ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය යනු දශක ගණනාවක් තිස්සේ විවිධ දේශපාලනික සහ ආර්ථික කතාබහට ලක් වූ විෂයයකි. විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ පැවැතියේ විශාල බියකි.
එම බිය වඩාත් තහවුරු වූයේ 2024 වසරේ ඉදිරිපත් වූ අංක 36 දරන විදුලිබල පනතත් සමගය. බොහෝ දෙනා විශ්වාස කළේ එම පනත හරහා විදුලිබල මණ්ඩලය කැබැලිවලට කඩා පෞද්ගලික අංශයට විකුණා දමනු ඇති බවයි. එහෙත් 2026 මාර්තු 8 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු වූයේ කුමක්ද? විදුලිබල මණ්ඩලය අහෝසි වී නව සමාගම් 6ක් බිහිවන විට, බොහෝ දෙනා බලාපොරොත්තු වූ ”පෞද්ගලීකරණය” වෙනුවට දක්නට ලැබුණේ වත්මන් රජය ජාතික සම්පත්වල අයිතිය සියයට 100ක්ම රජය සතුව තබා ගනිමින් සිදු කළ ප්‍රගතිශීලී වෙනසකි.
2024 පනතේ අන්තරාය
පැවැති රජය විසින් හඳුන්වා දෙනු ලැබූ 2024 අංක 36 දරන විදුලිබල පනත මගින් ඉලක්ක කර තිබුණේ විදුලිබල මණ්ඩලය කුඩා සමාගම් 12කට වෙන් කර, ඉන් සැලකිය යුතු කොටසක් පෞද්ගලික ආයෝජකයන්ට විවෘත කිරීමයි. එම සැලසුම අනුව ජල විදුලි නිෂ්පාදනය පමණක් රජය සතුව තබා ගැනීමට යෝජනා වී තිබූ අතර, දැනට පවතින තාප බලාගාර, සුළං බලාගාර සහ ගල් අඟුරු බලාගාර පූර්ණ වශයෙන් පෞද්ගලික අංශය සතු වීමට ඉඩ තබා තිබුණි. වඩාත්ම භයානක තත්වය වූයේ විදුලිය බෙදාහැරීම එනම් අවසාන පාරිභෝගිකයා වෙත විදුලිය රැගෙන යාම (Distribution) පෞද්ගලික අංශයට පැවරීමට එම පනත මගින් අවස්ථාව දී තිබීමයි.
2025 අගෝස්තු සංශෝධනය
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ලදී. ඒ අනුව 2025 අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කළ අංක 14 දරන සංශෝධිත විදුලිබල පනත හරහා විදුලිබල ක්ෂේත්‍රයේ සියලුම තීරණාත්මක අංශවල අයිතිය රජය සතු විය යුතු බව නීතිගත කෙරිණි. මෙය හුදෙක් නාමික වෙනසක් නොව, රටේ බලශක්ති ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවකි.
මෙම නව සංශෝධනය මගින් පෞද්ගලීකරණයට තිබූ සියලු මාවත් අහුරා දමා, අනුප්‍රාප්තික සමාගම් සියල්ලේම සියයට 100ක කොටස් අයිතිය භාණ්ඩාගාරය සතු කරන ලදී. මෙහි ගෞරවය වත්මන් රජයට හිමිවිය යුත්තේ, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවල බලපෑම් මධ්‍යයේ වුවද, ජනතාව සතු සම්පත් විකුණා නොදැමීමට ඔවුන් පෙන්වූ දේශපාලන ස්ථාවරත්වය හේතුවෙනි.
ලං.වි.ම.ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව
ලංකා විදුලිබල මණ්ඩලය ඉතා මෑතක දී ලාභ ලැබීම ආරම්භ කළ ද, එය දීර්ඝ කාලයක් තිස්සේ පාඩු ලබන රාජ්‍ය ආයතනයක්ව (SOE) පැවැතුණි. එහි මෙහෙයුම් පාඩු සහ පැරැණි ණය වාරික ගෙවීම සඳහා ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වැය කිරීමට රජයට සිදු විය. මෙම පාඩු පියවීමට වර්තන හා ප්‍රාග්ධන සංක්‍රාම (Current and Capital Transfers) ලෙස රජයේ අයවැයෙන් දැවැන්ත මුදලක් අවශෝෂණය කර ගැනීම ජාතික අයවැය මත පතිත වූ බරපතළ බරකි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කළේ එහි දශක ගණනාවක් තිස්සේ මුල් බැස තිබූ අකාර්යක්ෂමතාව සහ දූෂණය මුලිනුපුටා දැමීම සඳහාය. පැරැණි ක්‍රමය යටතේ නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන සියල්ල එකම පාලනයක් යටතේ පැවැතීම නිසා මූල්‍ය විනිවිදභාවය අවම වූ අතර, එක් අංශයක සිදුවන පාඩුව හෝ දූෂණය අනෙක් අංශවල යහපත් බැවින් වැසී ගියේය. නව සමාගම් ව්‍යුහය හරහා එක් එක් අංශයට වෙනම ගිණුම් වාර්තා (Audited Financial Statements) පවත්වාගෙන යාම අනිවාර්යය වන බැවින්, මුදල් කාන්දු වන ස්ථාන සහ දූෂිත ගනුදෙනු ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. මීට අමතරව, තීරණ ගැනීමේ දී පවතින අනවශ්‍ය ප්‍රමාදය ඉවත් වී ආයතනික ස්වාධීනත්වය තහවුරු වන අතර, එමඟින් පාරිභෝගික පැමිණිලිවලට කඩිනමින් විසඳුම් ලබා දීමටත්, නවීන තාක්ෂණය භාවිත කරමින් විදුලි බිඳ වැටීම් අවම කිරීමටත් හැකියාව ලැබේ. මෙම ක්‍රියාවලිය හරහා රජය අපේක්ෂා කරන්නේ දේශපාලන මැදිහත්වීම්වලින් තොර, වෘත්තීයවේදීන් විසින් මෙහෙයවනු ලබන ලාභ ලබන රාජ්‍ය සේවාවක් ජනතාවට උරුම කර දීමයි.
අලුතින් බිහිවූ රජය සතු සමාගම්
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ වගකීම් බෙදා වෙන් කරමින් සියයට 100ක් රජය සතු සමාගම් 6ක් පිහිටුවා ඇත.
1. විදුලිබල උත්පාදන ලංකා (පුද්) සමාගම-:මහා පරිමාණ ජල විදුලි බලාගාර ඇතුළුව සියලුම රජය සතු විදුලි බලාගාර කළමනාකරණය කරයි.
2. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු (පුද්) සමාගම-: රට පුරා විහිදුණු අධි පීඩන විදුලි රැහැන් පද්ධතිය සහ සම්ප්‍රේෂණ ජාලය පවත්වාගෙන යයි.
3. විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම-: මෙය පාරිභෝගිකයා සෘජුව ගනුදෙනු කරන ආයතනයයි. විදුලිය බෙදාහැරීම සහ බිල්පත් කටයුතු සිදු කරනු ලබන්නේ මෙම සමාගම මගිනි.
4. ජාතික පද්ධති මෙහෙයුම්කරු (පුද්) සමාගම-: සමස්ත විදුලි පද්ධතියේ සමතුලිතතාව සහ ජාල පාලන කටයුතු සම්බන්ධීකරණය කරයි.
5. බලශක්ති ව්‍යාපාර ලංකා (පුද්) සමාගම-: බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන සහ ව්‍යාපාරික සංවර්ධන කටයුතු මෙහෙයවයි.
6. ලංවිම සේවක අරමුදල් (පුද්) සමාගම- CEB-: සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් (EPF), පාරිතෝෂික (ETF) සහ අනෙකුත් සුබසාධන ප්‍රතිලාභ කළමනාකරණය කරමින් සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරයි.
නව සංශෝධනයට අනුව, මෙරට ප්‍රධාන ජල විදුලි බලාගාර ”විදුලිබල උත්පාදන ලංකා (පුද්) සමාගම” යටතේ සියයට 100ක්ම රජයේ අයිතියේ පවතී. මීට පෙර පෞද්ගලික අංශයට ලබා දීමට සැලසුම් කර තිබූ තාප සහ සුළං බලාගාර ඇතුළුව සියලුම රජය සතු විදුලි බලාගාර කළමනාකරණය කරයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ විදුලි නිෂ්පාදන පිරිවැය අවම කර, එම වාසිය සෘජුවම පාරිභෝගිකයාට ලබා දීමයි. පෞද්ගලික ලාබය වෙනුවට පොදු ජන සුබසාධනය පෙරදැරි කරගත් නිෂ්පාදන ක්‍රියාවලියක් මෙලෙස ස්ථාපිත කර ඇත.
2024 පනත මගින් සියයට 50ක් පෞද්ගලික අංශයට දීමට ගිය සම්ප්‍රේෂණ පද්ධතිය ,නව රජය යටතේ සියයට 100ක්ම රජය සතු කර ඇත. ජාතික විදුලි පද්ධතියේ ප්‍රධාන රැහැන් පද්ධතිය සහ උපපොළවල් යනු ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් වන අංශයකි. එය පෞද්ගලික අංශයට ලබා දීමෙන් සිදු විය හැකි අනතුර වටහා ගත් වත්මන් රජය, ”ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු (පුද්) සමාගම” හරහා එහි පූර්ණ අයිතිය රජය සතුවම රඳවා ගෙන තිබේ. එමෙන්ම මුළු පද්ධතියම මෙහෙයවන ”ජාතික පද්ධති මෙහෙයුම්කරු (පුද්) සමාගම” ද සියයට 100ක් රජයේ ආයතනයක් ලෙස පවතී.
පෙර සැලසුම්වලට අනුව පාරිභෝගිකයාට විදුලිය බෙදා හරින අංශය පෞද්ගලික අංශයට විවෘත කිරීමට තිබුණ ද, 2025 සංශෝධනය මගින් එය මුළුමනින්ම වෙනස් කරන ලදී. දැන් ඔබ ගනුදෙනු කරන්නේ ”විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම” සමගය. එහි සියයට 100ක අයිතිය රජය සතු වන අතර, පෞද්ගලික සමාගම්වලට හිතුමතේ විදුලි බිල වැඩි කිරීමට තිබූ ඉඩකඩ මෙලෙස අහුරා දමා ඇත.
අභියෝගය
අරමුදල් හිඟය
පෙර රජය විදුලි සම්ප්‍රේෂණ පද්ධතියෙන් සියයට 50ක් පාලනය පෞද්ගලික අංශයට අර්ධ වශයෙන් හෝ ලබාදීම යනු බලශක්ති ස්වෛරීභාවය පාවා දීමකි. වත්මන් රජය එම තීරණය වෙනස් කර සම්ප්‍රේෂණ ජාලයේ සියයට 100ක අයිතිය රජය සතුවම තබා ගැනීමට තීරණය කළේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව ප්‍රමුඛතාවෙහි ලා සලකමිනි. කෙසේ වෙතත්, මෙය රජයට විශාල මූල්‍ය අභියෝගයක් එල්ල කරයි. වසර ගණනාවක් තිස්සේ නඩත්තු නොකිරීම සහ නවීකරණය නොකිරීම නිසා වත්මන් සම්ප්‍රේෂණ පද්ධතිය ඉතා දුර්වල මට්ටමක පවතී. මෙහි ඇති ධාරිතා සීමිත බව හේතුවෙන් දැනටමත් ඉදිකර ඇති සූර්ය බලශක්ති ව්‍යාපෘති පවා ජාතික පද්ධතියට සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. පෞද්ගලික ආයෝජකයන්ට පැවරුවේ නම් ඔවුන් මේ සඳහා මුදල් වැය කරනු ඇතත්, එවිට ජාලයේ පාලනය ඔවුන් සතු වේ. රජය මෙය තමන් සතුව තබා ගැනීමෙන් ඒ සඳහා අරමුදල් සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ දෙනු ඇත.
වෘත්තීය සමිති ක්‍රියා මාර්ග
නව ප්‍රතිසංස්කරණ යටතේ සේවකයන්ට ඉතාම සාධාරණ විකල්ප දෙකක් දී ඇත:
1. කැමැති සේවකයන්ට නව අනුප්‍රාප්තික සමාගම් 6න් තමන්ට රුචි සමාගමක් තෝරාගෙන සේවයට එක්වීම.
2. එසේ නොමැති නම්, පූර්ණ වන්දි සහිත ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් (VRS) යටතේ ගෞරවාන්විතව සේවයෙන් ඉවත් වීම.
මෙවැනි නම්‍යශීලී අවස්ථාවක් ලබා දී තිබියදීත් සේවකයන් නොමග යවමින් සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් සිදුවන්නේ පාරිභෝගිකයා අපහසුතාවට පත්වීම හා වෘත්තීය සමිති ජනතාව අතර අපකීර්තියට පත්වීම පමණි. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් යම් අවාසියක් වනවා නම් සිදු වුණේ මෙතෙක් කොන්ත්‍රාත් හෝ ප්‍රසම්පාදන කටයුතුවලින් අයථා වරප්‍රසාද ලත් කණ්ඩායමක් සිටිත් නම් ඔවුනටය. දේශපාලන හිතවත්කම් මත වෘත්තීය නිපුණත්වයක් නැතිව සේවයට බඳවාගත් කිසියම් පිරිසක් වෙත් නම් ඔවුන්ටය. අවංක හා කාර්යශුර සේවකයන්ට වඩාත් හොඳින් සිය කාර්ය සාධනය පෙන්වීමට විශාල තනි ආයතනයක් කුඩා ආයතන බවට පත්වීම තුළ අවස්ථාව උදාවේ.
රජයේ භූමිකාව සහ ජනතා වරම
මෙහිදී අප පැහැදිලිව තේරුම් ගත යුතු තීරණාත්මක කරුණක් ඇත. රජයක් විසින් පෞද්ගලික අංශයට වඩා සාර්ථකව කළ හැකි ව්‍යාපාරික කටයුතුවල නිරත විය යුතු බව මෙයින් අදහස් නොකෙරේ. එමෙන්ම, රජය සතු පාඩු ලබන ආයතන දිගින් දිගටම නඩත්තු කළ යුතු බව හෝ රජය සාමාන්‍ය වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ යුතු බව ද මෙයින් අදහස් නොවේ. එහෙත් රටේ ස්වෛරීභාවයට සහ මහජන සුබසාධනයට සෘජුවම බලපාන උපාය මාර්ගිකව වැදගත් සංවේදී ක්ෂේත්‍ර රජයේ පාලනය යටතේ පැවැතිය යුතු බව වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම ඉතා පැහැදිලි ස්ථාවරයක සිටියේය. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය, බැංකු පද්ධතිය, විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය වැනි අංශ පෞද්ගලික ලාභය මත පමණක් පදනම් වූ ඒකාධිකාර බවට පත්වීමට ඉඩ නොදී, ඒවායේ අයිතිය හෝ අවම වශයෙන් බහුතර කොටස් අයිතිය රජය සතුව තබා ගැනීමට වත්මන් රජය පැහැදිලි ජනතා වරමක් ලබා ගත්තේය. විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නොකර ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රජය දැන් ඉටු කරමින් සිටින්නේ ජනතාවට දුන් එම ප්‍රතිපත්තිමය පොරොන්දුවයි. රජය ව්‍යාපාරිකයකු වීමට වඩා, ජනතාවගේ මූලික අවශ්‍යතා සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන ”භාරකරුවකු” ලෙස තම වගකීම ඉටු කරන බව මෙම ප්‍රතිසංස්කරණ මගින් මනාව පැහැදිලි වේ.
(***)
රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
මහාචාර්ය
නන්දසිරි කීඹියහෙට්ටි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd