මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 31 දක්වා කාලය සඳහා විදුලි බිල සියයට 11.57 කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ. විදුලි බිල ඉහළ නැංවීම ක්‍රියාත්මක වන දිනය එහි සඳහන් නොවුණ ද ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා වන මෙම වස‌රේ පළමු කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට අවසර ඉල්ලා තිබීමෙන් එය ජනවාරි මාසයේ විදුලි බිලේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපො‌රොත්තු වන බව පෙනේ.

මහවැසි සහිත දිට්වා සුළි කුණාටුවෙන් රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් දැඩි පීඩනයකට ගොදුරුව සිටිය දී සහ එම මහ වැසිවලින් රටේ ජලාශවලින් වැඩි ප්‍රමාණයක් උපරිම ජල මට්ටමට පත්ව තිබියදී විදුලි බිල ඉහළ දැමීමට රජය කර ඇති යෝජනාව පිළිබඳව මහජනතාව විමතියට සහ අප්‍රසාදයට පත්ව ඇති බව ප්‍රකාශ කළ යුතුව ඇත.

විදුලි බිල වැඩි කරන බව ප්‍රකාශ කරන විට මහජනතාවගේ මතකයට නැගෙනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඡන්දවලට පෙර විදුලි බිල අඩු කිරීම පිළිබඳව දුන් පොරොන්දුය. රුපියල් 3,000 විදුලි බිල රුපියල් 2,000 දක්වා අඩු කිරීම වැනි සංඛ්‍යාත්මක උදාහරණ ද දෙමින් ජනාධිපතිවරයා එම රැස්වීම්වල දී ප්‍රකාශ කළේ තමන් බලයට පත් වූ පසු විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවය. මිල වැඩි කිරීමේ නව යෝජනාව ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ ඇතුළත් විඩීයෝ පට මේ දිනවල වැඩි වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල සැරි සැරීමට පටන් ගෙන ඇත. මහජනතාව ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට එමගින් රජයට අවස්ථාව ලැබී ඇතැයි සිතමි.

ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇති විදුලි බිල වැඩි කිරීමට අදාළ ලිපිය අනුව සාමාන්‍ය විදුලි පාරිභෝගිකයන්, කර්මාන්ත, ව්‍යාපාර සහ ආගමික ස්ථාන ආදි සියලු‍ම පුද්ගලයන්ගේ සහ ආයතනවල විදුලි බිල ඉහළ නැංවෙනු ඇත. විදුලි ඒකකයක මිල පමණක් නොව මාසිකව අය කරනු ලබන ස්ථාවර ගාස්තුව ද ඒ සමගම ඉහළ දැමෙනු ඇත. ඒ අනුව ඒකක 01 සිට 30 දක්වා විදුලිය භාවිතය සඳහා මෙතෙක් අය කළ ඒකකයට රුපියල් 4.50 ක් වූ මිල රුපියල් 5.29 දක්වා වැඩිවන අතර රුපියල් 80 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 94.11 දක්වා ඉහළ දැමෙනු ඇත. ඒකක 31 සිට 60 දක්වා අය කළ ඒකකයක් සඳහා රුපියල් 8 ක ගාස්තුව රුපියල් 9.41 දක්වා වැඩිවන අතර රුපියල් 210 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 247.23 දක්වා ඉහළ නැංවෙනු ඇත. ආගමික ස්ථානවලින් ඒකක 121 සිට ඒකක 180 දක්වා ඒකකයකට රුපියල් 19 ක් ලෙස අය කළ නමුදු එය රුපියල් 22.35 දක්වා ඉහළ නංවා එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1,300 සිට රුපියල් 1,529.26 දක්වාත්, ඒකක 181කට වැඩිවන අවස්ථාවලදී අය කළ රුපියල් 26ක ගාස්තුව රුපියල් 30.59 දක්වා ඉහළ නංවා ස්ථාවර ගාස්තුව රුපියල් 1,700 සිට රුපියල් 1,999 දක්වා ඉහළ නංවා ඇත. ඒ උදාහරණ කිහිපයකි. සියලු‍ම ඒකක සඳහා දැනට අය කරන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව සංශෝධනයෙන් පසු වැඩිවේ.

මේ ආකාරයට සෑම පුද්ගලයකුටම, ආයතනයකටම, ආගමික ස්ථානයකටම, කර්මාන්ත ශාලාවකටම සහ ව්‍යාපාරයකටම දැනට පවත්නා මිලට වඩා ඉහළ මිලක් විදුලිය වෙනුවෙන් ජනවාරි මාසයේ සිට ගෙවීමට සිදුවේ. මහජන උපයෝගීතා කොමිසමට ලංකා විදුලිබල මණ්ඩලය දන්වා ඇත්තේ පසුගිය කාලය තුළ විදුලි බිල ඉහළ නැංවීමට කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබීම, විදුලිබල මණ්ඩලය මේ වනවිට පාඩු ලැබීම සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානියට පත් දේ ප්‍රතිසංස්කරණය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම වැනි හේතු නිසා මේ ආකාරයට විදුලි බිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි. පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු විදුලි මිල අතිවිශාල ලෙස ඉහළ දමනු ලැබීය. ඒ හේතුවෙන් ඒ දක්වා පාඩුපිට පවත්වා ගෙන ගිය විදුලිබල මණ්ඩලය ලාබ ලබන තත්වයකට පත් කර ගැනීමට ද හැකි විය. එසේ ලාබ ලැබීම නිසා විදුලිබල මණ්ඩලය බැංකු හා මූල්‍ය ආයතනවලට ද, ඛණිජ තෙල් සංස්ථාව වැනි සැපයුම් ආයතනවලට ද ගෙවීමට තිබූ ණයවලින් විශාල ප්‍රමාණයක් ආපසු ගෙවීමට ද හැකි විය.

නාස්තිය හා දූෂණයට තිත තබා විදුලි බිල අඩු කරන බවට පොරෙන්දු වී බලයට පත් නව රජය යටතේ විදුලිබල මණ්ඩලය දැන් නැවත වරක් අලාබ ලබන තත්වයකට පත්ව තිබේ. මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමකට පත්වී ඇති අතර, මෙම කාර්තුව පුරාම එම මට්ටම පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ජල විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල මහජන උපයෝගිතා කොමිසමේ ඇස්තමේන්තු අනුව රුපියල් 5 ක් පමණ වේ. මේ වනවිට රටේ සුර්යබල විදුලිය නිෂ්පාදනය ද ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබේ. මේ වනවිට ගිගාවොට් 9කට වැඩි විදුලිය නිෂ්පාදනයක් සූර්යබල විදුලි නිෂ්පාදනයෙන් ලැබෙන අතර මුළු විදුලිය නිෂ්පාදනයෙන් සියයට 23 ක ප්‍රමාණයක් එම අංශයෙන් සමස්ත විදුලි නිෂ්පාදනයට එකතු වී තිබේ. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේ දී ශ්‍රී ලංකාව සූර්යබල විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය කැපී පෙනෙනසුලුය. ඒ සඳහා රජයට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවේ.

සූර්යබල විදුලි නිෂ්පාදනයට යොමුවන පිරිස් තමන්ගේ වියදමෙන් එම නිෂ්පාදන කටයුතු පවත්වා ගෙන යති. එසේ වුවද සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මිල පසුගිය දිනවල අඩු කිරීම, එම නිෂ්පාදන ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම, සමහර අවස්ථාවල දී නිෂ්පාදනයෙන් වැළකී සිටින ලෙස දැනුම් දීම වැනි සුර්ය විදුලිබල නිෂ්පාදනය අධෛර්යවත් කෙරෙන ක්‍රියාමාර්ග රජය විසින් අනුගමනය කර තිබියදී මේ ආකාරයට එම නිෂ්පාදනය පුළුල්වීම රට විසින් අත්කර ගත් සුවිශේෂ ජයග්‍රහණයකි. එවැනි තත්වයක් තිබිය දී විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව ප්‍රකාශ කරනුයේ වෙනත් හේතු නිසා බව පෙනී යයි.

ඉන් එක හේතුවක් ලෙස දක්වා ඇත්තේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ විනාශය නිසා මෙම වසර තුළ රුපියල් බිලියන 30 ක අලාභයක් දැරීමට විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බවත්, එක් කාර්තුවකට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් බිලියන 7 ක පමණ පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්ය. දිට්වා සුළි කුණාටුව ඇති වූයේත්, එම නිසා අලාභ හානි සිදු වූයේත් පාරිභෝගිකයන්ගේ වරදක් නිසා නොවේ. මහාමාර්ගවලට සිදුවූ හානි පියවා ගැනීමට මහා මාර්ගවල ගමන් කරන අයගෙන් මුදල් අය කරන්නේ නැත. විදුලිබල මණ්ඩලයට සිදුව ඇති අලාභ වෙනුවෙන් මුදල් වැය කළ යුතුව ඇත්තේ රජයේ අයවැය ලේඛනය මගිනි. අනෙක් අතට සිදුව ඇති අලාභ හානිවලට දැරීමට සිදුවන පිරිවැය වර්ග කළ හැකි වන්නේ දිගු කාලීන ස්ථාවර පිරිවැය වශයෙනි. ඒවා එක කාර්තුවක් තුළ විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීම හැඳින්විය හැක්කේ දිට්වා සුළි කුණාටුව පැමිණීම පිළිබඳව විදුලි පාරිභෝගිකයන්ට දඩ නියම කිරීමක් වශයෙනි.

පසුගියදා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා ඉදිරිපත් කර ඇති ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය වෙනුවෙන් ගෙවීමට සිදුවන රුපියල් බිලියන 11.554 ක මුදල‍ පියවා ගැනීමට ද මෙම විදුලි ගාස්තු වැඩිකිරීම උපයෝගී කර ගැනීමට කටයුතු කර ඇති බවයි. ඒ වෙනුවෙන් දැරීමට සිදුවන මුළු මුදල වසර 5 ක ණයක් බවට පරිවර්තනය කර ඇති අතර, එක් එක් කාර්තුවල දී ඒ වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති ණය වාරිකය රුපියල් මිලියන 874.23 කි. එය විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් ලැබෙන ආදායමෙන් ගෙවීමට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වන බව එම පුවත්පත පෙන්වා දෙයි.

රජයේ විවිධ ආයතනවල ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. විශේෂයෙන්ම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආයතන සඳහා මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රම හඳුන්වා දී ඇති අතර, බොහෝවිට එවැනි විශ්‍රාම ගැන්වීමේ ක්‍රම වෙනුවෙන් මුදල් ලබාදෙනුයේ මහා භාණ්ඩාගාරය විසිනි. එසේ වුවද විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය වෙනුවෙන් මුදල් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට සිදුවී තිබේ. විදුලිබල මණ්ඩලය යනු විදුලි පාරිභෝගිකයන්ට අයිති ආයතනයක් නොවේ. එසේ තිබියදී එම ආයතනය විසින් සේවකයන් ඉවත් කිරීම වෙනුවෙන් කරනු ලබන වන්දි ගෙවීම වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන් තම මුදල් වැය කළ යුතු වන්නේ කුමන හේතුවක් නිසා ද යන්න රජය පැහැදිලි කළ යුතුව ඇත.

මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 13.09 ක් බව මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර තිබේ. විදුලි බිල සියයට 11.57 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත්තේ එම අලාභය පියවා ගැනීම සඳහාය. එසේ වුවද දිට්වා සුළි කුණාටුව නිසා සිදුව ඇති අලාභ හානි වෙනුවෙන් මහා භාණ්ඩාගාරය කාර්තුවකට වෙන් කළ යුතු රුපියල් බිලියන 7 ක මුදල ද සේවක වන්දි වශයෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 874 ක මුදල ද එම අලාභයට ඇතුළත් වන අතර ඒවා වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන්ගෙන් දඩ අයකර ගැනීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පෙනී යයි.

රජයේ ඇතැම් ප්‍රකාශවලට අනුව මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි ගොස් තිබේ. එවැනි තත්වයක් තිබියදී විදුලි පාරිහෝගිකයන්ට දඩ ගැසීමෙන් වැළැකී රජය දැරිය යුතු වියදම් මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන විදුලි පාරිභෝගිකයන්ට තවදුරටත් බරක් නොවීම රජයේ වගකීමකි.

 

(***)