ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් මේ සතියේ දින දෙකක් තුළ සැමරුම් උත්සව දෙකක් පැවැත්විණි.
රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැති ඉන් එක් උත්සවයක් පසුගිය අඟහරුවාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අසල පිහිටි රණවිරු ස්මාරක භූමියේදී පැවැත්විණි. ඊට පෙර දින එනම් සඳුදා ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධයේ අවසාන සටන සිදුවූ මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවායික්කාල්හිදී දෙමළ නායකයෝ තවත් සැමරුමක් පැවැත්වූහ.
උතුරු නැගෙනහිර පළාත නියෝජනය කරන දෙමළ නායකයෝ හා එම පළාත්වල සිවිල් සමාජ සංවිධානවල නායකයෝ මෙන්ම දහස් ගණන් දෙමළ ජනතාව ද එම සැමරුම් උත්සවයට සහභාගි වූහ.
මෙම සැමරුම් උත්සව දෙක හාත්පසින්ම එකිනෙකට වෙනස් බව පෙනෙන්නට තිබිණි. එකම යුද්ධයේදී මිය ගියවුන් සැමරීම සඳහා මෙම උත්සව දෙක සංවිධානය කරනු ලැබ තිබුණද ඉන් දකුණේ පැවැති උත්සවය ජයග්‍රහණයේ හා සතුටේ ප්‍රකාශනයක් විය. උතුරේ උත්සවය පරාජිත මානසිකත්වය හා කලකිරීම පිරුණු ශෝකී අවස්ථාවක් විය.
පාර්ලිමේන්තුව අසලදී රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවයේදී යුද්ධයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැක්වූ වීරත්වය හා ඔවුන් කළ කැප කිරීම් අගය කරනු ලැබූ අතර දෙමළ නායකයන් විසින් මුල්ලිවායික්කාල් දිනය යනුවෙන් හඳුන්වනු ලබන මැයි 18 වැනිදා මුල්ලිවායික්කාල්හිදී පැවැත්වුණු උත්සවය එම යුද්ධයේදීම මියගිය හා අතුරුදන් වූ තම දරුවන් වෙනුවෙන් හඬන දහස් ගණන් මවුවරුන්ගේ විලාප හඬින් සනිටුහන් විය.
උතුරු හා නැගෙනහිර පළාත්වලදී දෙමළ ජනතාව විසින් පවත්වනු ලබන මෙවැනි සැමරුම් දකින්නට මෙරට දකුණු ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් බහුතරය කැමැත්තක් දක්වන්නේ නැත. එම සැමරුම්වලට පසුගිය කාලවලදී, විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ගේ පාලන කාලවලදී ඉඩ ලැබුණේ ද නැත. ඒ මේ රට බෙදා වෙන් කරන්නට කටයුතු කළ හා වසර තිහකට අධික කාලයක් රටේ විවිධ ප්‍රදේශවලදී අහිංසක මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළ ත්‍රස්තවාදීන් එම උත්සවවලදී වීරත්වයට පත් කෙරෙන්නේය, ඔවුන්ගේ එම කටයුතු උත්කර්ෂයට නැංවෙන්නේය යන පදනමිනි.
ත්‍රස්තවාදී සංවිධායක් වශයෙන් නම් කර කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කරනු ලැබ ඇති හෙයින් මෙම සැමරුම්වලදී තමන් සමරන්නේ කොටි සාමාජිකයන් නොව යුද්ධයේදී මියගිය සාමාන්‍ය ජනතාවයැයි දෙමළ නායකයෝ හා දෙමළ ජනමාධ්‍යවේදීහු කියති. එහෙත් එම සැමරුම් පැවැත්වෙන්නේ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් 2009 දී මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කළපු ඉවුරේදී මියගිය බව සැලකෙන මැයි 18 වැනිදාය. වාර්ෂිකව මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ ඔහු මියගිය ස්ථානය අසල පිහිටි බිම්කඩකය. එම සැමරුම්වලදී ජනතාව මියගියවුන් සමරනවා මෙන්ම දේශපාලනඥයෝ යුද්ධයේදී කොටි සාමාජිකයන් දැක්වූ වීරත්වය හා කැපකිරීම් හුවා දක්වමින් කතා කරති.
රජයේ හමුදා විසින් කොටි සංවිධානය පරාජය කර එම සංවිධානයේ නායකයන් සියලු දෙනාම පාහේ ඝාතනය කර 2009 මැයි 19 වැනිදා යුද්ධය අවසන් කරනු ලැබීමෙන් පසු උතුරු නැගෙනහිර කිසිදු ස්ථානයකට ගුවනින් බෝම්බ වැටුණේ නැත. රජයේ හමුදා හෝ කොටි සංවිධානය විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි උණ්ඩ ජනාකීර්ණ ප්‍රදේශවලට වැටුණේ නැත. යුද්ධයට යොදා ගැනීම සඳහා කොටි සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගේ දරුවන් පැහැරගෙන ගියේ නැත. කිසිදු දේශපාලන පක්ෂයකට තුවක්කුවට හා බෝම්බයට බියේ තීරණ ගන්නට සිදුවූයේ නැත. කොටින්ම රජයේ හමුදා යුද්ධය අවසන් කිරීම දෙමළ ජනතාවට ද ඉමහත් අස්වැසිල්ලකි.
එහෙත් උතුරේ සැමරුම් දකුණට අප්‍රසන්න වනවා සේම,වාර්ෂිකව මැයි 19 වැනිදා ආණ්ඩුව විසින් පවත්වනු ලබන “රණවිරු දිනය”ද දෙමළ ජනතාවට හා දෙමළ දේශපාලනඥයන්ට අප්‍රසන්න දර්ශනයකි. ඒ දශක තුනකට වැඩි කාලයක් ඔවුන් අත්දුටු පීඩා, බිය, අවිනිශ්චිතබව ආදිය අවසන් වුවද, එම දිනයෙන් සනිටුහන් කෙරෙන්නේ සිංහල හමුදාවක් විසින් දෙමළ සන්නද්ධ කණ්ඩායමක් අවමානකාරී ලෙස පරාජයකර විනාශ කරනු ලැබීම නිසා විය යුතුය.
යුද්ධය අවසාන වී වසර දාහතක් ගතවී ඇතත් තත්වය මෙයයි. මැයි 18 හා 19 යන දිනවල මෙන්ම නොවැම්බර මස කොටි සංවිධානය විසින් ආරම්භ කරනු ලැබ දෙමළ ජනතාව විසින් තවමත් වාර්ෂිකව පවත්වනු ලබන “මහවිරු සතිය” මගින් ද වසරකට දෙවරක් මෙසේ දෙපාර්ශ්වයම අන්‍යොන්‍ය වශයෙන් පැරැණි තුවාල පාරා ගනි. මෙහිදී අපට සිහිපත් වන්නේ රේගුව විසින් මෑතකදී නිදහස් නොකර රඳවා ගන්නා ලද “ඉප්පෝදුම් ඉංගේ ඉරණ්ඩු තේසංකල් තාන්” (දැනුදු මෙහි ඇත්තේ ජාතීන් දෙකකි) නම් දෙමළ ලේඛක දීපචෙල්වන් පිරදීපන්ගේ පොතේ නමයි.
එසේ නම්, වර්තමානයේ රටේ පවතින මෙම යථාර්ථය අප හැඳින්විය යුත්තේ කෙසේද? යුද්ධය අවසාන වීමෙන් සාමය උදා වී ඇතැයි අපට කිව හැකිද? නැත්නම් භෞතිකව අසල්වැසියන් ලෙස සිටියද හැඟීම්, දැනීම් අතින් දෙලොවක ජීවත් වන ජන කොට්ඨාස දෙකක් අතර හුදු ගැටුම් නැති තත්වයක් ලෙස පමණක් මෙය අප හැඳින්විය යුතුද? මන්දයත් මෙය යුද්ධයකූත් නැති එකමුතුබවක්ද නැති තත්වයකි.
ගැටුමෙන් තොර තත්වය පමණක් සාමය නොවේයැයි බොහෝ සමාජ විද්‍යාඥයන් කරන ප්‍රකාශය අප පිළිගත යුතුව ඇත. සාමය හා ගැටුම් පිළිබඳ අධ්‍යයනයේ පුරෝගාමියා වශයෙන් බටහිර සමාජ විද්‍යාඥයන් විසින් සලකනු ලබන නෝර්වීජියානු සමාජ විද්‍යාඥ යොහාන් ගැල්ටුං මෙම තත්වය “ඍණාත්මක සාමය” යනුවෙන් හඳුන්වයි. එහෙත් මෙය අන්‍යොන්‍ය ගරුත්වය, හවුල්කාරිත්වය හා සංස්කෘතික, ආගමික හා සමාජමය සහකම්පනය ආදියෙන් පිළිබිඹු වන ධනාත්මක සාමය වෙතට තබන පළමු පියවර වනු ඇතැයි යන්න ද තර්කානුකූලය.
ආණ්ඩුවක නායකයන්ගේ දේශපාලන කැපවීම හා අධිෂ්ඨානයේ පිටුබලය ඇතිව කෙරෙන අනවරත උත්සාහයෙන් හා සාමූහිකත්වයෙන් පමණක් මෙම ධනාත්මක සාමය සාක්ෂාත් කර ගත හැකි වනු ඇතැයි ද සමාජ විද්‍යාඥයෝ පවසති. එහෙත් එය ආණ්ඩුවේ නායකයන්ට පමණක් පැවරෙන වගකීමක් නොවේ. එය අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයන්ගේ මෙන්ම විවිධ ජනකොට්ඨාසවල නායකයන්ගේද වගකීමකි. ශ්‍රී ලංකාවේදී නම් එය දෙමළ හා මුස්ලිම් නායකයන්ගේද වගකීමකි.
මේ රටේ නායකයන් අසාර්ථක වූයේ එතැනදීය. ඔවුනට අවශ්‍ය සාමයක් නැත. යුද්ධයට පෙරත් යුද්ධය පැවැති කාලයේත් යුද්ධයෙන් පසුවත් ඔවුහු පටු අරමුණු වෙනුවෙන් යුද්ධයත් සාමයත් දේශපාලනීකරණය කළහ. ඒ අනුව ඔවුන් යුද්ධයේදී මියගියවුන් සමරන්නේ ද හෙට දිනයේ ගොඩනැඟිය යුතු සාමයට රුකුලක් වන ආකාරයට නොව දේශපාලන අරමුණෙන් අනෙක් ජනකොට්ඨාසවලට රිදුම් දෙන ආකාරයටය.
එසේම, සාමය සොයා යන ගමනේදී පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය පියවර බව පොදුවේ පිළිගැනුණ ද තමන්ගේම ජනකොට්ඨාසවලින් මතුව්ය හැකි විරෝධතා ගැන සිතා ආණ්ඩුවේත් ඉන් පිටතත් සිටින නායකයෝ ඒවාට අත ගසන්නට බිය වෙති.
යුද පිටියේ වෙඩි හඬ 2009 දී නතර වූ පසු බලයට පත් ආණ්ඩුවල හෝ දෙමළ පක්ෂවල නායකයන් හෝ සාමය ගොඩනැගීම සඳහා එකදු පියවරක් හෝ ගෙන නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 දී උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පත්කළද එසේ කළේ සාමයේ අවශ්‍යතාව නිසා නොව එම වසරේම එවක එ.ජා. මහ ලේකම් වූ බෑන් කි මුන් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියට අදාළව තමන්ට උපදෙස් දීම සඳහා විශේෂඥයන්ගේ කමිටුවක් පත් කිරීමට ප්‍රතිචාරයක් වශයෙනි. එවක අප එම කමිටුව හැඳින්වූයේ එහි නිල නාමයෙන් නොව දරුස්මාන් කමිටුව යනුවෙනි.
ඊනියා යහපාලන ආණ්ඩු කාලයේද සංහිඳියාව වෙනුවෙන් යැයි කියමින් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන බළකාය, අතුරුදන්වූවන් පිළිවඳ කාර්යාලය හා හානිපූරණය සඳහා වන කාර්යාලය ආදිය පිහිටුවනු ලැබීය. එහෙත් එම ආණ්ඩුවද ඒවා කළේ මානව හිමිකම් කවුන්සිලයේ බලකිරීම නිසාය. කෙසේ වෙතත් සිංහල ජනතාව මෙන්ම දෙමළ ජනතාවද මෙම ආයතන දෙස බලන්නේ සැකයෙනි.
පසුගිය දශක ගණනාවක් තුළම ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ඇති කරන ලද එකම ව්‍යූහාත්මක වෙනස පළාත් සභා ක්‍රමයයි. එහෙත් එයද තම කලාපීය භූ-දේශපාලනික ඵලප්‍රයෝජන වෙනුවෙන් ඉන්දීය නායකයන් විසින් ශ්‍රී ලංකාව මත බලයෙන් පටවන ලද්දකි. අනෙක් අතට පළාත් සභාවලට මෙරට පාලකයන්ගෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. දෙමළ නායකයෝ ද විශේෂයෙන්ම උතුරු පළාත් සභාව ආණ්ඩුවට එරෙහි ආයුධයක් බවට පත් කරමින් හා එමගින් පළාත් සභා යාන්ත්‍රණය පිළිබඳ සිංහල ජනතාවගේ සැකය තහවුරු කරමින් සාම විරෝධීව කටයුතු කළහ.
ගැටුමකින් පසු සාමය වෙතට යන ගමනේදී සංක්‍රාන්ති යුක්තිය අත්‍යවශ්‍ය අංගයක් බව කියවේ. එනම් ගැටුම් පැවැති කාලයේ සිදුවූ සිත් පෑරීම්වලට පිළියම් යෙදීමයි. මෙහිදී දෙමළ නායකයන් බල කර ඉල්ලා සිටින්නේ දණ්ඩන යුක්තියයි (Retributive Justice). එනම් යුද්ධයේදී මානව හිමිකම් කඩ කළවුනට දඬුවම් දීමයි. බලයට පත් ආණ්ඩුවල සිටින සංක්‍රාන්ති යුක්තිය පිළිගත් නායකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ හානිපූරණ යුක්තියයි (Retributive Justice). එනම් සිදු වූ අකටයුතුකම්වලට මූල්‍යමය වන්දි ගෙවීමෙන් හානිපූරණය කිරීමයි.
දෙමළ නායකයන්ගේ ස්ථාවරයට පදනම් වී ඇත්තේ යුද්ධයේදී රජයේ හමුදා පමණක් මානව හිමිකම් කඩ කළේය යන මතයයි. එම මතය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට ද ලක් වී තිබේ. එහෙත් 2014 දී එවක මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස් නවනීදම් පිල්ලෙයි විසින් පත් කෙරුණු විශේෂඥයන්ගේ කමිටුවකින් කරන ලද පරීක්ෂණයෙන් පසු නිකුත් කෙරුණු වාර්තාවේ ස්ත්‍රී දූෂණය හැර හමුදාවට එල්ල කරන ලද සෑම චෝදනාවක්ම කොටි සංවිධානයටද එල්ල කරනු ලැබ තිබිණි. එම වාර්තාව නිකුත් වූ විට එවක දෙමළ ජාතික සන්ධානයේ නායක වූ ආර්. සම්බන්ධන් මහතා පමණක් “අපගේ ජාතියේ නාමයෙන් අපරාධ සිදු වූ බව අප පිළිගත යුතුව ඇත” යි පැවසීය.
සාමය සඳහා වූ ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් දෙමළ නායකයන්ගේ ඉල්ලීම් හා බලයට පත් සෑම ආණ්ඩුවක්ම දෙන්නට ඉදිරිපත් වූ දේශපාලන සහන අතර ඇත්තේ විශාල පරතරයකි. පොදු එකඟතාවක් ඇති කරගත යුතු නම් එක් පාර්ශ්වයක් හෝ දෙපාර්ශ්වයම තම ස්ථාවරයෙන් මදක් හෝ ඉවත් විය යුතුය. එහෙත් සැබෑ මතවාදී හේතු නිසා හෝ වටපිටාවේ බලපෑම් නිසා ඊට කිසිදු පාර්ශ්වයක් සූදානම් නැත. දෙපාර්ශ්වයම කියා සිට්න්නේ තමන්ගේ කොන්දේසි යටතේ සාමය ඇති විය යුතු බවය.
කල් පවත්නා සාමය වෙනුවෙන් තම ස්ථාවර වෙනස් කර ගන්නට සූදානම් පුද්ගලයන් දෙපාර්ශ්වයේම සිටින නමුත් තමන්ගේම ජනකොට්ඨාස වෙතින් ලැබිය හැකි “ද්‍රෝහී” ලේබලය ගැන සිතා ඔවුහු ද එසේ කිරීමට අදිමදි කරති. මෙම තත්වය තවත් බොහෝ කාලයක් පැවතිය හැකිය. එහෙයින් ජනවාර්ගික ප්‍රශ්නයට අදාළ වත්මන් දේශපාලන මාතෘකාද තවත් බොහෝ කාලයත් සාකච්ඡාවට බඳුන් වනු ඇත.
(*** එම්.එස්.එම්. අයුබ්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd