ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදය (මතභේදයකට වඩා ගාල ගෝට්ටිය) තේරුම් ගැනීම අතිශයින්ම දුෂ්කරය. මන්දයත් ඒ කුමක්දැයි රට නොදැන සිටීමය.
මුලදී විරුද්ධ පක්ෂවල හා ඇතැම් ගුරු වෘත්තීය සමිතිවල විවේචනයක් වූයේ අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට ඉතිහාසය හා සාහිත්‍ය වැනි විෂය ඉගෙනීම මෙම ප්‍රතිසංස්කරණ මගින් අනිවාර්ය කර නැතැයි යන්නය. එය වැරැදි මතයක් බව අධ්‍යාපන ඇමැතිනිය ද වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පුන පුනා ප්‍රකාශ කරද්දීත් එම විවේචනය එල්ල විය.
දැන් ඒ ගැන කිසිවකු කතා කරන්නේ නැත. ඉන් අදහස් කෙරෙන්නේ දැන් එවැනි ප්‍රශ්නයක් මෙම ප්‍රතිසංස්කරණවල නැති බවද? එසේ වූයේ කෙසේද? මුලින් එම විෂයයන් අනිවාර්ය නොකර තිබී විවේචනවලින් පසු ඒවා අනිවාර්ය කෙරුණේ ද? නැත්නම් මුලසිටම ඒවා අනිවාර්යය විෂයයන් ලෙස තිබුණ ද ආණ්ඩු විරෝධි කණ්ඩායම් නැති ප්‍රශ්නයක් මවා පෑවේ ද? එසේ නම් ඔවුන්ට දැන් එම කරුණ අත්හැර දැමීමට සිතුණේ මන්ද?
ඊළඟට පාසල් පැවැත්වෙන කාලය දිනකට පැය බාගයකින් වැඩි කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කටයුතු යොදා ඇතැයි කියැවිණි. එය නම් සත්‍යයකි. පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමේ සැලැස්ම කල් දමනු ලැබු බවට පළ වූ ප්‍රවෘත්තිවලින් ඒ බව පෙනේ.
දැන් අලුත්ම චෝදනාව වී ඇත්තේ හය වසරේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ සමලිංගිකයන්ට සේවා සපයන වෙබ් අඩවියක සබැඳියාවක් (ලිංක් එකක්) ඇතුළත්ව තිබේ යන්නයි. එය සැබෑවක් බවත් එවැන්නක් ඇතුළත් කිරීම වරදක් බවත් එය ඇතුළත් කෙරුණේ කෙසේද යන්න පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස රහස් පොලීසියෙන් ද ඉල්ලා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
අදාළ මොඩියුලයේ මෙම සැබඳියාව ඇතුළත් කොළය කඩා දමා මොඩියුලය බෙදාහරින බව මුලින් අධ්‍යාපන බලධාරීන්ගෙන් කියැවිණි. එය කොතෙක් දුරට ප්‍රායෝගික වන්නේ ද යන ප්‍රශ්නය ඉන් මතුවිය. ඉරා දමන්නට යෝජිත කොළයේ ඇත්තේ එම සබැඳියාව පමණක් නොවේ. එම කොළයේ පිටු දෙක ඉවත් කෙරුණු විට මොඩියුලගේ අන්තර්ගතයේ ගලා යාමට (Flow) බාධාවක් ඇතිවේ. එසේම එම පිටු දෙකේ සඳහන් කරුණු මත පදනම්ව ඉදිරි පිටුවල ඇතැම් කරුණු ගොඩනැඟී තිබෙන්නට පුළුවන.
පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ අගමැතිනිය මතභේදයට තුඩු දී ඇති මොඩියුලය මුළුමනින්ම ඉවත් කරන බව පැවැසුවාය. මෙම ප්‍රශ්නය පිළිබඳව දැනගත් වහාම එම මොඩියුල තොගයටම මුද්‍රා තැබූ බවත් ඒවා සිසුන් අතට පත් නොවූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මතභේදයට තුඩුදුන් සබැඳියාව ප්‍රවර්ධනය නොකරන ලෙසද ඇය ඉල්ලා සිටියාය. එහෙත් මෙම සබැඳියාව ඇතුළත් පිටුවේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වූ බව කියැවේ. එසේම මෙම ආන්දෝලනය නිසා බොහෝ දෙනකු විවිධ ක්‍රම මගින් එම සබැඳියාව සොයා ගන්නට ද ඇත.
දැන් බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නයක් නම් මෙම මොඩියුලය ඉවත් කළද එය මුද්‍රණය කරන්නට වැය වූ රුපියල් කෝටි හතක් පමණ මුදලේ වගකීම භාර ගන්නේ කවුරුන්ද යන්නයි. එය සාධාරණ ප්‍රශ්නයකි. දැනටමත් සිදුවූ වරදේ වගකීම බාරගෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වනතුරු ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරන මහත්මිය ජනවාරි 1 වැනිදා සිය ධූරයෙන් තාවකාලිකව ඉවත් වී සිටින්නීය.
ඇයට වුවද මෙම කාරණයේ දී බාරගත හැක්කේ සදාචාරමය වගකීම පමණි. මන්දයත් එම ආයතනයෙන් සකස් කර මුද්‍රණය කෙරෙන සියලු පොත් කියවා බලා අනුමැතිය දෙන්නට අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ඇයට නොහැකිය. ඇය සෘජුව පූර්ණ වගකීම බාර ගත යුතු වන්නේ ඇගේ පරිපාලනමය දුබලතාවෙන් ආයතනයේ විනය කඩා වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ සිදුවී ඇත්නම් පමණි.
මෙම පොත මුද්‍රණය කරන්නට පෙර මෙම වරද සොයා ගත නොහැකි වූයේ මන්දැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රශ්න කර ඇත. ඇත්ත වශයෙන්ම ඔහු පෙන්වා දෙන්නේ කවුරුත් දන්නා සරල කාරණයකි. එහෙත් මෙම මොඩියුලය සම්බන්ධයෙන් ගුරුවරුන්ට පුහුණුවක් දෙනු ලැබ ඇතැයි කියවේ. ඒ අදියරයේ දී ගුරුවරුන්ට මෙම කාරණය හසු වී තිබිය යුතුය. ලංකා ගුරු සංගමයේ සමාජිකයන් ද එම පුහුණුවට යන්නට ඇත.
කෙසේ වෙතත් මෙම සැබඳියාව මෙම මොඩියුලයට ඇතුළත් කළේ කවුදැයි සොයා ගැනීම වැදගත්ය. ඔහු හෝ ඇය හෝ ඔවුන් මෙම සැබැඳියාව මගින් සිසුන් ඇතුළු වන්නේ කෙබඳු වෙබ් අඩවියකට දැයි නොදැන සිටියා යැයි කොහෙත්ම කිව නොහැකිය. එහෙයින් මෙම සැබැඳියාව මොඩියුලයට ඇතුළු කළවුන්ගේ අරමුණ දැන ගැනීම ද වැදගත්ය.
දැන් විපක්ෂය මෙම කරුණ මත අධ්‍යාපන ඇමැතිනිය වන අගමැතිනියට එරෙහිව පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට සැරසෙයි. තාක්ෂණිකව සිදුවිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින ජා.ජ.බ. මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මෙම යෝජනාව පරාජය වීමය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා තමාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පරාජය වූ විට පැවසුවාක් මෙන් මෙම යෝජනාව අගැමතිනියට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් බවට පත්වනු ඇත.
විපක්ෂය එය නොදන්නවා නොවේ. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ මෙම ප්‍රශ්නය මුල් කරගෙන ආණ්ඩුව ‘‘පතුරු ගැසීම’’ හා එමගින් රට තුළ ආණ්ඩු විරෝධී මතයක් ඇත්නම් එය ශක්තිමත් කිරීමය. මෙය ප්‍රශ්නයට විසඳුමක් නොව ප්‍රශ්නයෙන් දේශපාලන වාසි ගන්නට උත්සාහ කිරීමකි. එහෙත් මෙය ඕනෑම විපක්ෂයක් කරන දෙයකි.
මෙම ප්‍රශ්නය නිසා අගැමතිනිය ඉල්ලා අස්විය යුතු යැයි ද ඇතැම්හු කියති. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ හරිනි අමරසූරිය මෙනවිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමද නැත්නම් අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත්ව වරදක් කළද විශේෂයෙන්ම දේශපාලනඥයන් ඉල්ලා අස්වීම අපේක්ෂා කළ නොහැකිය. මීට පෙර ඉල්ලා අස්වී ඇත්තේ ඉතා සුළු පිරිසකි. එයද ප්‍රබල බලපෑමක් එල්ල වූ විට පමණි. ඊනියා යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ විජයදාස රාජපක්ෂ හා රවි කරුණානායක යන ඇමැතිවරුන් ඉල්ලා අස් වූයේ ආණ්ඩුව තුළින්ම එල්ල වූ බලපෑම් නිසාය. අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස් වූයේ ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මතය.
අනෙක් අතට, අමාත්‍යාංශයක් යටතේ ඇති ආයතනවල වරදක් සිදුවන වාරයක් පාසා ඇමැතිවරුන් ඉල්ලා අස්වන්නට ගියහොත් මාස්පතා කැබිනට් මණ්ඩලය සංශෝධන කරන්නට සිදුවිය හැකිය. එසේම විරුද්ධ පක්ෂ කියන කියන වාරයක් පාසා ඇමැතිවරුන් ඉල්ලා අස්වන්නට ගියහොත්ද සිදුවන්නේ එයමය. එහෙත් ඒ නිසා අමාත්‍යාංශ යටතේ කෙරෙන කිසිදු බරපතළ කාරණයක් හමුවේ ඇමැතිවරුන් වගකීම බාරගෙන ඉල්ලා අස් නොවී සිටිය යුතු යැයි ද කිව නොහැකිය. විශේෂයෙන්ම වළක්වා ගත හැකිව තිබූ පෞද්ගලිකව තමන්ගේ මැදිහත්වීමක් ඇති එමෙන්ම සමාජයට විශාල බලපෑමක් කරන බරපතළ වරදක් දැනුවත්ව වළක්වා ගන්නට කටයුතු නොකළ ඇමැතිවරයකු හෝ ආයතන ප්‍රධානියකු ඉල්ලා අස්විය යුතු යැයි සමාජය බලකිරීම සාධාරණය, නිවැරැදිය.
කෙසේ වෙතත් මෙම මොඩියුල ප්‍රශ්නය නිසා අගමැතිනිය, අධ්‍යාපන ඇමැති ධුරයෙන් හෝ අගමැති ධුරයෙන් හෝ ඉල්ලා අස්විය යුතුයැයි කියන්නට වත්මන් විපක්ෂයේ නායකයන්ට සදාචාරමය අයිතියක් තිබේද යන ගැටලුව මතුවේ.
1993 නොවැම්බර් මාසයේ දී හමුදාවේ 700කට ආසන්න පිරිසකගේ ජීවිත හා කාලතුවක්කු, යුද ටැංකි ගණනාවක් හමුදාවට අහිමි කරමින් කොටි සංවිධානය පූනරීන් හමුදා කඳවුරු සංකීර්ණය අල්ලා ගත්තේය. 1996 ජූලි 18 වැනිදා මුලතිව් හමුදා කඳවුරට එල්ලවූ කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් එහි සිටි 1500කට ආසන්න හමුදා භට පිරිසෙන් දිවි බේරා ගත්තේ 250ක් පමණ පිරිසකි. 2000 අප්‍රේල් මාසයේ දී අලිමංකඩ හමුදා කඳවුරු සංකීර්ණයට කොටි සංවිධානයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් දස දහසකට වැඩි භට පිරිසක් හමුදාවට අහිමි වූහ. මේ එක් අවස්ථාවක දී හෝ ත්‍රිවිධ හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ ජනාධිපති හෝ හමුදාපති ඉල්ලා අස් වූයේ නැත.
2015 මහ බැංකු බැඳුම්කර මගඩියේදී මහ බැංකුව භාරව සිටි ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතුයැයි කවුරුන් හෝ කියා සිටි බවක් අපට මතක නැත. ඒ දිනවල වත්මන් සජබ නායකයන් සිටියේ පාලක එක්සත් ජාතික පක්ෂයේය. 2019 පාස්කු ඉරිදා දින ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ජනාධිපතිවරයා හෝ පොලීසිය බාර ඇමැතිවරයා ඉල්ලා අස්වූයේ නැත. එකලද සජබ නායකයන් සිටියේ පාලක එජාපයේය. 2022 දී රට බංකොලොත් වූ විට හෝ බාල පොහොර ආනයනය කරනු ලැබූ විට හෝ බාල ඖෂධ ප්‍රශ්නය හෙළිදරව් වූ විට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවකු ඉල්ලා අස්වූයේ නැත.
මේ සියල්ල සිදුවූයේ ඒවා සිදු වූ කාලවල සිටි ජනාධිපතිවරුන් හා අදාළ ඇමැතිවරුන් ඒවා පිළිබඳව අවධානයෙන් සිටියදීය. ඇතැම් ඒවා ඔවුන්ගේ අනුදැනුම ඇතිව සිදුවූ ඒවාය. එසේම ඒ සියල්ල වත්මන් මොඩියුල ප්‍රශ්නයට වඩා බරපතළය.
සම ලිංගිකකත්වය ප්‍රවර්ධනය කරන හෝ ඊට එරෙහි නීති අවලංගු කළ යුතු යැයි කියන පිරිස් මෙරට සෑම පක්ෂවලම සිටිති. එජාප ජනාධිපතිවරයකු යටතේ ඔහුට සහාය දුන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වරක් ඒ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කළේය. එසේ වුවද ජාජබ සමලිංගිකත්වයට බර පක්ෂයකැයි මතයක් සමාජ ගත කරන්නට එජාප, සජබ හා පොදුජන පෙරමුණේ පිරිස් සමත් වී තිබේ. එම මතයද මෙම මොඩියුල ප්‍රශ්නය ඉදිරියට ගෙන යාමට විරුද්ධ පක්ෂවලට උපකාරී වී ඇති බවක් පෙනේ.
ආණ්ඩුව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගුරුවරුන් ඇතුළු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා නොකළ බවට නැගෙන චෝදනාවට ආණ්ඩුව මෙතෙක් ප්‍රමාණවත් හා සාධාරණ පිළිතුරක් දී නැත. එය දැන් හෝ කළ යුත්තකි. එසේම මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව අතර සිටින ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට ද අවබෝධයක් ඇති බවක් නොපෙනේ. එම දැනුවත් භාවය ඇති නොකිරීම ද ආණ්ඩුවේ වරදකි. එහෙත් විරුද්ධ පක්ෂ ජනතාවගේ එම නොදැනුවත් භාවයෙන් ප්‍රයෝජන ගැනීම ගැන දොස් නැඟීමට ආණ්ඩුවට නොහැකිය.
(***එම්.එස්.එම්. අයුබ්)
COMMENTS