මුළුමහත් ජගත් දේශපාලනයට අතිශයින් තීරණාත්මක ලෝක යුද්ධයක ආරම්භක අවස්ථාව දැන් අපි පසුකරමින් සිටිමු. ගතවූ සති 4 කට නොවැඩි කාලය තුළ කිසිම රටකට අවධානය යොමු නොකර සිටිය නොහැකි සිදුවීම් ගණනාවක් භූ දේශපාලනයේ අපි දුටුවෙමු. මෙම වසරේ පෙබරවාරි 28 වැනිදා නිල වශයෙන් ඇරැඹුණු ඇමෙරිකා එක්සත් ජනපද ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට පහරදීම දිගුකාලීන යුද ගැටුමක් ලෙස කොතෙක් කල් පවතීදැයි කියා කිසිවකුට ප්‍රක්ෂේපණය කළ නොහැකි තත්වයකට පත්ව ඇත.

ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මධ්‍යස්ථානය ලෙස සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව කෙරෙන ලෝක වෙළෙඳපොළට තෙල් බෙදාහැරීමේ ජාලය නතර වුවහොත් එහි බලපෑම අරාබි කලාපය ඉක්මවා ලොව බොහෝ රටවලට අඩු වැඩි වශයෙන් බලපාන කාරණයක් බව පැහැදිලිය. තවදුරටත් ඉරානය මෙම ප්‍රවාහනය අවහිර කළහොත් එහි ප්‍රතිඵලය ඇමෙරිකාවට වඩා දැනෙන රටවල් ගණනින් විශාලය. තෙල් මිල වැඩිවීම ඒ හා බැඳුණු ගෑස්, විදුලිය ආදියෙහි ද මිල ඉහළ යාම බලපාමින් උද්ධමනය ඒ නිසාම ඉහළ ප්‍රතිශතයක් ගැනීම ආදි අතුරු විපාක රැසකට මුහුණ දීමට සිදුවේ. දැනටමත් ඉරානය ඇමෙරිකානු ඩොලර් ජාත්‍යන්තර මූල්‍ය සංචිතයක් ලෙස නොපිළිගෙන ඒ වෙනුවට චීනයේ මූල්‍ය සංචිත නිල වශයෙන් පිළිගැනීම ඩොලරය හරහා බොහෝ රටවලට බලපාන කරුණක් විය හැකිය.

මෙබදු තත්වයක් යටතේ මෙම යුද්ධය දේශපාලන භූමිය මුල් කර ගත් සටනක් නොවන බව පළමුකොට තේරුම් ගත යුතුය. ලෝක ඉතිහාසයේ කුරුස යුද්ධවල සිට එතෙක් පැවැති සෑම යුද්ධයකට මුල ජාතිය නැත්නම් ආගම මුල් වී ඇත ද මෙය වෙනස් වූ මූලයකින් පැන නැගී ඇත. එහිලා බලගතු දේශපාලන අභිලාෂ තුළ සැඟවුණ ආර්ථික අපේක්ෂා රැසක් ඇති බව යළිත් කිව යුතුය. ඒ නිසාම සැබැවින්ම මෙවැනි සුවිශේෂි යුද්ධයක් භූ දේශපාලනයේ පැන නැගුණේ ඇයිද? යුද්ධයෙන් දිනන්නේ කවුද? යන කරුණු දෙක සමනුපාතිකව විමසා බැලීම ඉතා වැදගත්ය.

මෙම කරුණු සැලකිල්ලට ලක් කිරීමේ දී පෙනී යන්නේ මෙහි ධාවක බලවේගය ලෙස ඇමෙරිකාව සමග ඊශ්‍රායලය කරනු ලබන කාර්යභාරයයි. එහිදී ඔවුන් අතර බොහෝ කල් සිට පැවැත ආ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් හඳුනාගත හැකිය. අප කියවා ඇති පරිදි 2016 වර්ෂයේ දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය සමග ඊශ්‍රායලය යුදමය ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.එයට අනුව වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8 ක් හමුදා ආධාර වශයෙන් ඇමෙරිකාව විසින් ඊශ්‍රායලයට ලබා දිය යුතුය. මෙම ඩොලර් මිලියන 3.8 න් මිලියන 3.3 ක්ම එක එල්ලේම යුද කටයුතුවලට යෙදවීම විශේෂයකි. 2023-2024 කාලය තුළ පමණක් ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 14.9 ක් ආධාර වශයෙන් ඊශ්‍රායලයට ලබා දී ඇති අතර එය 2023-2025 අතර කාලය තුළ ඩොලර් මිලියන 217 ක් තරම් විශාල ප්‍රමාණයක් බවට පත්වී ඇත. මෙය යුද්ධය පිළිබඳව කරන විමසුමකදී හඳුනාගත හැකි හොඳ අතීත පසුබිමකි. මෙයින් පෙනෙන්නේ මෙම යුද්ධය පිළිබඳ යුදකාමී මනෝමය චින්තනය එක දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම ඇමෙරිකාව තුළ ක්‍රමානුකූලව නිර්මාණය වී පැවැති බවයි.

සැබැවින්ම යුද්ධය දිනන්ප්‍රනේ කවුද යන ප්‍රශ්නයට ප්‍රධාන මතවාද දෙකක් ඔස්සේ පිළිතුරු සෙවිය හැකිය. ඉන් පළමුවැන්න නම් යුද්ධයේ නිර්මාපකයා වන ඇමෙරිකාව තුළ මේ පිළිබඳව පවතින ජනමතය ලෝක ජනමතය සමග එක් වන්නේ කෙසේ දැයි විමසා බැලීමයි. දෙවැන්න නම් ඉරානය තුළ පවතිනවාය කියන ශක්තිමත් දේශපාලන ව්‍යුහය කොතෙක් කල් පවත්වා ගැනීමට එම රට සමත්වනවා ද යන කරුණයි. ඇමෙරිකාව මෙවැනි විනාශකාරී යුද්ධයකට අවතීර්ණ වූයේ ඇයිද යන්න අද ඇමෙරිකානු බුද්ධිමය සමාජය තුළ ප්‍රබල විවේචනයට ලක් වන බව අදාළ වාර්තා සහ ලිපි විමසිල්ලෙන් කියවන විට පැහැදිලි වන දෙයකි.

විශේෂයෙන් ඊශ්‍රායලය වැනි පිටස්තර රටක් ඇමෙරිකා විදේශ ප්‍රතිපත්තියට මෙමගින් ඇති කරනුයේ අතිශයෙන් විනාශකාරී බලපෑමක් බව පිළිගන්නා පිරිස ඇමෙරිකාවේ තරුණ ජනගහනයෙන් අඩකට වඩා වැඩි බව අදාළ සමීක්‍ෂණවලින් පැහැදිලි වී ඇත. ඔවුන් එහිදී පෙන්වා දෙන වැදගත් අදහසක් වනුයේ ඇමෙරිකානු ඊශ්‍රායල මහජන කටයුතු කමිටුව නමින් පිහිටුවා ඇති සංවිධානයෙන් කරනු ලබන බලපෑමයි. මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වූයේ ඇමෙරිකා කොංග්‍රසයේ බලපෑම් ඇති කර ඊශ්‍රායලයට අවශ්‍ය ආධාර හමුදා සහාය තාක්‍ෂණික පහසුකම් ලබාගැනීම බව කියැවේ. මේ නිසාම ඊශ්‍රායලය හඳුන්වන්නේ ලොව විශාලතම හමුදා ආධාර ලබන රට ලෙස බව නොරහසකි. ඒ සමගම කියැවෙන තවත් අදහසක් වනුයේ ඊශ්‍රායල් ලෝබිය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය මුළුමනින්ම විකෘති කරමින් ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන හස්තයක් බවයි. මේ නිසාම අද ඇමෙරිකානු සමාජය තුළ මතුවී ඇති විරෝධය මෙම ප්‍රශ්නය විමසුමට ලක් කිරීමේ දී බැහැර කළ නොහැකි කරුණක් වී ඇත.

ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ වන රිපබ්ලිකන් සහ ඩිමෝක්‍රටික් පක්ෂයේ පාක්ෂිකයන් ද පදනම් කරගෙන කරනු ලබන සමීක්‍ෂණවලින් පෙන්වා දී ඇත්තේ කිසිදු පැහැදිලි අරමුණක් නැතිව ඇමෙරිකාව ඉරානය වෙතට යුද්ධය ඇදගෙන යෑම අනුමත කළ නොහැකි බවයි. මේ අතර ඇමෙරිකාවේ ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ ජෝෂප් කෙන්ට් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ජන මට්ටමින් පවතින මෙම විරෝධය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දලුලා වැඩෙන බවට නිදසුනක් ලෙස දැක්විය හැකිය.

ඉරානයේ තත්වය ද අපහැදිලි සංකීර්ණ එකකි. සිය නායකයාගේ මරණය නව නායකයකු පත් කිරීම ආදි ආයතනික වෙනස්කම් රැසක් මත ඉරානය තම ආර්ථික මර්මස්ථාන රැකගැනීමට විශාල මෙහෙයක් දරමින් සිටී. මෙහිදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය බලාපොරොත්තු වන දේ පිළිබඳව ද ඉරානය සැලකිල්ල යොමු කර ඇත. ඇ‍මෙරිකාව අපේක්‍ෂා කරන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අඩු කිරීම, විප්ලවවාදී ආරක්‍ෂක බළකායේ බලය දුර්වල කිරීම, ඉරානය තුළ අභ්‍යන්තර කැරැල්ලක් ඇති කර නායකත්වයේ වෙනසක් ඇති කිරීම ආදියයි. මේ වෙනස කිරීමට ඇමෙරිකාව කොතෙක් උත්සාහ දැරූව ද තම පාලන පද්ධතිය කඩා නොවැටෙන බව ඉරානය පුන පුනා පවසයි.

එයට හේතුව ඉරානය ආරක්‍ෂක හා දේශපාලන ව්‍යුහය සකස් කර ඇත්තේ මොසෙක් ආරක්‍ෂාව යන අදහසට අනුවය. එම ව්‍යුහයට අනුව ඉහත පෙන්වා දුන් ලෙස නායකයන් මියගිය ද පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යා හැකි යැයි ඔවුහු විශ්වාස කරති. විප්ලවවාදී ආරක්‍ෂක බළකාය මිලි නීෂියාවල සහ නිත්‍ය හමුදාව ප්‍රාදේශීය බල කොටස් වෙන වෙනම ක්‍රියාත්මක වන නිසා රටට එල්ල වන එක ප්‍රහාරයකින් රට බිඳ වැටෙන්නේ නැති බව ඉරානයේ අදහසයි. මේ අදහස සැබවින්ම ප්‍රායෝගිකද? මින් පෙර පැවැති ලෝක යුද්ධවලදී ලොව ප්‍රධාන රටවල් ප්‍රධාන කඳවුරු එකින් එකකට බැඳී කටයුතු කළ ද මෙම යුද්ධයේදී එබදු තත්වයක් දක්නට නොලැබීම ද තවත් විශේෂ කරුණකි. ඒ වෙනුවට දැකිය හැක්කේ අදාළ ප්‍රස්තුතය පිළිබඳ මත පළ කිරීමක් පමණි.

කෙසේ වුව ද ඉරානයට සිදු වෙමින් පවතින යුදමය ව්‍යසනය ලොව පුරාම ලොකු කුඩා රටවල් රැසකට ඛනිජ සම්පත හා බැදී ඇති සේවා ආශ්‍රිතව බලවත් ප්‍රශ්න රැසක් උදා කරන්නක් බව යළි යළිත් කිව යුතුය.

මෙම තත්වය අප රටට කෙසේ බලපාන්නේද? එය ද අංශ කිහිපයකින් විමසා බැලිය හැක. ඛනිජ තෙල් ප්‍රශ්නයෙන් බැට කා අමිහිරි අත්දැකීම් ඇති රටකි ශ්‍රී ලංකාව. එහෙත් අද එම ප්‍රශ්නය මැනවින් කළමනාකරණය කර ඇති බවක් පෙනී යයි. දේශපාලනික මතිමතාන්තර යටපත් කරමින් මෙම අර්බුදය ජාතික ආකල්පයකින් යුතුව මෙරට පොදු ජනතාව සාකච්ඡාවට ලක් කරමින් සිටින බව අපි දනිමු. රට තුළ තෙල් බෙදාහැරීමේ කාර්යය දැඩි පාලනයක් සහ විනයක් සහිතව කිරීමට මින් පෙර මෙවැනි අවස්ථාවලට මුහුණ දුන් අප රටට හැකියාවක් නොතිබුණේ ඇයි? ජාතික මට්ටම යටපත් වී පුද්ගලවාදි සහ දේශපාලන අපේක්‍ෂා එහිලා මූලික වූ බව අපි දනිමු. අනෙක් අතට තෙල් මූලික කරගත් අත්‍යවශ්‍ය සේවා හදිසියේ බිඳ නොවැටෙන නෛතික හා පාලන ව්‍යුහයක් කෙටි කලක් තුළ සාර්ථක ලෙස ස්ථාපිත කිරීම ද වැදගත්ය.

දෙවැනුව මෙම ගැටුම අපේ රටට බලවත් ලෙස බලපාන තවත් අංශයක් හඳුනාගත හැකිය. එනම් මෙරටට විශාල වශයෙන් විදේශ ප්‍රේෂණ ලබාදෙන ගල්ෆ් රටවල සේවය කරන ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සේවා වියුක්තියකට පත්වීමයි. මෙය අංශ කිහිපයකින්ම මෙරටේ සමාජ සංස්කෘතික ගැටලු‍ රැසකට මග පාදන්නකි. එයට හේතුව දැනටමත් පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් විශාල වශයෙන් මැද පෙර දිග රටවල සේවයේ නියුක්ත වී සිටීමයි. තෙවැනුව දැනට මෙරටෙහි සාර්ථකව ක්‍රියාත්මක වන IMF මූල්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ මගින් අපේක්ෂිත කාර්ය පද්ධතියට මෙමගින් සිදුවන බලපෑම් හි ස්වභාවය ද මේ සමගම අප තේරුම් ගත යුතුය.

නායකයන් ලෝක ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත් වී ඇත්තේ යුද ජයග්‍රහණ නිසා නොව මානව සංවර්ධනය උදෙසා දරනු ලැබූ අවංක සහ අනල්ප පරිශ්‍රමයන්ගේ සාර්ථකත්වයෙන් බව පරම සත්‍යයකි. එසේ නම් අද සටනේ පෙරමුණ ගෙන සිටින නායකයන් දෙස අප බැලිය යුත්තේ කෙලෙසද? සැබවින්ම මෙම යුද්ධයෙන් කිසිවකුත් ජයගන්නේ නැති බව පැහැදිලිය. එහෙත් යුද්ධයේ අඳුරු නටබුන් වේදනාකාරී අත්දැකීම් බොහෝ කල් යන තෙක් ලෝක දේශපාලනයෙහි රැව් පිළිරැව් දෙනු ඇත.

 

(***)