ලංකා ඛනිජ තෙල් සංස්ථාව මාර්තු 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සියයට 7.8 කින් පමණ වැඩි කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම භාවිත වන 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද වැඩි කර තිබෙන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13කින් ද වැඩි කර තිබේ. ඒ අතරම මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් ඉන්ධන කෝටා ක්‍රමය (QR) ක්‍රියාත්මක කරනු ලැබීය.

ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ නැවත වරක් ඉන්ධන පෝලිම් ආරම්භ වූ විට ආණ්ඩුව ප්‍රකාශ කළේ මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ ගබඩා කර ඇති බවය. එසේ වුව ද බොහෝ දෙනකු විමසා සිටින්නේ එසේ ඉන්ධන විශාල ප්‍රමාණයක් රට තුළ ගබඩා කර තිබිය දී ඉන්ධන මිල ගණන් වැඩි කර ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්නයි.

මැදපෙරදිග යුද්ධය අවසන් වන දිනය පිළිබඳ කිසිවකුටත් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි තත්වයක් ඇතිව තිබිය දී, රජය ඉන්ධන භාවිතය පිළිබඳව පාලනයක් ඇති කිරීම අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය පිළිබඳව සලකා බලන විට යහපත් පියවරක් ලෙස සැලකිය හැකිය. මිල වැඩි කිරීම පිළිබඳව සහ ඉන්ධන කෝටා නියම කිරීම පිළිබඳව විවිධ මත ප්‍රකාශ වුව ද ඉදිරියේ දී ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සිදුවිය හැකි ගැටලු‍ සහ මිල ඉහළ යාම පිළිබඳව සලකා බලන විට දැන් සිටම කිසියම් පාලනයක් ඇති කිරීමේ අවශ්‍යතාව පැන නගී.

පසුගියදා ඇමරිකාව ඉරානයේ කාර්ග් (Kharg) දිවයිනට බෝම්බ හෙළීමෙන් පසු නැවත වරක් ලෝක තෙල් මිල ඉහළ ගියේය. පසුගිය සතියේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.8 දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ අතරම ඉරානය විසින් ද සෞදි අරාබිය ඇතුළු තවත් රටවල තෙල් පිරිපහදුවලට සහ නිෂ්පාදනාගාරවලට පහරදීම නිසා මැදපෙරදිග ඇතැම් රටවල තෙල් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින තත්වයක් ඇතිව තිබේ. ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක්, එනම් බැරල් මිලියන 21ක් පමණ දිනපතා ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය තවමත් තෙල් ප්‍රවාහනය සඳහා විවෘත වී නැත. ඇමෙරිකාව එය විවෘත කරන බව යළි යළිත් ප්‍රකාශ කර ඇති නමුදු මේ වනතුරුම යුද්ධයට පෙර පැවැති තත්වයෙන් තෙල් ප්‍රවාහන කටයුතු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පවත්වාගෙන යාමට අසමත් වී ඇත.

‍ඇමෙරිකාව එම සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා චීනය, දකුණු කොරියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, සහ ජපානය වැනි රටවලට තම යුද නැව් එවන ලෙස ඉල්ලා සිටිය ද, ඒ එකදු රටක් හෝ ඒ සඳහා යුද නැව් එවීමට එකඟතාව පළ කර නැත. චීනය ඒ පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් කර නැති අතර බ්‍රිතාන්‍යය බිම් බෝම්බ ඉවත් කිරීමට හැකි නැව් එවීමට සිතා බලන බව ප්‍රකාශ කර ඇත. ජපානය සහ දකුණු කොරියාව ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කර ඇති නමුදු නැව් එවීමට එකඟතාවක් පළ කර නැත. එවැනි තත්වයක් යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉදිරිපත් වී ඇත්තේ ඇමෙරිකාව පමණි. එය වසා දමනු ලැබ ඇත්තේ ඉරානය විසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන්නේ ඉරානයේ ගුවන් සහ නාවික බලය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි. යුද විචාරකයන් විමසා සිටින්නේ එසේ නම් ඇමෙරිකාවට වෙනත් රටවල සහායක් නොමැතිවම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට නොහැකි වී ඇත්තේ කුමක් නිසාද යන්නයි. යුද්ධය පිළිබඳව සමහර පාර්ශ්වවලින් එළිදැක්වෙන තොරතුරු යථාර්ථය නොවන බවත් සත්‍ය තත්වයට වඩා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ වී ඇති බවත් එයින් පැහැදිලි වේ.

ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉරානය විනාශ කිරීමට අවශ්‍ය වී තිබුණ ද, ඇමෙරිකාවට ලෝක ඉන්ධන මිල සහ සැපයුම කෙරෙහි විශාල බලපෑමක් ඇතිවීම වළක්වා ගැනීමට ද අවශ්‍ය වී ඇත. එයට හේතුව ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ ගොස් ආර්ථික අර්බුදයක් ඇතිවීමට ඉඩ තිබීමත්, ලෝක ආර්ථිකයට ඒ හේතුවෙන් ඇතිවන බලපෑම අවම කර ගැනීමටත් අවශ්‍ය වී තිබීමයි. ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් නගරය ආශ්‍රිත තෙල් පිරිපහදුවට පහර දුන්නේය. එය ඇමෙරිකාවේ එකඟතාවකින් තොරව සිදුව ඇති බවත්, ඊශ්‍රායලයේ එම ක්‍රියාමාර්ග පිළිබඳව ඇමෙරිකාව දැඩි අප්‍රසාදය පළ කර ඇති බවත් ප්‍රකාශ වේ. කාර්ග් දිවයිනට පහරදීම පිළිබඳව ට්‍රම්ප් ප්‍රකාශ කළේ එහි යුද අංශවලට පහරදුන් නමුත් ඉන්ධන නිෂ්පාදන අංශවලට පහර නොදුන් බවය. යුද්ධය හේතුවෙන් ඉන්ධන අර්බුදය තවත් දරුණුවීමට ඉඩ හැරීමට ඔහු කැමැත්තක් නොදක්වන බව ඉන් පැහැදිලි වේ.

ලෝක ඉන්ධන සැපයුම බිඳවැටීම වළක්වා ගැනීම සඳහා ට්‍රම්ප් ක්‍රම කිහිපයක් යෝජනා කර ඇත. ඔහු රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවට අවසර දෙන බව ප්‍රකාශ කළේය. ට්‍රම්ප්ගේ බලපෑම හේතුවෙන් මීට පෙර ඉන්දියාව රුසියාවෙන් මිලදී ගන්නා ඉන්ධන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කළ ද, දැන් නැවත වරක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. යුරෝපා සංගමය රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම ක්‍රමයෙන් අඩු කරමින් සිටිය ද, දැන් එම රටවලට ද රුසියාවෙන් ඒවා මිලදී ගැනීමට සිදුව තිබේ. රුසියානු ඛනිජ තෙල් සහ ගෑස් සැපයුම පසුගිය මාසවල විශාල ලෙස පහළ වැටී තිබුණ ද, දැන් එය නැවතත් විශාල ලෙස ඉහළ යමින් පවතී. ඛනිජ තෙල් හිඟය තරමක් දුරට අඩුවීම සඳහා එය හේතු වනු ඇත.

ලෝකයේ ධනවත් රටවල් බොහොමයක් ඛනිජ තෙල් හිඟයක් ඇතිවුවහොත් එයට මුහුණදීම සඳහා විශාල ලෙස ආරක්ෂිත ඉන්ධන සංචිත රැස් කර තිබේ. ට්‍රම්ප් ඉල්ලා සිටියේ එම රටවල ඉන්ධන සංචිත වෙළෙඳපොළට මුදා හැරීමෙන් තෙල් හිඟයේ බලපෑම සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකි බවයි. ජපානය ඇතුළු රටවල් කිහිපයක්ම මේ වනවිට තම ආරක්ෂිත සංචිත මුදා හැරීමට කටයුතු කර තිබේ. සංචිත මුදාහැරීම එම රටවල ඉන්ධන හිඟයට විසඳුමක් වුව ද, ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල එවැනි සංචිත නොමැතිවීම නිසා ‌තෙල් අර්බුදයේ බලපෑම එම රටවලට දරුණු ලෙස දැනෙනු ඇත.

ජාත්‍යන්තර බලශක්ති ආයතනය (International Energy Agency) ප්‍රකාශ කළේ සංචිත වශයෙන් පවත්නා තෙල් බැරල් මිලියන 400ක් මුදා හැරීමට කටයුතු කරන බවයි. එය ලෝක ඉන්ධන සැපයුම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා ආධාර වනු ඇත. එසේ වුව ද ලෝකයේ බලශක්ති කටයුතු පිළිබඳ පර්‌යේෂණ ආයතනයක් වන S&P Global Energy ආයතනය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ යුද්ධය නිසා ලෝක තෙල් සැපයුමේ බැරල් මිලියන 420ක අඩුවීමක් සිදුව ඇති බවත්, ජාත්‍යන්තර බලශක්ති ආයතනයේ සංචිත මුදා හැරීමෙන් ඇතිවන බලපෑම විශාල නොවන බවත්ය. එම ආයතනය ප්‍රකාශ කරන්නේ 2026 වසරේ ඉදිරි මාසවල ඉන්ධන බැලරයක මිල ඩොලර් 70-100 දක්වා ප්‍රමාණයක පැවැතිය හැකි බවයි. ඇමෙරිකාවේ බලශක්ති ලේකම්වරයා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ තෙල් සහ ගෑස් හිඟය තවත් සති කිහිපයකින් අවසන් වන බවය.

මේ සියල්ල තීරණය වනු ඇත්තේ තවමත් අවසන් වී නැති ඇමෙරිකා, ඊශ්‍රායල් සහ ඉරාන යුද්ධය අනුවය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහරදීමෙන් යුද්ධය ආරම්භ කළේය. ඉරානය, ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවේ යුද කඳවුරු සහ පහසුකම් පවත්වාගෙන ගිය ගල්ෆ් කලාපයේ අනෙක් රටවලට ද පහර දුන්නේය. යුද්ධය සති දෙකකින් අවසන් කරන බව ඇමෙරිකාව ප්‍රකාශ කළ ද දැන් එය තුන්වැනි සතියට ද පිවිස තිබේ.

ඇමෙරිකාව ඉරාකයට පහර දුන් අවස්ථාවේ දී බ්‍රිතාන්‍යය, ඇමෙරිකාවේ සහායට පැමිණියේය. නේටෝ සංවිධානය ද ඒ සඳහා ඇමෙරිකාවට සහාය විය. එසේ වුව ද යුරෝපයේ කිසිදු රටක් හෝ නේටෝ සංවිධානය හෝ මෙම යුද්ධය සඳහා ඇමෙරිකාවට සහාය වන බවක් නොපෙනේ. ඇමෙරිකාවට ඊශ්‍රායලයේ ආධාරයෙන් පමණක් යුද්ධය පවත්වාගෙන යාමට සිදුව තිබේ. බටහිර රටවල් හෝ ජපානය, දකුණු කොරියාව වැනි ඇමෙරිකාවට සමීප රටවල් කිසිවකුගේ හෝ ප්‍රබල සහායක් එයට නොලැබෙන අතර ස්පාඤ්ඤය සහ ස්කැන්ඩිනේවියානු රටවල් යුද්ධයට සම්පූර්ණයෙන් විරුද්ධව කටයුතු කරමින් සිටී. එවැනි තත්වයක් තුළ යුද්ධයට මැදිව සිටින රටවල් තුනටම දිගු කලක් තිස්සේ එය පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එබැවින් තවත් සති කිහිපයකින් තෙල් අර්බුදය නිමවනු ඇතැයි සිතිය හැකි අතර, ශ්‍රී ලංකාවට ද ඉහළ ඉන්ධන මිල සහ කෝටා ක්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍ය නොවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 

(***)