පසුගිය සෙනසුරාදා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් මැදපෙරදිග නැවත වරක් ගිනි ගනිමින් තිබේ. ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි කමේනි ඇතුළු දේශපාලන සහ යුද නායකයන් කිහිප දෙනෙක් ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිටිති.
තම නායකයා මියගොස් තිබියදී ඉරානය ඊශ්‍රායලයට මෙන්ම මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකටම ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර යුද්ධයට පෙර ඉරානය ප්‍රකාශ කළ ආකාරයට එය දැන් කලාපීය යුද්ධයක් බවට පරිවර්තනය වී ඇත. එය දින කිහිපයකින් අවසන් වේයැයි අපේක්ෂා කළ නොහැකි අතර දිග ඇදෙන යුද්ධයක ප්‍රතිඵලය විය හැක්කේ ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට ද අනතුරුදායක තත්වයකට මුහුණදීමට සිදුවීමයි.
මීට පෙර ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළ අවස්ථාවලදී ඇමරිකාවේ සහාය ඊශ්‍රායලයට ලැබුණු නමුදු ඇමරිකාව ඍජුව එයට මැදිහත් වූයේ ඉරානයේ න්‍යෂ්ඨික බලාගාර විනාශ කිරීම සඳහා පමණි. ඇමරිකාව විසින් ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කළ නමුදු ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට හෝ වැඩපිළිවෙළට විශාල හානියක් සිදුව නැති බව පෙනේ. එයට ප්‍රධානම සාක්ෂිය වන්නේ එම ප්‍රහාරයෙන් පසු ඇමරිකාව ඉරානය සමග න්‍යෂ්ටික කටයුතු පාලනය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමයි. පසුගිය ඊශ්‍රායල-ඉරාන යුද්ධයේදී රටවල් දෙකටම දැඩි ලෙස හානි ඇතිවූ අතර ඊශ්‍රායලයට බලාපොරොත්තු වූ ආකාරයේ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකි වූයේ නැත.
යුද්ධය දිගටම ඇදී යන්නේ නම් ලෝකයට මුහුණදීමට සිදුවන මුල්ම ගැටලුව වන්නේ ඉන්ධන මිල ඉහළ යෑම සහ උද්ධමනය ඉහළ යන තත්වයක් ඇතිවීමයි. සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු පසුගිය දින කිහිපය තුළ ලෝක තෙල් මිල සියයට දහයකින් පමණ ඉහළ ගියේය. ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ ගල්ෆ් කලාපයේ සියලුම රටවල් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල් වේ. ඉරානය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල් වන අතර මෙම සෑම රටකම පාහේ ඇමරිකාවේ ආරක්ෂක කඳවුරු පිහිටා ඇත. ඉරාන ප්‍රහාරයෙන් පසු ලොව ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදන රට වන සෞදි අරාබිය ප්‍රකාශ කළේ ඉරාන ප්‍රහාරය හෙළා දකින බවත් ප්‍රහාර එල්ල වූ රටවලට තම සහාය පළ කරන බවත්ය.
ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ගල්ෆ් රටවල් සියල්ලම පාහේ අවදානමකට පත්ව ඇති නිසා ඉරානයෙන් එල්ල වන බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කිරීමට කටයුතු කර ඇත. අනාරක්ෂිත බව හේතුවෙන් එම රටවල ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතුවලට මෙන්ම බෙදාහැරීමට ද බාධා ඇතිවේ. යුද්ධය හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදනයේ අඩුවීමක් සිදුවන්නේ නම් එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමයි. මේ අතර සෞදි අරාබිය ඇතුළු ඔපෙක් රටවල් තීරණය කර ඇත්තේ ඔපෙක් තෙල් නිෂ්පාදනය බැරල් මිලියන දෙසීයකින් වැඩි කිරීමටය.
ඉරානය ඇතුළු ඛනිජ තෙල් නිපදවන රටවල නාවුක ප්‍රවාහන කටයුතු සිදුවන්නේ ඉරානයට සම්බන්ධ හෝමුස් (Hormuz) සමුද්‍ර සන්ධිය හරහාය. ලොව ඛනිජ තෙල් නිෂ්පාදනවලින් සියයට විස්සක පමණ ප්‍රමාණයක් ගල්ෆ් කලාපයේ සිට අනෙකුත් රටවලට ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහාය. තම රටට ප්‍රහාර එල්ල කළහොත් එය වසා දමන බවට ඉරානය ප්‍රකාශ කර තිබුණ ද තවමත් එය වසා දමා ඇති බවක් වාර්තා නොවේ. එසේ වුවද කලාපය තුළ ඇතිව තිබෙන යුද උණුසුම නිසා ඒ හරහා ගමන් කරන නැව් ප්‍රමාණය විශාල ලෙස අඩුවී තිබේ. අවදානම ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා වන රක්ෂණ ගාස්තු ද ඉහළ යනු ඇත. නිෂ්පාදනය අඩුවීම, නාවුක සේවා අඩපණ වීම සහ රක්ෂණ ගාස්තු ද ඉහළ යෑමේ ප්‍රතිඵලය විය හැක්කේ ඛනිජ තෙල් මිල ගණන් තවත් ඉහළ යෑමයි.
නිෂ්පාදනය සහ ප්‍රවාහනය වැනි සියලුම කටයුතුවලදී ඉන්ධන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් ජාත්‍යන්තර භාණ්ඩ හා සේවා මිල මට්ටම් ද ඉහළ යනු ඇත. කොවිඩ් හේතුවෙන් ලෝක ආර්ථිකය මුහුණ දුන් ආර්ථික අර්බුදය සැලකිය යුතු මට්ටමකින් නිම කරගෙන ලෝක ආර්ථිකය ස්ථාවරත්වයකට පත්වූ අතර පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට බොහෝ රටවලට හැකි වී තිබුණි. එසේ වුවද ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ලෝක උද්ධමන අනුපාතය ඉහළ යන්නේ නම් නැවත වරක් අර්බුදකාරී තත්වයකට මුහුණදීමට එම රටවලට සිදුවනු ඇත.
ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවලින් ලෝකයේ භාණ්ඩ හා සේවා සඳහා විශාල ඉල්ලුමක් ඇතිව තිබෙන අතර ලොව ප්‍රධාන ආයෝජන රටවල් බවට ද ඒවා පත්වී තිබේ. එම රටවල සාමකාමී තත්වය බිඳ වැටීම මෙන්ම යුද්ධ පිළිබඳව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම නිසා එම රටවල භාණ්ඩ සහ සේවා ඉල්ලුම මෙන්ම ආයෝජන සැපයුම පහළ යෑමට ද ඉඩ තිබේ. අනෙක් අතට සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සැලකිය යුතු ණය සහ ආධාර ප්‍රමාණයක් එම රටවලින් ලැබේ. ඒවා සම්බන්ධයෙන් ද යුද්ධය නිසා බලපෑම් ඇතිවීමට ඉඩ ඇත.
මැදපෙරදිග යුද තත්වය ශ්‍රී ලංකාව කෙරෙහි කිහිප ආකාරයකින්ම බලපෑමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සේවය කරනු ලබන්නේ මෙම අර්බුදයට සම්බන්ධ වී ඇති රටවලය. උදාහරණයක් ලෙස ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන් වැඩිම ප්‍රමාණයක් සේවය කරන අතර, එම ප්‍රමාණය දෙලක්ෂ පනස් දහසකි. සෞදි අරාබියේ දෙලක්ෂ හතළිස් හයදහස් එකසිය තිස් නමයක්ද, කුවේටයේ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක්ද, කටාරයේ එක්ලක්ෂ හතළිස් දහසක්ද සේවය කරනු ලබයි. ගල්ෆ් කලාපය තුළ ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන්ගේ මුළු සංඛ්‍යාව මිලියනයකට ආසන්නය.
එම කලාපය තුළ යුද්ධය දිගු කලක් පවතින්නේ නම් සේවා නියුක්තිකයන්ගේ ප්‍රමාණය මෙන්ම රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය කෙරෙහි ද එය බලපානු ඇත. 2026 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන හත්සිය පනස් එකක් වූ අතර 2025 වසරේ රටට ලැබුණු මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන අටයි දශම එකක් (8.1) විය. ශ්‍රී ලංකාවේ මුළු විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට ඩොලර් බිලියන හයයි දශම අටක් (6.8) වන අතර ඒ හා සැසඳීමේදී විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් කොතරම් වැදගත් වන්නේද යන්න පැහැදිලි වනු ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් රට මුහුණදී සිටින ගැටලුවලට විදේශ ප්‍රේෂණ හේතුවෙන් විශාල සහනයක් ලැබී ඇති නමුදු එහි අඩුවීමක් සිදු වුවහොත් රටේ ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාවට යුද්ධය හේතුවෙන් ක්ෂණික බලපෑමක් ඇතිවිය හැක්කේ ගුවන් ගමන් කටයුතු සම්බන්ධයෙන් සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන්ය. ශ්‍රී ලංකාව සම්බන්ධ කෙරෙන ගුවන් සේවා බොහොමයක් මැදපෙරදිග කලාපය හරහා සිදුවේ. යුද්ධය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් මගීන් විශාල ලෙස අඩු වූයේ එවැනි ගුවන් ගමන් බොහොමයක් යුද්ධය හේතුවෙන් නැවතීම හේතුවෙනි. මේ වනවිට ඩුබායි ඇතුළු ගුවන් තොටුපොළවල් විශාල ගණනක් වසා දමා ඇත. ඒ හේතුවෙන් රට තුළ ක්‍රියාත්මක වන ගුවන් සේවාවලින් රටට ලැබෙන ආදායම අඩුවන අතර රටට ගුවන් යානා නොපැමිණීම හේතුවෙන් ඒවායින් ලැබෙන ආදායම ද අඩු වේ.
රටට පැමිණෙන සංචාරකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ගමන් කරන්නේ මැදපෙරදිග කලාපය හරහාය. දැනටමත් සංචාරක පැමිණීම අඩුවීම කෙරෙහි ගුවන් සේවා ක්‍රියාත්මක නොවීමත්, ගුවන් තොටුපොළ වසා දැමීමත් හේතු වී ඇති අතර යුද්ධය දිගටම පවතින්නේ නම් එම රටවල් හරහා කෙරෙන සංචාරක පැමිණීම් තවදුරටත් අඩුවීමට ඉඩ තිබේ. කොවිඩ්වලින් පසුව සංචාරක පැමිණීම දැන් වාර්තාගත ඉහළ තත්වයකට පත්ව ඇත. එසේ වුවද අපේක්ෂා නොකළ ආකාරයෙන් යුද්ධය ඒ කෙරෙහි සැලකිය යුතු බාධකයක් වීමට ඉඩ ඇත.
ගල්ෆ් කලාපයේ රටවල් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි වැදගත් වන තවත් හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ අපනයනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් එම කලාපයේ රටවල් විසින් මිලදී ගැනීමයි. උදාහරණයක් ලෙස සෞදි අරාබිය සහ එක්සත් එමීර් රාජ්‍ය වැනි රටවල් ශ්‍රී ලංකාවේ තේ, එළවළු සහ මල් වැනි ද්‍රව්‍ය සඳහා ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් ලෙස ක්‍රියාත්මක වේ. යුද්ධය හේතුවෙන් ප්‍රවාහන මාර්ග අවහිරය ආර්ථිකය කෙරෙහි ක්ෂණිකව දැනෙනු ඇත්තේ සැපයුම කෙරෙහි එල්ල වන බාධක හේතුවෙනි.
අන්තර් රැඳියාව නිසා ජාත්‍යන්තර මට්ටමේ සිදුවන අර්බුද, යුද්ධ සහ ව්‍යසන වැනි තත්වයන්ගේ බලපෑම්වලින් අත්මිදී සිටීමට නොහැකි වනු ඇත. එබැවින් ආණ්ඩුවේ මෙන්ම ආර්ථික කටයුතු පාලනය කරන ආයතනවල සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම විය යුත්තේ ඇතිවිය හැකි තත්වයන් කල්තබා හඳුනාගෙන ඒවාට සූදානම් වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමයි.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd