“අයිරිස් ඩේනා නෞකාව යුද්ධයකට නෙමෙයි ආවේ. එය ඉන්දියාවේ සාමකාමී අභ්‍යාසයක නිරත වුණා. මේ නෞකාව, අනිත් නෞකා දෙකටත් ලංකාවේ රජය ආරාධනා කළා ලංකාවටත් එන්න කියල. ඔවුන් ආවේ ඒ ආරාධනය මත. ඇමෙරිකාවෙන් එම නැව්වලට කිසිම පෙර දැනුම්දීමක් කළේ නැහැ. නැව ආයුධ සන්නද්ධව නෙමෙයි තිබුණෙ. නැවේ සිටි අතිබහුතරය නාවික සංගීත කණ්ඩායමේ සාමාජිකයන්”
මේ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේශා දෙල්කෝශ් මහතා ඉකුත් 23 වැනිදා කොළඹ දී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලද්දකි.
මාර්තු 4 වැනිදා ශ්‍රී ලංකාවේ ගාල්ලට කි.මි 37ක් බටහිර දෙසට වන්නට ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිෂ් ඩේනා‘ ඇතුළු නෞකා ත්‍රිත්වයට මුහුණ දීමට සිදු වූ ඉරණම හුදු නාවික අනතුරක් පමණක් නොවේ. එය මෙරට විදේශ ප්‍රතිපත්තියේ ඇති අස්ථාවරභාවයත්, බලවත් රාජ්‍ය ඉදිරියේ දණ නැමීමත් මැනවින් නිරූපණය කරන්නකි. විශේෂයෙන්ම ඉහත ඉරාන තානාපතිවරයාම ප්‍රකාශ කරන පරිදි මෙම නෞකා ලංකාවට පැමිණියේ අප රටේම නිල ආරාධනයක් මත බව තහවුරු කර තිබියදී, ඔවුන්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ නොදී අනතුරට නිරාවරණය කිරීම බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි.
ආරාධිත අමුත්තාට වැසූ දොර
ඕනෑම රටක රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායය වන්නේ තමන් කළ ආරාධනයකට අනුව පැමිණෙන අමුත්තකුට උපරිම ආරක්ෂාව සහ සත්කාරය ලබා දීමයි. ඉරාන නෞකා ලංකාවට පැමිණියේ ඉන්දියාවේ පැවැති ‘මිලාන් 2026‘ යුද අභ්‍යාසයට සහභාගී වීමෙන් අනතුරුවය. එම නෞකාවල සිටියේ යුද්ධයකට සූදානම් වූ සෙබළුන් පිරිසක් නොව, පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් සහ සෙසු නාවික නාවික නිලධාරීන් පිරිසකි.
එවැනි පසුබිමක, පෙබරවාරි මස යුදමය තත්වයක් නිර්මාණය වූ පසුව පවා, ශ්‍රී ලංකාව සිය ආරාධනය අවලංගු කළේ නැත. එසේ කළේ නම් එම නෞකා ඉන්දියාවේ රැඳී සිටීමට හෝ වෙනත් ගමන් මගක් තෝරා ගැනීමට ඉඩ තිබුණි. එහෙත් ලංකාව කළේ ආරාධනය එලෙසම තබාගෙන, නෞකා මෙරට මුහුදු සීමාවට පැමිණි පසු ඔවුන්ට වරායට ඇතුළු වීමට ඉඩ නොදී අතරමං කිරීමයි.
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පසුගිය මාර්තු 9 වැනිදා ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ තමන් මෙම ප්‍රහාරය සිදුවීමට දින තුනකට පෙර අදාළ ඉරාන නැව් තුනටම තම රටේ රැඳී සිටීමට අවසර දුන් බවයි. ඔහුගේ ප්‍රකාශයට අනුව, පෙබරවාරි 28, එනම් යුද්ධය ආරම්භ වූ දින නැව් තුනට ඉන්දියාවේ රැඳී සිටීමට අවසර පැතූ බවත් මාර්තු පළමු වැනිදා ඒ සඳහා අවසර හිමි වූ බවත් ය. එම අවසරය ලැබී තිබිය දී ඉරාන නැව් ඉන්දියාවේ රැඳී නොසිට යුද්ධය පටන්ගෙන තිබිය දී පවා ඒමට පිටත් වූයේ මන්ද යන්න පැහැදිලි නැති බවත් අමාත්‍යවරයා කියා ඇත. ඇත්ත වශයෙන් ම එසේ කිරීමට හේතුව දැන් පැහැදිලි ය. එනම් අදාළ නැව් ඉන්දියාවෙන් පිටත් වූයේ ලංකාවට එන අරමුණින් ය. ඒ සඳහා ලංකාවේ ආරාධනය තිබූ නිසා තමන්ට මේ අවස්ථාවේ ලංකාවට ඇතුළු වීමට බාධාවක් නොවන බවත්, ලංකාවේ රැඳී සිටීම වඩාත් යෝග්‍ය බවත් ඔවුන් තීරණය කරන්නට ඇත.
එහෙත් ඔවුන්‌ගෙන් 104 දෙනකුට මරු කැඳවූයේ ද එම තීරණයම බව මේ වන විට ඔවුන්ට පැහැදිලි වී තිබෙනු ඇත.
මධ්‍යස්ථභාවය සහ බලයට යට වීම
මෙම සිදුවීමේ වඩාත්ම ආන්දෝලනාත්මක පැත්ත වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයයි. ඇමෙරිකානු ප්‍රහාරක යානයක් මත්තලට පැමිණීමට අවසර ඉල්ලූ බවත්, එහි බෝම්බ පවා සවිකර තිබූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙහිදී පැහැදිලි වන කරුණු දෙකකි.
1. ඉරාන නෞකාව: පුහුණු අභ්‍යාසයකට පැමිණි, සටන් සූදානමක් නැති, බහුතර කැඩෙට් නිලධාරීන් රැගත් නෞකාවකි.
2. ඇමෙරිකානු යානය: පෙනී යන පරිදිම යුදමය සූදානමකින් සහ බෝම්බ සහිතව පැමිණි යානයකි.
සැබෑ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම්, තමන්ගේ ආරාධනය මත පැමිණි මිතුරු රටක නෞකාවකට රැකවරණය දීම රජයේ වගකීමකි. එහෙත්, ඇමෙරිකානු ප්‍රහාරයකට ලක්වන තෙක්ම ඉරාන නෞකාවට මුහුදු සීමාවෙන් පිටත රැඳී සිටීමට බල කිරීම හරහා පෙනී යන්නේ ලංකාව ‘මධ්‍යස්ථ‘ නොවන බවයි. ඒ වෙනුවට, එක් පාර්ශවයක බලපෑමට යට වී තමන්ගේම ආරාධිතයා පාවා දීමක් මෙහිදී සිදුව ඇත.
මේ අතර ඇමෙරිකාව බෝම්බ 8ක් සහිත තම ප්‍රහාරයක යානාවක් මත්තල ගාල් කර තැබීමට ඉල්ලා සිටි බවට වන කාරණය ද සැකයට භාජන වේ. බෝම්බ 8ක් රැගෙන ආවේ නම් එය පැහැදිලිවම ඉරානයට පහර දීමේ අරමුණින් පැමිණි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඇමෙරිකාව සතුව දියෙගෝ ගාර්ශියා දූපත් තිබිය දී ලංකාවේ මත්තල අවශ්‍ය වූයේ ඇයි ද යන ප්‍රශ්නය මෙහි දී මතුවේ. ඉරානයේ ටෙහෙරාන් සිට ලංකාවේ මත්තලට කි.මි 4465ක් තිබෙන විට, ටෙහෙරාන් සිට දියේගෝ ගාර්ශියා වෙත ඇත්තේ කි.මි 3800ක් පමණි. ලංකාවේ සිට ටෙහෙරාන් වෙත ප්‍රහාරක යානාවක් යෑමට ගතවන කාලය පැය 4.7ක් වන විට දියේගෝ ගාර්ශියා සිට එය පැය 4ක් පමණි. මේ අනුව හමුදාමය මෙහෙයුමක දී කාලය සහ දුර අතිශය තීරණාත්මක වන පසුබිමක ඇමෙරිකාව ලංකාවේ මත්තල ඉල්ලා සිටීම තාර්කික නොවේ.
මෙවන් ප්‍රශ්න මතුවද්දී ඉරාන නෞකාව ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකට ලක් වූයේ ලංකාවේ රැකවරණය අපේක්ෂාවෙන් මුහුදු සීමාව අසල රැඳී සිටියදීය. ඒ අනුව, මෙම බරපතළ සිදුවීම වසා ගැනීමට ජනාධිපතිවරයා ඇමෙරිකානු යානයක් ගැන පාර්ලිමේන්තුවේ දී කතා කිරීම, ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් ද යන සැකය ඇති වේ. අවසානයේ සිදු වූයේ මිතුරු රටක් සහාය ඉල්ලා සිටි මොහොතක අදිමදි කිරීම සහ වගකීම් පැහැර හැරීම නිසා එම නෞකාව අනතුරට පත්වීම ය. මෙය හුදෙක් තාක්ෂණික වැරැදීමක් නොව, සිතාමතා කළ රාජ්‍යතාන්ත්‍රික පාවාදීමකි.
මගහැරී ගිය ජීවිත 104ක වගකීම
මෙම සිදුවීමේ වඩාත්ම සංවේදී සහ ඛේදජනක පැත්ත වන්නේ එම නෞකාවේ සිටි නාවිකයන් 101 දෙනකුගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයයි. ලංකාව තමන් කළ ආරාධනයට ගරු කරමින්, නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ දුන්නේ නම්, එම තරුණ ජීවිත 101 අදටත් සුරැකිව තිබෙන්නට ඉඩ තිබුණි.
ජාත්‍යන්තර මුහුදේ දී එල්ල වූ එම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ එකම සහ හොඳම අවස්ථාව වූයේ නෞකාවට මෙරට ස්වෛරී මුහුදු සීමාව තුළ රැකවරණය දීමයි. යම් හෙයකින් එම නෞකා ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ලැබුණේ නම්, ඇමෙරිකාව කිසිසේත්ම ඊට ප්‍රහාරයක් එල්ල කරන්නේ නැත. මන්ද, තවත් ස්වෛරී රාජ්‍යයක මුහුදු සීමාව තුළ සිටින නෞකාවකට පහර දීම යනු ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව කරන සෘජු යුදමය ප්‍රකාශයක් වන බැවිනි.
ඇමෙරිකාව මෙහි දී ලංකාවට බලපෑම් කළා දැයි යන්න අප දන්නේ නැත. එහෙත් එසේ කළ ද ලංකාව සතුව පැහැදිලි තර්කයක් තිබුණි. එනම් මෙම නැව් තුන තමන්ගේ ආරාධිතයන් බවත්, එසේ හෙයින් තමන්ට අදාළ නැව්වලට තම මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර දීමට තමා නීතියෙන් මෙන් සදාචාරයෙන්ම බැඳී සිටින බවත් ඇමෙරිකාවට කිව හැකිව තිබුණි. ඇමෙරිකාවට එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය.
එබැවින්, ඉරාන නෞකාවලට ඇතුළු වීමට ඉඩ නොදීම යනු හුදු ”අදිමදි කිරීමක්” නොව, එම නෞකාව සහ එහි සිටි 104 දෙනා සතුරන්ට පහසුවෙන් ඉලක්ක කරගත හැකි පරිදි ”මරු කටට” තල්ලු කර දැමීමකි. මෙම ඛේදවාචකය මෙරට විදේශ ප්‍රතිපත්තියේ කළු පැල්ලමක් බව අමුතුවෙන් කිව යුතු නැත. තමන්ගේ ආරාධනය අවලංගු නොකර, ඔවුන් මෙරට මුහුදු සීමාව අසලට එන තෙක් සිට, අවසාන මොහොතේ දොර වැසීම වනාහි කිසිදු නිර්ණායකට අනුව සාධාරණීකරණය කළ නොහැකි දෙයකි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd