ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව දැඩි වන මොහොතක, මහජන අවධානය යොමු වන්නේ ‘‘තෙල් මිලට කුමක් සිදුවේද?”‍ යන්නටය. එහෙත් සැබෑ ප්‍රශ්නය ඊට වඩා ගැඹුරුය. එනම්, ‘‘ජාතියක් ලෙස අප මෙම බලශක්ති අර්බුදයට මුහුණ දීමට සූදානම් ද?” යන්නය.

අර්බුද ආරම්භ වන්නේ පෝලිම් නිර්මාණය වූ විට නොවේ. එවිට අර්බුදය දෘශ්‍යමාන වී හමාරය. අර්බුද ගොඩ නැගෙන්නේ ඊට බොහෝ කලකට පෙර, අප සාමාන්‍ය කාලවලදී ගන්නා තීරණ සහ සූදානම් වන ආකාරය තුළය. අනතුර ගොඩ නැගෙන්නේ දශක ගණනාවක පාලන පද්ධතියේ පැවැති නොසලකා හැරීම් සහ කෙටිකාලීන චින්තනය හරහාය. මෑතක දී ජනාධිපතිවරයා භාවිත කළ ‘‘හුණ්ඩුව”‍ යන සංකල්පය මෙහිදී ද අදාළ වන්නේ අප ගොඩ නැගීමට අපොහොසත් වූ ‘‘පද්ධතිමය ධාරිතාවේ”‍ සංකේතයක් ලෙසය. මන්ද, ඔරොත්තු දීමේ හැකියාව යනු අර්බුදය මැද අටවාගත හැකි දෙයක් නොව, කල්තියා සැලසුම් කළ යුත්තකි. 2025 වසරේ ‘දිට්වා’ සුළි කුණාටු කම්පනය (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් වූ විනාශය) හමුවේ වුව ද ආර්ථිකය නොබිඳී පැවැතියේ, එම අනතුර පැමිණීමට පෙර සිටම රජය ගොඩ නගා තිබූ දැඩි රාජ්‍ය මූල්‍ය විනය නිසාය.

 

වර්තමාන අර්බුදය 2022 අර්බුදයට සමානද?

2022 අර්බුදය යනු දශක ගණනාවක වැරැදි ආර්ථික කළමනාකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට අභ්‍යන්තරයෙන්ම නිර්මාණය වූවකි. එහෙත් වර්තමාන තත්වය හාත්පසින්ම වෙනස්ය. අද වන විට එම මූලික දුර්වලතා නිවැරැදි කරමින්, අර්බුදය පැමිණීමට පෙර සිටම රජය ගොඩනගා තිබූ ඩොලර් බිලියන 6.8 ක නිල සංචිත සහ සියයට 5.6 ක (රු. බිලියන 1,782) ඓතිහාසික ප්‍රාථමික ආදායම් අතිරික්තය හරහා ශක්තිමත් සාර්ව ආර්ථික පදනමක් සකස් කර ඇත. එබැවින් අද අප මුහුණ දෙන්නේ මූල්‍ය හිඟයකට නොව, ගෝලීය දේශපාලනික ගැටුම් නිසා සැපයුම අඩාළ වීමේ බාහිර කම්පනයකටය. මෙවර අර්බුදය කළමනාකරණය කිරීම රජයේ ක්‍රියාමාර්ග මත පමණක් තීරණය කළ නොහැකිය. ඒ සඳහා සමස්ත සමාජය පුරා විහිදුණු අවබෝධයක්, විනයක් සහ වගකීමක් අවශ්‍ය වේ. මන්ද, කම්පනය බාහිර වුව ද, ඊට ඔරොත්තු දීමේ හැකියාව අප තුළින්ම මතු විය යුතු බැවිනි. එබැවින්, තෙල් මිල ඉහළ යාම පමණක් නොව එම කම්පනය ආර්ථිකයට සම්ප්‍රේෂණය වන ආකාරය ද වැදගත් වේ.

 

ශ්‍රී ලංකාවේ සැබෑ අවදානම

ඉන්ධන බිල අඛණ්ඩව ඉහළ යාමෙන් එකවර පීඩන කීපයක් ඇති කළ හැකිය.

වෙළෙඳ හිඟය පුළුල් වීම:

ඉන්ධන ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක, ලෝක වෙළෙඳපොළ මිල ඉහළ යන විට ආනයන වියදම ඉහළ යයි. අපනයන ආදායම අඩු විය හකි බැවින් (විශේෂයෙන්ම, බලශක්ති අර්බුදයක් හමුවේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වන නිසා), වෙළෙඳ හිඟය ඉබේම පුළුල් වේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බැරලයකට ඩොලර් 1කින් ඉහළ යන සෑම අවස්ථාවකදීම රටේ මූල්‍ය පද්ධතියට රුපියල් කෝටි 1,550 ක (ඩොලර් මිලියන 50 ක් පමණ) අමතර බරක් වාර්ෂික ආනයන වියදමට එකතු වේ. 2026 පෙබරවාරි වනවිට බැරලයකට ඩොලර් 75 ක් ​ලෙස පැවැති තෙල් මිල මාර්තු මැදවන විට 110දක්වා ඩොලර් 35 කින් ඉහළ ගොස් ඇත. මෙය ඩොලර් 150 දක්වා දෙගුණ වුවහොත් වාර්ෂික ඉන්ධන බිල ඩොලර් බිලියන 8 ක් දක්වා ඉහළ යා හැකිය (2025 වසරේ මුළු ඉන්ධන බිල ඩොලර් බිලියන 4 ක් පමණ විය). තෙල් මිල ඩොලර් 150 ඉක්මවීම යනු හුදෙක් තාවකාලික මිල ඉහළ යාමක් නොව, යටිතල පහසුකම් බිඳවැටීම හමුවේ උපායමාර්ගික සංචිතවලින් පවා ක්ෂණිකව පියවිය නොහැකි දීර්ඝකාලීන සැපයුම් අර්බුදයක බරපතළ අනතුරු ඇඟවීමකි. පද්ධතිය යථා තත්වයට පත්වන තෙක් පවතින මෙම අවිනිශ්චිතතාව, මිල ගණන් දීර්ඝ කාලයක් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හේතු වන බැවින් එය බැරෑරුම් කම්පනයකි. එවැනි තත්වයක් තුළ, 2025 වසරේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තා කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක ජංගම ගිණුමේ අතිරික්තය ක්ෂණිකව දියකර හැරීමටත්, විදේශ සංචිත සහ විනිමය අනුපාතය මත දැඩි පීඩනයක් එල්ල කිරීමටත් එය සෘජුවම බලපානු ඇත.

 

විනිමය අනුපාතය සහ උද්ධමනය මත පීඩනය:

ඉන්ධන බිල ගෙවීමට වැඩි ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වන හෙයින් ඒ සදහා ඩොලර්වලට ඇතිවන ඉල්ලු‍ම වැඩිවන විට රුපියලේ අගය පහත වැටීමට ගනී.

ලෝක වෙළඳපලේ තෙල් මිල රුපියල් 1 කින් ඉහළ යන සෑම විටම, කිසිදු බදු මුදලක් හෝ ලාභයක් එකතු නොකර වුව ද අපේ රටේ තෙල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ නැංවීමට රජයට සිදු වේ. ඉන්ධන යනු සෑම නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර යකම මූලික පිරිවැය සාධකය බැවින්, එහි මිල ඉහළ යාම නිෂ්පාදන හා ප්‍රවාහන වියදම් ක්ෂණිකව ඉහළ නංවමින් ‘පිරිවැයෙන්-තල්ලු‍ වූඋද්ධමනය‘ හරහා සමස්ත වෙළෙඳපළ මිල ගණන් මත දැඩි පීඩනයක් එල්ල කරයි. මීට අමතරව, රුපියලේ අගය මෙසේ පිරිහීම නිසා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) වැනි විදේශ ණය වාරික ගෙවීම සඳහා රජයට වැය කිරීමට සිදුවන රුපියල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යයි.

 

සංචිත දියවී යාම:

විනිමය අනුපාතය තවදුරටත් කඩා වැටීම වැළැක්වීමට හෝ අත්‍යවශ්‍ය ඉන්ධන ඇණවුම් සඳහා ගෙවීමට මහ බැංකුව සතු විදේශ සංචිත භාවිත කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණවලින් සියයට 70-80ක් ලැබෙන්නේ මැදපෙරදිග කලාපයෙනි. තෙල් මිල ඉහළ නංවන එම භූ දේශපාලනික ගැටුමම, අපේ ප්‍රධාන විදේශ විනිමය ලැබෙන මාර්ගයක් අඩාළ කරයි. සැපයුම් ජාල බිඳවැටීම් සහ ශ්‍රම වෙළෙඳපොළ අස්ථාවර වීම නිසා ඉන්ධන බිල වැඩි වන අතරතුරම රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ද අඩු වේ. මෙම සාධක හුදකලාව ක්‍රියා කරන්නේ නැත. ඒවා එකිනෙක පෝෂණය කරමින් ආර්ථිකය අස්ථාවර කරයි. මිල කම්පනයක් සාර්ව ආර්ථික අර්බුදයක් බවට පත් කරන්නේ එසේය.

 

රජයේ වගකීම

බලශක්ති අර්බුදය හමුවේ රජය විසින් අත්‍යවශ්‍ය සැපයුම් සහ විදේශ සංචිත උපාය මාර්ගිකව ප්‍රමුඛීකරණය කළ යුතු අතර, පොදු සහනාධාර වෙනුවට අවදානමට ලක්විය හැකි පිරිස් සඳහා පමණක් ඉලක්කගත සහන ලබා දීමෙන් රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කළ යුතුය. බලශක්ති කළමනාකරණය යනු හුදු සේවාවක් නොව ජාතික ආරක්ෂාව සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තීරණය කරන ප්‍රධානතම සාධකය ලෙස සලකා, දේශීය බලශක්ති ප්‍රභවයන් සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම මෙම මොහොතේ ප්‍රමුඛතම වගකීමයි.

ශ්‍රී ලංකාව මෙම මොහොතේ උගත යුතු ප්‍රධානතම පාඩම වන්නේ බලශක්ති ප්‍රතිපත්තිය යනු සාර්ව ආර්ථික ප්‍රතිපත්තියම බවයි. එය හුදෙක් ඉංජිනේරු විද්‍යාවට, පරිසරයට හෝ උපයෝගිතා සේවාවලට පමණක් අදාළ දෙයක් නොවේ. රටේ ගෙවුම් ශේෂය, විදේශ සංචිත, උද්ධමනය සහ මූල්‍ය ස්ථාවරත්වය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ බලශක්ති සුරක්ෂිතතාවයි.

 

පුරවැසි වගකීම

අතීත ජාතක කතා සාහිත්‍යයේ එන සම්මෝදමාන ජාතකයෙන් අපට වටිනා පාඩමක් කියා දෙයි. එහි දැක්වෙන පරිදි, වැද්දෙකුගේ දැලට හසු වූ වටු කුරුල්ලන් රැලක් මුලින් බේරී ගියේ සියල්ලන්ම එකමුතුව එකවර දැල ඔසවාගෙන පියාඹා යාමෙනි. එහෙත් එම එකමුතුකම බිඳ වැටී ඔවුන් තනි තනිව ක්‍රියා කිරීමටත්, එකිනෙකා සමග කලහ කිරීමටත් පටන් ගත් මොහොතේ, වරක් ඔවුන්ට දරාගත හැකි වූ එම දැලම ඔවුන්ගේ අවසානය සනිටුහන් කළ මාරක උගුලක් බවට පත් විය.

මෙහි ඇති පාඩම සරල වුවද පණිවිඩය අතිශය කාලෝචිතය. සමාජයක පුද්ගලයන් තමන් ගැන පමණක් සිතා ආත්මාර්ථකාමීව ක්‍රියා කරන විට, ඉතා කුඩා බාධකයකින් පවා සමස්ත සමාජයක්ම පරාජය කළ හැකිය. එහෙත් ඔවුන් සාමූහිකව ක්‍රියා කරන්නේ නම්, ඕනෑම බරපතළ අර්බුදයක් දරාගැනීමේ ශක්තිය ඔවුන්ට ලැබේ. නූතන ආර්ථික විද්‍යාව තුළ ‘පොදු උරුමයේ ඛේදවාචකය’ (Tragedy of the Commons) ලෙස හඳුන්වන්නේ ද මෙවැනිම තත්වයකි. එනම්, පුද්ගලයන් තනි තනිව තම පටු අරමුණු ඉටු කර ගැනීමට යාමෙන් සමස්ත පද්ධතියම දුර්වල වී අවසානයේ සියල්ලන්ටම එහි විපාක විඳීමට සිදුවීමයි.

බලශක්ති අර්බුදයකදී සිදුවන්නේ ද මෙයයි. පුද්ගලයන් අවබෝධයකින් තොරව තම අවශ්‍යතා පමණක් සපුරා ගැනීමට උත්සාහ කළහොත්, භාණ්ඩ හිඟය තවත් දරුණු වී වෙළෙඳපොළ අස්ථාවර වේ. එහෙත් පුරවැසියන් විනයගරුකව සහ වගකීමෙන් ක්‍රියා කරන්නේ නම්, පද්ධතියට ඕනෑම කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව ලැබේ. මෙහිදී පුරවැසියන් යනු හුදෙක් බලා සිටින්නෝ නොවෙති. ඔවුහු ප්‍රතිඵල තීරණය කරන සක්‍රීය හවුල්කරුවෝය. ඒ සඳහා අපට ගත හැකි සරල පියවර කිහිපයක් මෙසේය:

අනවශ්‍ය ඉන්ධන භාවිතය උපරිමයෙන් අවම කිරීම.

හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම.

අරපිරිමැස්මෙන් බලශක්තිය පරිභෝජනය කිරීම.

බිය වී (Panic buying) ) අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස් කිරීමෙන් වැළකීම.

වගකීම් සහගතව තොරතුරු හුවමාරු කර ගැනීම.

අවසානයේදී, ජාතික ආර්ථිකය යනු අප සෑම දෙනාම තනි තනිව ගන්නා කුඩා තීරණවල සමස්ත එකතුවයි.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චන්දික ගුණසිංහ