යුද්ධය අවසන් වනවිට සංචාරක පැමිණීම 447,890 ක් වූ අතර රටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 349.3 ක් විය. රටට පැමිණි සංචාරකයකු දිනකට ඩොලර් 81.80 ක් වියදම් කර තිබුණි. 2018 වසරේ සංචාරක පැමිණීම උපරිම මට්ටමට පැමිණෙන විට ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.4 ක් විය. එම වසරේ දී රටට සංචාරකයකුගේ දෛනික වියදමේ සාමාන්‍යය ඩොලර් 174 ක් විය. මෑත වර්ෂවල දී ආදායම වැඩිවීම සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනසක් ඇතිව නැත. සංචාරක පැමිණීමේ වැඩිවීමට සාපේක්ෂව ලැබෙන ආදායමේ වැඩිවීමක් ද සිදුව නැති බව පෙනේ. එවැනි තත්වයක් ඇතිවීම කෙරෙහි බොහෝ දුරට හේතුවී ඇත්තේ රජය විසින් සංචාරක ව්‍යාපාරයට අදාළ ප්‍රතිපත්ති සහ සැලසුම් නිසි පරිදි සකස් කර නොමැතිවීමත්, සංචාරක ක්ෂේත්‍රයට අදාළ සමහර ආයතනවල වැරැදි ක්‍රියාමාර්ග නිසා බවත් පෙනී යයි.
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මූලික කරුණක් වන්නේ හැකිතාක් දුරට වැඩි වියදම් දරන සංචාරක පිරිස් මෙරටට ගෙන්වා ගැනීමටය. එසේ වුව ද වීසා පහසුකම් ළිහිල් කිරීම, රියැදුරු බලපත්‍ර ලබාදීම වැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය වී ඇත්තේ අඩු වියදම් සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමය. සමහර විදේශීය සංචාරකයන් රැකියාවල නිරතවීම සහ ආදායම් ඉපයීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාවට පැමිණීම බහුලව සිදුවේ. බැක්පැක් (Backpack) සංචාරකයන් පැමිණෙන්නේ අඩුම වියදමකින් දවස් ගෙවීම අරමුණු කර ගෙනය. ඔවුන් පිළිබඳව සීමා පැනවීමට හැකි නොවන නමුදු වැඩි වියදම් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ඇති කර ගැනීමට සහ විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කළ යුතුව ඇත.
මෙරටට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. ඒ අතරම සංචාරක වීසා ලබාගෙන රැකියා සොයා වැඩි පිරිසක් පැමිණෙන්නේ ද එම රටෙනි. ඉන්දියාවෙන් පමණක් නොව දකුණු ආසියාතික රටවලින් ද වැඩි වියදම් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහාත්, ඔවුන් දිරිමත් කිරීම සඳහාත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමත් සමග ආදායම වැඩි නොවීමේ ගැටලුව සැලකිය යුතු මට්ටමකින් විසඳා ගැනීමටත් හැකිවනු ඇත. 2024 දී රටට ලැබුණු සංචාරක ආදායම ඩොලර් බිලියන 3.17 කි. 2025 දී මේ දක්වා පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව වාර්තා වුව ද සංචාරක ආදායම ඩොලර් බිලියන 3.20 ක් පමණි. සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස ඉහළ ගිය ද ආදායම වැඩිවී ඇත්තේ සියයට 1.6 කින් පමණි. 2018 දී ඩොලර් බිලියන 4.4 ක ආදායමක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ ද, 2025 දී ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.2 දක්වා පහළ වැටී ඇත.
දැනට පවතින මැදපෙරදිග යුද්ධය තවත් බොහෝ කලක් පවතිනු ඇතැයි සිතිය නොහැකිය. මැදපෙරදිග යුද්ධය නිසා සංචාරක ව්‍යාපාරයේ පසුබැස්මක් ඇතිවිය හැකි වුව ද සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රජයේ ආයතන සහ බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයකින් කටයුතු කරන්නේ නම් එම ගැටලුව අවම කර ගැනීමට හැකිවනු ඇත. මැදපෙරදිග හරහා සිදු කෙරෙන ගුවන් ගමන් වෙනුවට යොදාගත හැකි වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග පිළිබඳව දෙස් විදෙස් සංචාරක නියෝජිතායතන දැනුවත් කිරීමත්, ඒ පිළිබඳව උනන්දු කරවීමත් මෙම අවස්ථාවේ ඉතා වැදගත් වේ. ඒ අතරම සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් තරමින් සංචාරක ආදායම වැඩි නොවීමේ ගැටලුවට දිගුකාලීන විසඳුම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ද මෙය අවස්ථාවක් කරගත යුතුව ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd