මැදපෙරදිග කලාපය නැතිනම් බටහිර ආසියාව තවමත් ගෝලීය ආර්ථිකයෙහි ප්‍රධාන ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් මූලාශ්‍රය වේ. ලෝකයේ පවතින තෙල් හා ස්වාභාවික ගෑස් සංචිතවලින් සැලකිය යුතු ප්‍රමාණයකට සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, බහරේන් යන රටවල් හිමිකම් කියන අතර නිෂ්පාදන ධාරිතාව අතින් ද එකී රටවල් පෙරමුණේ පසුවේ.

ගෝලීය බොර තෙල් හා ද්‍රවීකෘත ස්වාභාවික වායු ප්‍රවාහනයෙන් සියයට විස්සක් පමණ සිදු වන්නේ මූලෝපායික වශයෙන් ඉතා වැදගත් සමුද්‍රීය සන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ය. එබැවින් මෙම සමුද්‍රීය සන්ධිය ලෝක බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.

ගල්ෆ් කලාපයට ගමන් ගන්නා ආහාර රැගත් නෞකා බොහෝමයක් ගමන් ගන්නේ ද මේ මුහුදු කලාපයෙන් හෝ ඒ ආසන්නයෙනි. ඊට අමතරව ලෝක තෙල් වෙළෙඳාමෙන් සහ ස්වාභාවික ගෑස් සැපයුමෙන් සියයට 20 ක ප්‍රතිශතයක් සිදුවන්නේ ද මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වේ. එසේම මැදපෙරදිග කලාපයට ගමන් ගන්නා ආහාර නෞකා වැඩි ප්‍රමාණයක් ගමන් ගන්නේ ද මෙම සමුද්‍රීය සන්ධිය ඔස්සේ ය. සෞදි අරාබිය ආනයනය කරන ආහාර ද්‍රව්‍යවලින් සියයට 70 ත් 80 ත් අතර ප්‍රමාණයක් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආනයනය කරන ආහාර ද්‍රව්‍යවලින් සියයට 85 ත් 90 ත් අතර ප්‍රමාණයක් ද කටාරය ආනයනය කරන ආහාර ද්‍රව්‍යවලින් සියයට 92 ත් 95 ත් අතර ප්‍රතිශතයක් ද මෙම සමුද්‍රීය සන්ධිය හරහා සිදුවන අතර ප්‍රධාන ගංගා දෙකකට ප්‍රවේශ තිබිය දී ඉරාකයේ ආහාර ආනයනයෙන් වැඩි ප්‍රමාණයක් ගෙන එනු ලබන්නේ ද මේ මුහුදු මාර්ගය ඔස්සේ ය. එසේ වුවත් සියලු‍ ආනයන මේ මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රවාහනය නොකරනු ලබන අතර සමහර ආනයන රතු මුහුද හෝ වෙනත් වරාය ඔස්සේ පරිවහනය සිදු වේ.

මැදපෙරදිග කලාපයේ සිදුවන ඕනෑම හමුදා හෝ භූ දේශපාලනික ගැටුමක් හෝ නිසා ගෝලීය සැපයුම් ජාලයේ ස්ථාවරත්වයට දැඩි අහිතකර ප්‍රතිවිපාක එල්ල වේ. මෙය සනාථ කිරීම සඳහා අතීත පූර්වාදර්ශ කිහිපයක් ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි. 1973 දී සිදු වූ අරාබි-ඊශ්‍රායල යුද්ධයේ දී ඔපෙක් සංවිධානය ඛනිජ තෙල් මිල ගණන් අදහාගත නොහැකි ලෙස ඉහළ දැමුවේ ය. එමෙන් ම 1979 ඉරාන විප්ලවය සිදු වූ අවධියේ ද ලෝක බොර තෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. මෙහි බලපෑම් හේතුවෙන් සංවර්ධිත ආර්ථිකයන් පවා විශේෂයෙන්ම ඇමෙරිකාව හා එක්සත් රාජධානි ආර්ථික එකතැන පල්වෙන තත්වයක් උද්ගත විය.

ගෝලීයකරණයෙන් පසු ලෝකයේ රටවල් අතර අන්තර්- රඳාපැවැත්ම හා අන්තර්- සම්බන්ධය වේගවත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දරුණු ඛනිජ තෙල් කම්පනයෙන් කිසිදු රටකට පැන යා නොහැකි ය. එබැවින් මෙම යුද්ධය නිසා ඉහළ යන ඛනිජ තෙල් මිලෙහි අහිතකර බලපෑම් සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින සෑම රටකටම අත්විඳීමට සිදුවන යථාර්ථයකි. මෙම සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙද්දී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 65 සිට 119 දක්වා වැඩි වී ඇති අතර එමගින් සියලු‍ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යනු ඇත.

ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ මේ යුද තත්වය තවදුරටත් පවතින්නේ නම් මීට වඩා වැඩි ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ යා හැකි බව ය. එවැනි ඇතැම් පුරෝකථනවලට අනුව, බොර තෙල් බැරලයක මිල ඩොලර් 180 දක්වා ඉහළ යෑමට ද පිළිවන. ඊට හේතුව ඛනිජ තෙල්, නිෂ්පාදන හා ප්‍රවාහන කටයුතුවල මූලිකතම යෙදවුම නිසා ය. සෑම රටකම උද්ධමනයට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට එයින් තෙරපුමක් ඇති කරනු ඇත.

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකා රජය ද පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් වැඩි කළේ ය. මේ ගැන කතා කිරීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ රජය වංචා දූෂණ නතර කිරීමට හා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට දරන උත්සාහය මම අගය කරමි. යුද්ධය ආරම්භ වී ගත වූ පළමු සති දෙක ඇතුළත ඉන්ධන ආහාර හෝ වෙනත් භාණ්ඩවල හිඟයක් ඇතිවීමට ඉඩ නොදී ආර්ථිකය ඵලදායී අයුරින් කළමනාකරණය කිරීමට ආණ්ඩුව සමත් විය. එහෙත් යුද්ධය ආරම්භ වී සති තුනක් ඇතුළත රජය අවස්ථා දෙකක දී ඉන්ධන මිල වැඩි කළේ ය. පළමුවර කළ මිල වැඩි කිරීම ජනතාවට දරා ගත හැකි වුවත් දෙවැනි මිල වැඩි කිරීමෙන් පාරිභෝගිකයන් මත අධික බරක් පටවා ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 105 කින් වැඩි කළ අතර පැවැති මිල ගණන් සමග සැසඳීමේ දී එය සියයට 35 ක මිල ඉහළ යෑමකි. ඇතැම් සංවර්ධිත රටවල හා බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ඉන්ධන මිල ගණන් සමග සාපේක්ෂව සැසඳීමේ දී මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ අගයක පවතින බව පැහැදිලි ය. අප්‍රේල් හා මැයි මාසවලදීත් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් හා ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පැවැතියහොත් දේශීය වෙළෙඳපොළේ තෙල් මිල ගණන් අඩුවීමට ඉඩක් නැත. එසේම තුන්වැනි වරටත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට වැඩි ඉඩක් තිබේ. මෙය සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය 2022 දී හටගත් උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටියදී ය. මේ සන්දර්භයේ වැඩි කරන ලද ඉන්ධන මිල හේතුවෙන් ආර්ථිකයේ අංශ රැසකට අහිතකර බලපෑම් එල්ලවීමට පිළිවන. ඒවා පහත පරිදි පෙළගැස්විය හැකි ය.

ඒ යටතේ විදේශ විනිමය ඉපැයීම්වලට ප්‍රබල බලපෑම් එල්ල විය හැකි අතර සංචාරක ආදායම් හා විදේශ ප්‍රේෂණ ලැබීම් සැලකිය යුතු අගයකින් පහළ යනු ඇත. එසේම තේ හා පොල් අපනයනයෙන් ලැබෙන විදේශ විනිමය ඉපැයීම් ද අඩුවීමට ඉඩ ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තයෙන් උපයන විදේශ විනිමය ද මෙම අර්බුදය හමුවේ පහළ යා හැකි ය. නැව් ගාස්තු ඉහළ යෑම, ඇමෙරිකානු හා යුරෝපා වෙළෙඳපොළවල මිලදී ගැනීමේ හැකියාව දුර්වලවීම සහ මෙරට ඇඟලු‍ම් සඳහා පවතින ඉල්ලු‍ම පහළ යෑම ඊට හේතුවිය හැකිය.

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම මගින් දේශීය ආර්ථිකයට ද අහිතකර බලපෑම් රැසක් ඇති වේ. පළමු වටයේ බලපෑමක් වන්නේ උද්ධමනය ඉහළ යෑම ය. දෙවැනි වටයේ බලපෑමක් වන්නේ ප්‍රවාහන ගාස්තු වැඩිවීම ය. එය ඉදිරි දිනවල දී සිදු වනු ඇත. තුන්වැනි වටයේ බලපෑම් වශයෙන් මා හඳුනාගන්නේ දැනටමත් සිදුවී ඇති පරිදි බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමය. එයින් මධ්‍යම පාන්තිකයන්ගේ හා අඩු ආදායම්ලාභීන්ගේ ජන ජීවිත කෙරෙහි අහිතකර ප්‍රතිවිපාක ජනනය කරනු ඇත. තව ද මේ අවිනිශ්චිත තත්වය හමුවේ අනාගතයේ දී බලශක්ති හිඟයකට ද මුහුණ දීමට සිදුවනු ඇත.

මේවායෙහි සමුච්චිත බලපෑම නම්, උද්ධමනය ඉහළ යෑමෙන් ආර්ථික වර්ධන වේගය පහළ යෑම ය. එය ආර්ථිකය එකතැන පල්වීමට හේතුවක් වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසර වෙනුවෙන් ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (මහ බැංකුවේ පුරෝකථනය අනුව එම අගය සියයට 4 ත් 5 ත් අතර වේ) ද අඩු වනු ඇත. ජන ජීවිතයට එල්ල වන අහිතකර බලපෑම් හමුවේ සුබසාධන වියදම් ඉහළ නැංවීමට රජයට අමතර පීඩනයක් එල්ල වනු ඇත.

තෙල් මිල ගණන් වැඩි කිරීමත් සමග ඉක්මනින් බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර අතර සංචාරක කර්මාන්තය, විදුලි සැපයුම, හෝටල් සහ නවාතැන්පළ, ප්‍රවාහනය, තේ සහ පොල් කර්මාන්ත, ඇඟලු‍ම් කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ ඛනිජ තෙල් හා සම්බන්ධ කර්මාන්ත යනාදිය ප්‍රධාන වේ. තවදුරටත් මේ යුද්ධය පැවැතියහොත් සහ ඉරානය විසින් හෝමුස් සමුද්‍රීය සන්ධිය හරහා ගමන් ගන්නා නෞකා මත අතිරේක ගාස්තු පනවනු ලැබුවහොත් ශ්‍රී ලංකාවට යළිත් වරක් විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. එමෙන් ම නැවත වරක් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ද සිදු වනු ඇත. අප 2022 දී අත්විඳි යථාර්ථයට සමාන තත්වයක් උද්ගත වීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ දී බහුල වශයෙන් කෘත්‍රිම රසායනික පොහොර යොදා ගැනේ. ගෝලීය කෘෂිකර්ම යෙදවුම් නිෂ්පාදනයේ දී මැදපෙරදිග කලාපය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව, මැදපෙරදිග රටවල් විසින් යූරියා සහ අනෙකුත් පොහොර වැඩිවශයෙන් අපනයන කරනු ලබයි. යූරියා, ඇමෝනියා, පොස්පේට්, සල්ෆර් ඇතුළු පොහොර වර්ග අපනයනය කරන රටවල් අතර ඉරානය, සෞදි අරාබිය, කටාර්, ඕමාන, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ප්‍රධාන වේ. පවතින යුදමය වාතාවරණය හමුවේ මෙම පොහොර වර්ගවල මිල ගණන් ද ඉහළ යෑමට ඉඩ තිබේ. ඒවා ආනයනය කිරීම ද දුෂ්කර වනු ඇත. මෙමගින් ගොවීන්ට සෘජු බලපෑම් එල්ල විය හැකි අතර කෘෂි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යනු ඇත.

කාර්මික අංශය ගැන අවධානය යොමු කිරීමේ දී එම අංශයේ නිෂ්පාදන, ප්‍රවාහනය සහ සම්පූර්ණ සැපයුම් ජාල ක්‍රියාකාරීත්වය ඉන්ධන මත රඳා පවතී. තෙල් මිල වැඩි කිරීම හා පවතින ඉන්ධන හිඟය හේතුවෙන් කාර්මික අංශයට දැඩි අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු වේ. විශේෂයෙන් ම ඉන්ධන මිල ගණන් වැඩිකිරීම නිසා තෙල්, විදුලිය, ප්‍රවාහනය (අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහ නිමි ද්‍රව්‍ය ප්‍රවාහනය) අරබයා කර්මාන්ත ආයතනවලට විශාල අමතර වියදමක් දැරීමට සිදු වේ. ඉන්ධන හිඟය විසින් සැපයුම් ජාලයට ද අහිතකර බාධා මතු කරනු ලබනු ඇත. බලශක්තිය මත අධික වශයෙන් යැපෙන කර්මාන්ත තාවකාලිකව වසා දැමීමට ද සිදු වනු ඇත. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම ආනයනික ඛනිජ තෙල් මත යැපෙන රටක් හෙයින් ඉතා අවදානම් තත්වයක් උද්ගත වනු ඇත. මේ යුද වාතාවරණය අපේක්ෂිත කාලයටත් වඩා පැවැතියහොත් කාර්මික අංශයේ බිඳවැටීම හා ලෝක වෙළෙඳපොළේ තරගකාරීත්වය අවමවීමෙන් ව්‍යුහමය අභියෝගවලට ද ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත.

මෙම යුද්ධය තවදුරටත් පැවැතියහොත් එමගින් ලෝක ආර්ථික කටයුතුවලට තියුණු ප්‍රතිවිපාක හිමි කර දෙනු ඇත. ඉහතදී සඳහන් කළ පරිදි ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ යෑමට ඉඩ තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ගෝලීය මිල ගණන් ද වැඩි වනු ඇත. ප්‍රවාහන වියදම්, නැව් ගාස්තු ඉහළ යෑම නිසා ආහාර මිල ගණන් ද වැඩි වීමට ඉඩ ඇති අතර ලෝක විදුලි නිෂ්පාදනය ද පහළ වැටෙනු ඇත. ගෝලීය වෙළෙඳපොළේ උද්ගත විය හැකි අහිතකර ප්‍රතිවිපාක හමුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, භූතානය වැනි රටවල විදේශ විනිමය ඉපැයීම් ද දුර්වල වනු ඇත. එසේම උද්ධමනය අඛණ්ඩව ඉහළ ගියහොත් එය පාලනය කිරීම පිණිස පොලී අනුපාත ඉහළ දැමීමට මහ බැංකුවලට සිදු වනු ඇත. එවැන්නක් වුවහොත් සිදුවන්නේ ආයෝජන පහළ වැටී ආර්ථික ක්‍රියාකාරකම් දුර්වල වීම ය.

(***)