මේ වනවිට ඉරානය ගිනි ගනිමින් තිබේ. සති දෙකක පමණ කාලයක් පවතින ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් ඉහළ යන බවක් ද පෙනෙන්නට තිබේ. ඇමරිකාව ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව කල්පනා කරමින් සිටින බවත්, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බවත්, එරට විරෝධතාකරුවන්ට සහාය දක්වන බවත් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායලය ද මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වා ඇති අතර ඊට ඇමරිකාව මැදිහත් වන්නේ නම් එරට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳවත් සාකච්ඡා කර ඇත.
ඉස්ලාමීය රටවල් අතර ඇමරිකාවට හිසරදයක් වී ඇති එකම රට වන්නේ ඉරානයයි. ඉරානය තවත් ඉරාකයක් වනු ඇත්ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිති. ඉරාන රජයට විරුද්ධව උද්ඝෝෂණ පැවැත් වුව ද ඇමරිකාව සහ ඊශ්‍රායලය එයට මැදිහත්වීමට සුදානම් වනවිට ඊට එරෙහිව ඉරාන ජනතාව රජය සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම් වන බවක් ද දැන් පෙනෙන්නට තිබේ.
වෙනිසියුලාවේ ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකාවට පැහැරගෙන ගොස් ගතවී ඇත්තේ දින කිහිපයකි. ඇමරිකාව එහිදී අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගයම අසල්වැසි රටවල් වන කියුබාව, කොළොම්බියාව වැනි රටවල් සම්බන්ධයෙන් ද අනුගමනය කරනු ඇතැයි යන සැකය ද මතුවී තිබේ. ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාවේ බලාධිපත්‍යය පතුරවමින් ඒවා යටත් රටවල් බවට පත් කර ගැනීමට සහ ඇමරිකානු ආර්ථිකය එම රටවල ධන සම්පත් ආධාරයෙන් යළි ගොඩ නැංවීමට අනුගමනය කරන මෙම පිළිවෙත් පිළිබඳව බොහෝ රටවල් දැඩි අවධානයකින් සිටින බව පෙනේ. ජාත්‍යන්තර නීතිරීති කිසිවක් සැලකිල්ලට නොගෙන තමන්ගේ සිතැඟි පරිදි සමහර රටවල පාලනය වෙනස් කිරීමට දරන උත්සාහය හේතුවෙන් මේ දක්වා ජාත්‍යන්තර කටයුතු පාලනය වූ නීති රීති සහ සම්මුතීන් සියල්ල අවලංගු වන තත්වයක් ඇතිව තිබේ.
මේ ආකාරයේ තත්වයක් ජාත්‍යන්තර දේශපාලනය තුළ පැන නැගීම හේතුවෙන් සහ ඉරාන අස්ථාවරත්වය තවත් ජාත්‍යන්තර මට්ටමේ යුද ගැටුමක් බවට පරිවර්තනය වුවහොත් දේශපාලන සහ ආර්ථික අර්බුද රැසකට මුහුණදීමට බොහෝ රටවලට සිදුවනු ඇත. කොවිඩ් වසංගතයෙන් පසු ලොව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් සැලකිය යුතු මට්ටමකින් අත්මීඳීමට මේ වනවිට හැකිව තිබෙන නමුත් මැද පෙරදිග සහ දකුණු ඇමරිකාවේ ගොඩ නැගෙන දේශපාලන අවිනිශ්චිතතාව ඒ සියල්ල බිඳ දැමීමට හේතුවනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගොඩ නගන ලද සියලු රටවලට අදාළ නීතිරීති සහ ජාත්‍යන්තර මට්ටමෙන් ඇති කර ගන්නා ලද සම්මුතීන් මගින් රටවල් අතර සම්බන්ධතා දියුණු මට්ටමකට ගෙන ඒමටත්, රටවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සහ පිළිපැදිය යුතු සම්මුති පිළිබඳව බොහෝ එකඟතා ඇතිකර ගැනීමටත් හැකි වී තිබේ. එහෙත් ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන හැටහයක සාමාජිකත්වයෙන් තමන් ඉවත් වන බවත් සාමාජික මුදල් ගෙවීම නවතා දමන බවත්ය.
යුරෝපයේ ඇතැම් රටවල් ඇමරිකාව විසින් අනුගමනය කරනු ලබන මෙම ක්‍රියාමාර්ග පිළිබඳව අනතුරු අඟවා තිබේ. ඇමරිකාව, ග්‍රීන්ලන්තය තම අයිතියට පවරා ගැනීමට සූදානම් වන බැවින් යුරෝපා රටවල් රැසක් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඇමරිකාවේ එවැනි ප්‍රතිපත්ති හේතුවෙන් යුරෝපය සහ ඇමරිකාව අතර පවත්නා සම්බන්ධතාව බිඳ වැටෙන බවත්, ඇමරිකාව ජාත්‍යන්තර නීතිරීතිවලට යටත් වන බවත්ය. මේ ආකාරයටම කැනඩාව ද ඇමරිකාවට එකතු කරගත යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ හේතුව නිසාත්, ඇමරිකාව කැනඩා ආනයන සඳහා වන තීරුබදු ඉහළ දැමීම නිසාත් එම රටවල් දෙක අතර සම්බන්ධතා ද සැලකිය යුතු මට්ටමකින් බිඳ වැටී ඇත. මේ සියල්ලේම ප්‍රතිඵලය විය හැක්කේ ලෝක ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු මට්ටමකින් අහිතකර බලපෑම් ඇතිවීමයි.
වෙනිසියුලා ජනාධිපති මදුරෝ පැහැර ගැනීමෙන් පසු දැන් ඇමරිකාව ප්‍රකාශ කරන්නේ එම රට තමන්ගේ නියෝගවලට අනුව ක්‍රියාත්මක විය යුතු බවයි. වෙනිසියුලාව ලොව විශාලතම තෙල් සංචිතය හිමි රට වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ දී ඇමරිකාවේ ප්‍රධාන තෙල් කර්මාන්තකරුවන් සමග රැස්වීමක් පවත්වා වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයේ ඩොලර් බිලියන 500ක් ආයෝජනය කිරීම සඳහා සූදානම් වන ලෙස දැනුම් දුන්නේය. වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් ඇමරිකාව ඇතුළු විදේශ රටවලට අයත්ව තිබූ නමුත් 1976 දී ඒවා ජනසතු කළේය. ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඇමරිකාව විසින් සංවර්ධනය කරනු ලැබූ තෙල් කර්මාන්තය වෙනිසියුලාව විසින් ජනසතු කරන ලද බවත් ඒවා ඇමරිකාවට අයිති බවත්ය. ට්‍රම්ප් බලාපොරොත්තු වන ආකාරයට කටයුතු සිදු වුවහොත් වෙනිසියුලාවේ තෙල් සංචිතයේ අයිතිය ඇමරිකාවට හිමිවනු ඇත.
ඉරාකය ඇමරිකාව විසින් අල්ලා ගනු ලැබීමෙන් පසු 2003 මැයි 22 වැනිදා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් නියෝගයක් නිකුත් කරන ලදී. එය විධායක නියෝග 13303 ලෙස හැඳින්වේ. එම නියෝගය අනුව ඉරාකය ඉන්ධන අලෙවියෙන් ලබන සියලුම මුදල් ඇමරිකාවේ නිව් යෝර්ක්වල පෙඩරල් සංචිත බැංකුවට කෙළින්ම යැවිය යුතුය. ඒ අනුව ලොව තවත් තෙල් නිෂ්පාදන රටක් වන ඉරාකය විසින් ඉන්ධනවලින් ලබන සියලුම මුදල් ඇමරිකාවට යැවිය යූතුව තිබේ. ඉරාකයේ තෙල් සම්පත පාලනය කිරීමට ඇමරිකාව කටයුතු කළේ එම නියෝග පැනවීම මගිනි. ඒ ආකාරයටම වෙනිසියුලාවේ තෙල් සම්පත ද ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් පසු ලොව ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක හිමිකරු බවට පත්වීමට ඇමරිකාවට අවස්ථාව සැලසේ. මේ ආකාරයට අනෙක් රටවල ධන සම්පත් ඇමරිකාව සතු කර ගැනීමෙන් දැන් එම රටට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික තරගය ජය ගැනීමට සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ.
ඉතා ඉහළ තීරුබදු පැනවීම මගින් ඇමරිකාව මුහුණ දී සිටින අනෙක් රටවල් සමග වූ වෙළෙඳ තරගයෙන් ජය ලබා ගැනීමට ට්‍රම්ප් බලාපොරොත්තු වේ. අනෙක් රටවලින් ඇමරිකාවට පැමිණෙන භාණ්ඩවලට ඉහළ තීරුබදු පනවා එම රටවලට බාධක පැමිණවීමට ට්‍රම්ප් කටයුතු කළේය. 2025 ඔක්තෝබර් මාසයේ දී ඇමරිකාවේ විදේශ වෙළෙඳ හිඟය 2009 වසරට පසු අවම මට්ටමකට පත්වී තිබේ. ආනයන අඩුවීමත් අපනයන වැඩිවීමත් එයට හේතුවී ඇත. ට්‍රම්ගේ බදු ප්‍රතිපත්තිය මගින් රාජ්‍ය නිර්බාධවාදයට අවහිර කර ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකින් ඔහුට වෙළෙඳ ශේෂය වාර්තා ගත අන්දමින් අඩු කර ගැනීමට හැකිවී ඇත. එසේ වුව ද ඇමරිකාවට මෙන්ම ලොව සෙසු රටවලට ද එවැනි ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක අයහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට අනාගතයේ දී සිදුවනු ඇත. දැනට ජාත්‍යන්තර වෙළෙඳාම තීරණය වී ඇත්තේ තරගය, නව තාක්ෂණය සහ මිල යන කරුණු පදනම් කරගෙනය. එහෙත් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු බදු මත තීරණය වන තත්වයක් ඇතිව තිබේ.
ඇමරිකාවට දැන් මුහුණදීමට ඇති ප්‍රබලම ගැටලුව වන්නේ චීනය අත් කර ගනිමින් සිටින ආර්ථික වර්ධනය හේතුවෙන් තමන් දෙවැනි තැනට පත් වෙමින් සිටින ප්‍රවණතාවයි. එලෝන් මස්ක්ගේ ටෙස්ලා කර්මාන්ත ශාලාවෙන් බිහිවන විදුලි මෝටර් රථවලට චීනයේ BYD සමාගම සමග තරග කිරීමට නොහැකි බව මස්ක්ම ප්‍රකාශ කර ඇත. චීන භාණ්ඩවලට ඉහළ තිරුබදු පැන වුව ද චිනය එයට ප්‍රතික්‍රියා දක්වමින් ඇමරිකාවට අත්‍යවශ්‍ය වන අපනයන සම්බන්ධයෙන් පාලනයක් ඇති කිරීමට කටයුතු කළේය. එහි බලපෑම ඉතා ප්‍රබල වූ නිසා ඇමරිකාව තීරුබදු අඩු කර චීනය සමග වෙළෙඳ කටයුතු සාමාන්‍ය තත්වයකින් පවත්වාගෙන යෑමට කටයුතු කළේය. චීනය පහසුවෙන් දමනය කළ නොහැකි ආර්ථික බලවතකු බවට පත්ව ඇති බව ඇමරිකාව මෙන්ම යුරෝපය ද දැන් වටහාගෙන සිටී.
ට්‍රම්ප්ගේ අධිපතිවාදී ප්‍රතිපත්ති හේතුවෙන් රැල්ල අනෙක් පැත්තට හැරීමට වුව ද හැකි බව ලෝක දේශපාලනය තුළ දක්නට ලැබෙන නව ප්‍රවණතා තුළින් පැහැදිලි වේ. කැනඩාව දශක කිහිපයක් තිස්සේ පවත්වාගෙන ආ ඇමරිකානු වෙළෙඳ සම්බන්ධතා වෙනුවට චීනය සමග වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කර ගනිමින් සිටී. ඉන්දියාව සහ චීනය අතර ප්‍රතිවිරෝධතා දිගින් දිගටම උත්සන්න වෙමින් පැවැතිය ද ට්‍රම්ප් ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දීය-චීන වෙළෙඳ සම්බන්ධතා ප්‍රවර්ධනය වෙමින් පවතී.
ඉන්දියාව විසින් චීනයේ සමහර භාණ්ඩ සම්බන්ධයෙන් පනවනු ලැබ තිබූ දැඩි නිතිරීති ලිහිල් කර ඇති අතර ඉන්දියාවෙන් චීනයට අපනයනය කරන භාණ්ඩ ප්‍රමාණය වර්ධනය වෙමින් පවතී. පසුගියදා චීනය, රුසියාව, දකුණු අප්‍රිකාව සහ ඉරානය එකතු වී දකුණු අප්‍රිකානු මුහුද ආසන්නයේ යුද අභ්‍යාසයක යෙදුණේය. ඉන්දියාව BRICS සාමජිකයකු වන අතර ජාත්‍යන්තර මූල්‍ය කටයුතුවල දී ඩොලරයට හිමිව ඇති ප්‍රමුඛතාව අඩු කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරයි.
වෙනිසියුලාවේ තෙල් සම්පත අයිති කර ගැනීමට ඇමරිකාව කටයුතු කිරීමට ඉඩ තිබෙන අතර ඉරානය, කොලොම්බියාව වැනි රටවල් යටපත් කර ගැනීමට ද ඇමරිකාව කටයුතු කිරීමට ඉඩ ඇත. ඒ හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාව හමුවේ ලෝක දේශපාලනය අස්ථාවරවීමට ද, කිසියම් ආකාරයක ආර්ථික අර්බුදයක් ඇතිවීමට ද ඉඩ තිබෙන නමුත් දිගු කාලීනව ඒ සියල්ල වෙනස් වන බව පැහැදිලිය. තවත් කෙටි කාලයකින් ජාත්‍යන්තර පිළිවෙත් සහ නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ජාත්‍යන්තර පිළිවෙතක් ද නිර්බාධ වෙළෙඳ ක්‍රමයකින් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පවත්වා ගෙන යන තත්වයක් ද යළි නිර්මාණය වනු ඇත.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd