ගෝලීය බලශක්ති කම්පනය, හුණ්ඩුවක් බඳු පද්ධතියේ සීමිත ධාරිතාව (limited system capacity) සහ මූල්‍ය සීමා හේතුවෙන් 2026 මාර්තු අග වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ව්‍යුහාත්මක අර්බුදයකට මුහුණ දී සිටී. මෙය හුදු විදුලි බුබුළක් නිවා දැමීමක් පිළිබඳ කතාවක් නොව, විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම, ආර්ථිකය ස්ථාවර කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳ ජාතික අභියෝගයකි.
සෑම දිනකම පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා අධි ඉල්ලුම් කාලය තුළ ජාතික විදුලි පද්ධතිය දැඩි පීඩනයකට ලක්වේ. රාත්‍රී 7.00 ට ඉල්ලුම මෙගාවොට් 2,700 සිට 3,200 දක්වා ඉහළ යන්නේ මිලියන සංඛ්‍යාත නිවෙස් එකම වේලාවක ක්‍රියාත්මක වීමෙනි. විදුලි බුබුළු, ආහාර පිසීම, වායුසමීකරණ සහ විදුලි වාහන (EV) ආරෝපණය මෙම සාමූහික ඉල්ලුම් පිම්මට ප්‍රධාන සාධක වේ.
පෞද්ගලික මට්ටමින් බැලූ විට මෙම ක්‍රියා හානිකර නොවන ලෙස පෙනෙන නමුත්, සාමූහිකව සිදු වූ විට ඒවා සමස්ත විදුලි පද්ධතියම අස්ථාවර කරන දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය කරයි. එබැවින්, මෙය හුදෙක් බලශක්ති පිරිවැය ඉහළ යාම පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. මෙය හුණ්ඩුවක් බඳු පද්ධතියක සීමිත ධාරිතාව සමග ගැටෙන ව්‍යුහාත්මක ගැටලුවකි.
රාජ්‍ය මූල්‍ය බර සහ සහනාධාර යථාර්ථය
පීක් ඉල්ලුමේ වැදගත්කම වටහා ගැනීමට ගෝලීය තෙල් වෙළෙඳපොළේ හැසිරීම විමසිය යුතුය. 2026 මාර්තු 22 රජයේ දත්ත අනුව, පෙබරවාරි 28 සිට මාර්තු 20 දක්වා ඩීසල් බැලරයක මිල ඩොලර් 92.26 සිට 222 (141%ක වැඩිවීමක් දක්වා ද, පෙට්‍රල් මිල ඩොලර් 79 සිට 150 89%ක වැඩිවීමක් දක්වා ද ඉහළ ගියේය. මීට අමතරව හෝමුස් සමුද්‍ර සන්ධියේ භූ දේශපාලනික අවදානම් හමුවේ ‘ප්‍රිමියම්‘ ගාස්තුව ඩොලර් 3-4 සිට 50 (සියයට 1000 ක පිම්මක් දක්වා වැඩි වී තිබේ.
මෙම ගෝලීය මිල කම්පනය රජය සම්පූර්ණයෙන්ම දරා ගැනීමට තීරණය කළේ නම්, වසරකට රුපියල් බිලියන 480 ක (ඩොලර් බිලියන 1.5 ක) අතිරේක මූල්‍ය බරක් රාජ්‍ය භාණ්ඩාගාරය මත පැටවෙනු ඇත. රජයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල දත්ත අනුව වත්මන් තත්වය මෙසේය:
ඩීසල් සහ පෙට්‍රල් සහනාධාරය: ඩීසල් ලීටරයක සැබෑ ආනයනික පිරිවැය රුපියල් 586 ක් වුවද, පාරිභෝගිකයාට එය ලබා දෙන්නේ රුපියල් 382 කටය. පෙට්‍රල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 430 ක් වුවද, රජය එය ලබා දෙන්නේ රුපියල් 398 කටය. ඩීසල් ලීටරයකින් රුපියල් 204 ක සමස්ත මෙහෙයුම් අලාභයෙන්, රුපියල් 100 ක මුදලක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 32 ක සමස්ත මෙහෙයුම් අලාභයෙන්, රුපියල් 20 ක මුදලක් රජය සෘජු භාණ්ඩාගාර සහනාධාරයක් ලෙස පූර්ණව දරයි. ඉතිරි පිරිවැය පරතරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභයක් ලෙස කළමනාකරණය කරයි.
මේ වෙනුවෙන් රජය මසකට රුපියල් බිලියන 20 කට ආසන්න මුදලක් (වසරකට රුපියල් බිලියන 240) වැය කරයි. මෙම අමතර රුපියල් බිලියන 480 ක පිරිවැය කළමනාකරණය නොකිරීම යනු, සෞඛ්‍ය සහ අධ්‍යාපන වැනි අත්‍යවශ්‍ය මහජන සේවා සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන මත දැඩි පීඩනයක් ඇති කිරීම පමණක් නොව, විදේශ විනිමය සංචිත වේගයෙන් හිස්වීම, රුපියලට පීඩනය වැඩි වීම සහ ඒ හරහා සමස්ත සාර්ව ආර්ථික ස්ථායීතාව අවදානමට ලක්වීම ද වේ. ආර්ථික අර්බුදයකින් මිදෙමින් සිටින මොහොතක මෙවැනි බරක් තවදුරටත් දරා සිටීම පද්ධතියට ඔරොත්තු නොදෙන්නකි.
දේශපාලන ප්‍රවාද සහ තාක්ෂණික යථාර්ථය
පිරිවැය කළමනාකරණය බාල ගල් අඟුරු ආනයනයෙන් වූ පාඩුව පියවා ගැනීමට රජය කරන උපක්‍රමයක් බවට ඇතැම්හු තර්ක කරති. එහෙත්, තාක්ෂණික යථාර්ථය අපට පෙන්වන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයකි. ලක්විජය ගල් අඟුරු බලාගාරය අපේ විදුලි පද්ධතියේ මූලික (base-load) සැපයුමේ සැලකිය යුතු කොටසක් (සාමාන්‍යයෙන් සියයට 25 - 30 පමණ) අඩු පිරිවැයකින් සපයයි. එහෙත්, රාත්‍රී අධි ඉල්ලුම් කාලයේ (peak time) සැබෑ තත්වය වෙනස්ය. 2026 මාර්තු මාසයේ අධිඉල්ලුම් මොහොතක (උදාහරණයක් ලෙස සවස 7:00ට), මුළු විදුලි ඉල්ලුමෙන් සියයට 33 ක් පමණ (1000 MW කට අධික ප්‍රමාණයක්) සපයනු ලැබුවේ ඩීසල් සහ ඉන්ධන තෙල් මත පදනම් වූ තාප බලාගාරවලිනි. එය දිනපතා සාමාන්‍යයට වඩා ඉහළ අගයක් වන අතර, අධි ඉල්ලුම් කාලයේ අමතර ඉල්ලුම පියවීමට පද්ධතිය අධික පිරිවැය සහිත ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින බව පැහැදිලි කරයි.
ගල් අඟුරු මගින් විදුලි ඒකකයක් රුපියල් 20-40 අතර පිරිවැයකින් නිපදවිය හැකි අතර, ඩීසල් සහ ඉන්ධන තෙල් මගින් එම ඒකකය රුපියල් 70-100 හෝ ඊට වැඩි පිරිවැයකින් නිපදවීමට සිදුවේ. එබැවින්, අධි ඉල්ලුම් කාලයේ ඉල්ලුම අඩු කිරීමෙන් පද්ධතියෙන් ඉවත් වන්නේ අඩු පිරිවැය විදුලිය නොව, ඉහළම පිරිවැය සහිත ඩීසල් විදුලියයි. ඒ අනුව, මෙම කළමනාකරණය ගල් අඟුරු සම්බන්ධ ගැටලු වසා ගැනීමක් නොව, අතිශය මිල අධික ඩීසල් භාවිතය අවම කරමින් ඩොලර් දහනය සෘජුව පාලනය කරන ආර්ථිකමය මැදිහත්වීමකි. වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් පහත වැටීම නිසා අඩු පිරිවැය සහිත ජල විදුලි උත්පාදනය සීමා වී ඇති අතර, එය (i) අධික ඉල්ලුම, (ii) අඩු ජල විදුලි සැපයුම, සහ (iii) අධික ඉන්ධන පිරිවැය යන සාධක තුන එකට එකතු වූ පරිපූර්ණ කුණාටුවකට වත්මන් බලශක්ති පද්ධතිය මුහුණ දී සිටී.
රජය බාල ගල් අඟුරු ගෙනාවාද?
රජය බාල ගල් අඟුරු ගෙනා බව පැවසීම පදනම් විරහිතය. විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියකට සහභාගී වූ සමාගම් 26 ක් අතුරින් සුදුසුකම් ලැබූ සමාගම් 10ක් හරහා මෙම සැපයුම සිදුවිය. “බාල ගල් අඟුරු” මතවාදය ඇති වූයේ නැව්ගත කිරීමේ සහ ගොඩබෑමේ දත්ත අතර තාක්ෂණික නොගැලපීමක් නිසාය. අතීතයේදී මෙවැනි පාඩු පාරිභෝගික බිලට රහසින්ම එකතු වුවද, වත්මන් රජය එම පිරිවැය ජනතාව මත පටවනු වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් දඩ මුදල් ලෙස අය කරගෙන ඇත. මෙය රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කරන සුවිශේෂ පියවරකි.
ආර්ථික දේශප්‍රේමය
රාත්‍රී අධි ඉල්ලුම පියවීමට පද්ධතිය අධික පිරිවැය සහිත ඩීසල් සහ ඉන්ධන තෙල් මත රඳා පවතී. එබැවින් අධි ඉල්ලුම් කාලයේ ඉල්ලුම අඩු කිරීමෙන් ඉතිරි වන්නේ සාමාන්‍ය පිරිවැය නොව, පද්ධතියේ ඉහළම ආන්තික ඉන්ධන පිරිවැයයි.
අපේ ගණනය කිරීම්වලට අනුව, ඩීසල් බැලරයක මිල ඩොලර් 222ක් සහ සාමාන්‍ය තාප බලාගාර කාර්යක්ෂමතාව සැලකිල්ලට ගත් විට, අධි ඉල්ලුම් කාලයේ ඩීසල් මත පදනම් වූ විදුලි ඒකකයක ආන්තික ඉන්ධන පිරිවැය ලෙස රුපියල් 130-140 අතර පවතින බව ඇස්තමේන්තු කළ හැකිය. 2026 මාර්තු මාසයේ නිරීක්ෂිත අධි ඉල්ලුම් මොහොතක විදුලි සැපයුම් මිශ්‍රණය අනුව, රාත්‍රී අධි ඉල්ලුම් කාලයේ මුළු ඉල්ලුමෙන් සියයට 33 ක් තෙල් මත පදනම් වූ තාප උත්පාදනයෙන් සපයයි. ඒ අනුව, එම තෙල් කොටස සඳහා පමණක් මසකට රුපියල් බිලියන 16 සිට 18 අතර ඉන්ධන බරක් ඇති විය හැකි බව ඇස්තමේන්තු කළ හැකිය.
මෙම පසුබිම තුළ, සරලම සහ බලවත්ම විසඳුම පවතින්නේ අප සෑම දෙනාගේම අතේය. පාරිභෝගිකයන් මිලියන 7ක් එක්ව වොට් 8 ක එක් බල්බයක් බැගින් අධි ඉල්ලුම් කාලයේ නිවා දැමුවහොත්, පද්ධතියේ අධි ඉල්ලුම සියයට 1.5 - 2 අතර ප්‍රමාණයකින් අඩු කළ හැකිය.
මෙම ඉල්ලුම අඩු කිරීම හරහා වැළැක්වෙන්නේ අධික පිරිවැය සහිත ඩීසල් සහ ඉන්ධන තෙල් මත පදනම් වූ විදුලි නිෂ්පාදනය වන අතර, එම පදනම මත මසකට රුපියල් මිලියන 700-760 (ඩොලර් මිලියන 2.2-2.4) අතර ජාතික ඉතිරියක් ලබාගත හැකි බව ගණනය කළ හැකිය. මෙය හුදු විදුලි බිල අඩු කිරීමක් නොවේ. මෙය ඩොලර් දහනය සෘජුව අඩු කිරීමකි. තවද, විදුලි වාහන ආරෝපණය, වායුසමීකරණ සහ අනෙකුත් අධික භාරයක් සහිත විදුලි උපකරණ අධි ඉල්ලුම් කාලයෙන් බැහැර කිරීමට අපට හැකි වන්නේ නම්, මෙම බලපෑම තවදුරටත් විශාල කරමින් රටේ විදේශ විනිමය පීඩනය සෘජුව ලිහිල් කළ හැකිය.
ආහාර සුරක්ෂිතතාව
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යුහාත්මක දුර්වලතාවක් වන්නේ අත්‍යවශ්‍ය ආහාර සහ කෘෂිකාර්මික යෙදවුම් සඳහා අප තවමත් දැඩි ලෙස ආනයන මත රඳා පැවතීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලෝක වෙළෙඳපොළ තුළ ඇතිවන ඕනෑම බලශක්ති හෝ සැපයුම් කම්පනයක් ඉතා කෙටි කාලයක් තුළ දේශීය ආහාර අර්බුදයක් බවට පරිවර්තනය වීම නොවැළැක්විය හැකි යථාර්ථයක් බවට පත්වේ. ඒ සමගම, ආහාර සුරක්ෂිතතාව යනු හුදෙක් වෙළෙඳපොළේ ආහාර තිබේද යන කාරණය පමණක් නොවේ. එහිදී ප්‍රධාන වශයෙන් කරුණු තුනක් බලපායි:
• ආහාර පාරිභෝගිකයාට දැරිය හැකි මිලක පවතීද?
• එය රට පුරා කාර්යක්ෂමව බෙදාහැරීමට හැකිද?
• එම ආහාර මිලදී ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නිවෙස් සතුව පවතීද?
වෙළඳපොළේ ආහාර ප්‍රමාණවත් ලෙස පැවතුණද, මිල ඉහළ යාම හේතුවෙන් අවදානමට ලක්විය හැකි පීඩිත ජනතාව පෝෂණීය අනාරක්ෂිතතාවකට (nutritional insecurity) ඇද වැටිය හැකිය. එබැවින්, ආහාර සුරක්ෂිතතාව යනු මූලික වශයෙන්ම ආර්ථික ප්‍රවේශය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ගැටලුවකි.
අර්බුදයට විසඳුම නිවෙසින්
අවසාන වශයෙන්, ජාතික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගිය හැක්කේ හුදෙක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කාමර තුළ පමණක් නොවේ. එය සැබවින්ම ගොඩනැගෙන්නේ අපගේ නිවෙස් තුළිනි.
රාත්‍රී අධි ඉල්ලුම් කාලයේදී එක් විදුලි බුබුළක් හෝ නිවා දැමීම
අධික විදුලි පාරිභෝජනයක් සහිත ක්‍රියා (නිදසුන් ලෙස වතුර රත් කිරීම, රෙදි සේදීම හෝ මැදීම, ශීතකරණය නිතර විවෘත කිරීම, විදුලි වාහන (EV) ආරෝපණය වැනි කටයුතු) අධි ඉල්ලුම් කාලයට පෙර හෝ පසුව සිදු කිරීම
ආහාර පරිභෝජනය වඩාත් සැලසුම් සහගතව සිදු කිරීම
ආහාර සහ බලශක්ති නාස්තිය අවම කිරීම
මෙම ක්‍රියාව තනි තනිව ගත් කල ඉතා කුඩා ලෙස පෙනෙනවා විය හැකිය. එහෙත් මිලියන සංඛ්‍යාත ජනතාවක් එකවර ක්‍රියා කරන විට, ඒවා රටක් හසුරුවන ප්‍රබල ආර්ථික බලවේග බවට පත්වේ. මෙම පෙළගැස්ම අපගේ උපන් සහ නූපන් දරුවන්ට යහපත් රටක් ගොඩනැගීමට වන බැවින් එහි වටිනාකම මිල කළ නොහැකිය. එක් ස්විචයක් හෝ නිවා දැමීම යනු මව්බිමේ ආර්ථික නිදහස උදෙසා අප සැමට කළ හැකි සැබෑ ආර්ථික දේශප්‍රේමයයි.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd