මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ මාතෘකා කීපයක් ගැනය. සමස්ත අර්ථයෙන් ගතහොත් මම ලියන්නට යන්නේ රටේ ගමන් මග සම්බන්ධව මේ මොහොතේ ඇති වී තිබෙන තත්ව කීපයක් පිළිබඳවය.
රටක් යන මග හඳුනා ගැනීම යනු එකම කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමක් නොවේ. එය ආර්ථිකය, දේශපාලනය, නීතිය, සදාචාරය, සමාජ මනෝවිද්‍යාව, ජාතික ඒකාබද්ධතාව, ආගමික සංවේදීතාව සහ තරුණ පරපුරේ චින්තනය යන සියලු අංශ එකට බැඳී ඇති විශාල ප්‍රශ්නයකි.
ඊට පෙර ලිවිය යුතු දෙයක් තිබේ. එනම් මෑතක සිට මතුවී තිබෙන “රජයට පක්ෂපාතීත්වය වැඩි යැයි පෙන්වන සමීක්ෂණ වාර්තා දේශපාලනය” පිළිබඳවය. පසුගිය දිනෙක එක් රිසර්ච් කණ්ඩායමක් කියා තිබුණේ රටේ ජනතාවගෙන් 1,000 කට ආසන්න පිරිසකගෙන් ලබාගත් දත්ත අනුව රටේ ජනතාවගෙන් සියයට 74ක් පමණ පිරිසක් ආණ්ඩුවට කැමැති බවයි. තවත් කොළඹ කේන්ද්‍රීය සමාජ විද්‍යා පර්‌යේෂණ’ ආයතනයක් ද ඒ වැනිම පර්‌යේෂණයක් සිදු කර ඇතැයි වාර්තා විය. ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ ආණ්ඩුවට ළැදි මහාචාර්යවරයකු කියා තිබුණේ “මේ තත්වය මත ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවෙමින් පවතින බව” ට තර්ක කළ හැකි බවයි. මට තේරෙන්නේ මේ පටන් අරගෙන තිබෙන්නේ තවත් දේශපාලන විහිළුකරණයක් බවයි.
මෙවැනි ප්‍රකාශ බිම තිබෙන යථාර්ථය සමග සැසදෙන්නේ නැත. සමුපකාර ජන්දයක්වත් මෙම ආණ්ඩුව ජය ගන්නා තත්වයක් අපට දක්නට නොලැබේ. ජනතාවගේ ජීවිතවල තත්වය, වෙළෙඳපොළේ ගැටලු, වැටුප් සහ ජීවන වියදම් අතර ඇති පරතරය, ග්‍රාමීය ප්‍රදේශවල අර්බුද මේ සියල්ල සලකා බලන විට එවැනි ප්‍රතිශත සංඛ්‍යා සම්පූර්ණයෙන්ම “අතේ රෝල්” ලෙස මිස බරපතළ කාරණා බව සිතීමේ හැකියාවක් නැත.
සමීක්ෂණයක් විද්‍යාත්මක විය යුතුය. එහෙත් සමීක්ෂණයක් දේශපාලන මෙවලමක් බවට පත් වූ විට එය සත්‍යය අනාවරණය කිරීමේ උපායක් නොව, සත්‍යය සඟවා දමා මනෝභාවයන් හසුරුවන ක්‍රමයක් වේ. අද අප මුහුණ දී සිටින්නේ එවැනි මනෝ දේශපාලනයකටය. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ 2015 ජනාධිපතිවරණයට පෙර සිදු කළ බොහෝ මෙවැනි සමීක්ෂණවල ප්‍රතිඵල වූයේ මහින්ද ‘කප් ගසා’ දිනන බවයි. එහෙත් ජනාධිපතිවරණයෙන් දිනුවේ මෛත්‍රීපාල මහතාය.
ආර්ථික යථාර්ථය සහ ප්‍රකාශිත සාර්ථකතා
රටේ ආර්ථික තත්වය පිළිබඳ මහ බැංකුවේ අධිපතිවරයා කියන දේවල් සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය අතර පරස්පරතාවක් පවතී. සංඛ්‍යාත දත්ත අනුව විනිමය අනුපාත ස්ථාවර වීම, විදේශ ආදායම් වැඩි වීම, ආදායම් ශක්තිමත් වීම වැනි කරුණු ප්‍රකාශ කෙරේ. එහෙත් ග්‍රාමීය ගොවියාට, කුඩා ව්‍යාපාරිකයාට, රැකියා නොමැති උපාධිධාරියාට, මධ්‍යම පන්තික පවුලකට එම සංඛ්‍යා ජීවිතය තුළ ප්‍රතිඵලයක් වී තිබේද?
IMF ප්‍රධානියා මෙරටට පැමිණි අවස්ථාවේ ඇය කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම රටේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට හේතු වූ බවය. එය එක් පැත්තකින් සත්‍ය විය හැකිය. එහෙත් IMF වැඩසටහන් සාමාන්‍යයෙන් දැඩි ආර්ථික සීමා, බදු වැඩිවීම්, සමාජ සුබසාධන අඩුකිරීම් වැනි ප්‍රතිවිපාක ගෙන එයි. එවැනි ප්‍රතිවිපාක කාට වැටෙන්නේද? මධ්‍යම හා පහළ පන්ති ජනතාවටය.
ආර්ථික සංශෝධන අත්‍යවශ්‍යය. එහෙත් එය සමාජ සාධාරණය සමග ගැළපෙන්නේද? රටේ ගමන් මග හඳුනාගැනීමේදී මෙම ප්‍රශ්නය අපට මඟහැරිය නොහැකිය.
අමරකීර්ති ඝාතකයන්ට දඬුවම්දීම
අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය වූ සිද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අඳුරු අඩියකි. රාජ්‍යයේ නියෝජිතයකු, මහජන මන්ත්‍රීවරයකු, නීතිමය පද්ධතිය තුළ ක්‍රියාකළ පුද්ගලයකු ඝාතනය කරනු ලැබීම සරලව සලකා බැලිය නොහැකිය. සමහර ආණ්ඩු හිතවාදීන් කියා සිටින්නේ මේ මිනී මැරුම “උද්ගත වූ කෝපයක ප්‍රතිඵලයක්” ලෙස සැලකිය යුතු බවත්, එයට සරල දඬුවම් හෝ ජනාධිපති සමාව පවා ලබා දිය හැකි බවත් ය. මෙය නීතියට පමණක් නොව සදාචාරයට ද ගැළපෙන්නේ නැත.
දේශපාලන වශයෙන් කාණ්ඩගතවී නිරායුධ මිනිසුන් පොලුවලින් ගසා මරා දැමීම සාමාන්‍ය තත්වයක් ලෙසින් සැලකීම මිනීමැරීම තරම්ම භයානක ක්‍රියාවකි. මේ සමහරුන් කියන්නට තැත් කරන්නේ ‘සමහර මිනී මැරුම් සාධාරණ’ බවක් වැනි කතාවකි. මෙය මගින් පෙන්වන්නේ අපේ සමාජයේ පිරිහීමේ ප්‍රමාණයයි.
නීතිය යනු හැඟීම් මත ක්‍රියා නොකරන ක්‍රමයකි. රටක් ගමන් කරන මග සුරක්ෂිත වන්නේ නීතිය සමානව ක්‍රියා කිරීමෙනි. කෙනකුගේ දේශපාලන අදහස් හේතුවෙන්, ජනකෝපය හේතුවෙන් හෝ තත්කාලික මනෝභාවයකින් මිනී මැරීම සාධාරණීකරණය කළහොත් හෙට දවසේ වෙනත් කෙනකුට එම ක්‍රමය භාවිත කිරීමට දොර විවර වේ.
අපට අවශ්‍ය වන්නේ පළිගැනීමක් නොවේ. එහෙත් නීතියේ ප්‍රමුඛතාව තහවුරු කිරීමය. එය රටේ ගමන් මග නිවැරැදි කිරීමේ මූලික පියවරකි.
නිදහස් දින උතුරේ කළු කොඩි
1948 නිදහස ලැබීමෙන් පසු පළමු වතාවට උතුරේ කළු කොඩි දමා නිදහස් දිනය විරෝධතා රැලියක් ලෙස සලකන තත්වයක් නිර්මාණය වී තිබුණි. මෙය සරල ප්‍රකාශනයක් ලෙස බැලිය නොහැකිය. එය දේශපාලන සංඥාවකි.
එක් පැත්තකින්, රටේ ඒකාබද්ධතාවට එරෙහිව ක්‍රියා කරන ප්‍රවණතා නීතිමය පරාසය තුළ සීමා කළ යුතුය. එහෙත් අනෙක් පැත්තෙන්, උතුරේ ජනතාවට ඇති අසමතුලිතභාවය, දේශපාලන නියෝජනයේ හිඟය, පළාත් පාලන ව්‍යුහ ක්‍රියාත්මක නොවීම වැනි කරුණු විසඳා නොමැතිව කළු කොඩි පමණක් තහනම් කිරීමෙන් ප්‍රශ්නය විසඳා ගත නොහැකිය.
පළාත් සභා වහාම ක්‍රියාත්මක කර, ජනතාවට තීරණ ගැනීමේ අවකාශයක් ලබාදීම වැදගත්ය. ඒකාබද්ධ රටක් ගොඩනගා ගැනීම සඳහා කේන්ද්‍රීය බලය පමණක් නොව, ප්‍රාදේශීය සහභාගීත්වය ද අවශ්‍ය වේ. මා මිත්‍ර ආචාර්ය දයාන් ජයතිලක පසුගිය දිනෙක ප්‍රකාශ කළේ උතුරේ තත්වය ‘පශ්චාත් තිම්පු’ සාකච්ජා තිබු 1984 කාලයට සමපාත වෙමින් පවතින බවත්, මේ අවුල වැඩි වෙන්නට පෙර පළාත් සභා යළි පණ ගැන්විය යුතු බවත්ය. මා සිතන්නේ ආණ්ඩුව මේ පිළිබදව බරපතළයට සලකා බැලිය යුතු බවයි.
හිමිවරුන්ගේ නැගිටීම
මෙම ආණ්ඩුව බුද්ධාගම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ මහා සංඝරත්නය අතර කම්පනයක් පවතින බව දක්නට ලැබේ. “සියලු ආගම් එකයි” යන අර්ථකථනයක් මත ක්‍රියා කරන ආණ්ඩුවක් ලෙස පෙනී යාම බොහෝ බෞද්ධයන් අතර අපහසුතාවක් ඇති කර තිබේ. ශ්‍රී ලංකාව බෞද්ධ සංස්කෘතිය මත ගොඩ නැගුණු රටකි. එය වෙනත් ආගම් අඩුකිරීමක් නොව, ඉතිහාසය පිළිගැනීමකි. බෞද්ධ සංඝරත්නය සමග සංවාදයකට නොයමින් ඔවුන්ගේ අදහස් නොසලකා හැරීම විශාල අර්බුදයකට දොර විවර කරයි.
ආණ්ඩුව කළ යුත්තේ ආගමික සංවේදීතා දේශපාලන වාසි සඳහා භාවිත කිරීම නොව, සංවාදය සහ විශ්වාසය මත ගැටලු විසඳීමය. බොරු ‘නිරාගමික’ මතවාද පරාජය කළ යුතුය.
Gen Z - වෛරය සහ විකෘති මතවාද
තරුණ පරපුර සමාජයේ බලවත්ම ශක්තියකි. එහෙත් අද අප දකින්නේ Gen Z ’ පරපුරේ කොටසක් වෙළෙඳපොළට, ව්‍යාපාරයට, ජාතික ඉතිහාසයට, පවා වෛරයක් ඇතිකරගන්නා ප්‍රවණතාවකි.
මෙයට හේතු කිහිපයක් තිබේ.
අධ්‍යාපන පද්ධතිය තුළ විවේචනාත්මක චින්තනයට වඩා ඒකපාර්ශ්වික කතා ගොඩනැගීම.
සමාජ මාධ්‍ය මගින් විකෘති ඉතිහාස කතා ප්‍රචාරය වීම.
වෙළෙඳපොළ යනු සූරාකෑමක් පමණක් බව කියා තරුණයන්ට පෙන්වීම.
වෙළෙඳපොළ, වටිනාකම් නිර්මාණය, නිදහස් ආර්ථිකය යන මේවා දේශපාලන සතුරන් නොවේ. ඒවා නිවැරැදි නියාමනය සහ සමාජ සාධාරණය සමග සම්බන්ධ කළ යුතු මෙවලම් වේ. තරුණයන්ට වෛරය නොව, වගකීම සහ නිර්මාණශීලීත්වය උගැන්විය යුතුය.
රටේ ගමන් මග පිළිබඳ කතා කරන විට අධ්‍යාපනය මඟහැරිය නොහැකිය. විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනිකරණය වීම, පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අඩුවීම, භාෂා කුසලතා සහ තාක්ෂණික හැකියාවේ හිඟය මේවා රටේ අනාගතය අඳුරු කරයි.
අධ්‍යාපනය යනු රැකියා පමණක් ලබාදෙන පද්ධතියක් නොව, නායකත්වය සහ සදාචාරය ගොඩනගන ක්‍රමයකි. එය නිවැරැදි නොකර රටේ ගමන් මග නිවැරැදි කළ නොහැකිය.
රටක් ගමන් කරන මග තීරණය වන්නේ එකම දේශපාලන පක්ෂයකින් නොවේ. එය ජනතාවගේ බුද්ධිය, නීතියේ බලය, සදාචාරය, ආර්ථික ප්‍රතිපත්ති සහ තරුණ පරපුරේ චින්තනය යන සියල්ල එකට බැඳී ඇති ක්‍රියාවලියකි.
අපට අවශ්‍ය වන්නේ වාචාල සමීක්ෂණ නොව, සත්‍යය මත පදනම් වූ විචාරයයි. අපට අවශ්‍ය වන්නේ සංඛ්‍යා ජයග්‍රහණ නොව, ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන ආර්ථික දියුණුවකි. අපට අවශ්‍ය වන්නේ වෛරය නොව, වගකීම හා අවබෝධය සහිත සමාජයකි.
රටේ ගමන් මග අද තීරණාත්මක සන්ධියක ඇත. නිවැරැදි දිශාව තෝරාගැනීම අප සැමගේ වගකීමකි. මෙවර කිවිදා දැක්මෙන් මා ඉදිරිපත් කළේ ඒ වගකීම පිළිබඳ මතක් කරවීමක් පමණි.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd