2025 දෙසැම්බර් මස අවසානයේ නොරොච්චෝලයට පැමිණි විශාල ගල්අඟුරු නෞකාව හුදෙක් ඉන්ධන තොගයක් පමණක් නොව, රටම විමසන ප්‍රශ්නයක් ද රැගෙන ආවේය. එනම් රජය ‘බාල ගල් අඟුරු‘ ගෙන ආවේද? නැතහොත් මෙම අර්බුදය රජය විසින් පද්ධතිය නිවැරැදි කිරීමට ගත් පියවර නිසා ඇති වූවක් ද? යන්නයි.
පසුගිය වසර 15 පුරාම ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආනයනය බොහෝ විට ටෙන්ඩර් මතභේද, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු සහ විගණන නිරීක්ෂණ හමුවේ මතභේදයට ලක් වූවකි.
මෙහිදී ටෙන්ඩර් ”පද්ධතිය” යනු හුදෙක් මිලදී ගැනීමේ පටිපාටියක් පමණක් නොව, දේශපාලන අභිමතයෙන් සහ විනිවිදභාවයෙන් තොර ‘හදිසි මිලදී ගැනීම්වලින්‘ නිදහස්ව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන පාලන රාමුවකි. සාමාන්‍යයෙන් අප පුරුදුව සිටි සංස්කෘතිය වූයේ ගල් අඟුරුවල පවතින ‘බාල‘ බව පද්ධතිය තුළම රඳවා ගනිමින්, එම පාඩුව විදුලි බිල හරහා පාරිභෝගිකයා මත පැටවීමයි. එහෙත් මෙවර රජය එම සම්ප්‍රදාය බිඳ දමමින්, පද්ධතියේ පවතින දෝෂ හඳුනාගෙන ඒවාට එරෙහිව මූල්‍යමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
මෙවර ක්‍රියාවලියේ සුවිශේෂ ලක්ෂණ
විවෘත තරගකාරිත්වය, මෙවර මෙම නැව් තොගය මෙරටට ළඟා වූයේ විධිමත් ලෙස ව්‍යුහගත කරන ලද, සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක වූ LCC/25/TT/1 දරන දිගුකාලීන තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් යටතේය. සැපයුම්කරුවන් 26 දෙනකු මූලික සුදුසුකම් සපුරා තිබූ අතර මුද්‍රා තැබූ තරගකාරී ලංසු 10ක් ඉදිරිපත් විය. ටෙන්ඩරය ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන ලද අතර ස්ථාපිත නිර්ණායකවලට අනුව ඇගැයීමට ලක් කෙරිණි. කිසිදු අසාර්ථක ලංසුකරුවකු මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් නොකිරීම, මෙම ක්‍රියාවලිය සහභාගිවන්නන්ට ක්‍රියා පටිපාටිමය වශයෙන් පිළිගත හැකි මට්ටමක පැවැති බවට ලැබුණු සංඥාවකි.
නීතිමය ස්ථාවරත්වය: ආරම්භක ප්‍රමාදය පැවැතිය ද, රජය නැවතත් ”හදිසි මිලදී ගැනීම්” වෙත යොමු නොවී ආයතනික විනය ආරක්ෂා කළේය.
දෙවරක් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය: ‘පැටවුම් වරායේ‘ වාර්තා අවශ්‍යතා සපුරා ඇති බව සැපයුම්කරු තහවුරු කර තිබුණ ද, ලංකාවට පැමිණි පසු ගොඩබෑමේ වරායේ දී ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් සිදු කෙරුණු පරීක්ෂාවෙන් සැබෑ ගුණාත්මක පරතරය හඳුනා ගැනීමට හැකි විය.
දඩ මුදල් අයකර ගැනීම, ගල්අඟුරුවල අඩංගු ශක්ති ප්‍රමාණය (kcal/kg) නියමිත මට්ටමට වඩා අඩු වීම නිසා සැපයුම්කරුට එරෙහිව රුපියල් බිලියනයකට වඩා වැඩි දඩ මුදල් ප්‍රමාණයක් අයකර ගැනීමට පද්ධතිය සමත් විය.
මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ, මතු වී ඇති ”බාල ගල්අඟුරු” අර්බුදය යනු පද්ධතියේ බිඳ වැටීමක් නොව, කලක් පද්ධතියට උරා ගත් පාඩු දැන් මූල්‍ය අයකර ගැනීම් බවට පත්කරමින් පද්ධතිය නිවැරැදිව ක්‍රියාත්මක වන බවට වූ සාක්ෂියකි.
ජාතික විදුලි පද්ධතියේ කොඳු නාරටිය වන ලක්විජය බලාගාරය, වර්ෂාපතනය සහ ජල විදුලි උත්පාදනයේ පවතින හැකියාව මත පදනම්ව මෙරට විදුලි ඉල්ලුමෙන් සියයට 30 සිට සියයට 45 දක්වා ප්‍රමාණයක් සපයයි. එබැවින් ගල්අඟුරු ප්‍රසම්පාදනය යනු හුදෙක් සාමාන්‍ය ආනයනික ගනුදෙනුවක් නොවේ. එය පද්ධතියේ ස්ථායීතාවට, විදුලි ගාස්තුවලට, විදේශ විනිමය සංචිතවලට, කාර්මික තරගකාරීත්වයට සහ උද්ධමන අවදානමට සෘජුවම බලපායි. බලශක්ති සුරක්ෂිතතාව යනු ආර්ථික සුරක්ෂිතතාවේ පදනමයි. මූල්‍ය අර්බුදයකින් ගොඩ එමින් පවතින රටක, ආර්ථික සුරක්ෂිතතාව යනු ජාතික ස්ථාවරත්වයෙන් වෙන් කළ නොහැකි කොටසකි.
අතීත පසුබිම
දැනට සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණවල වැදගත්කම තේරුම් ගැනීමට නම්, අතීතයේ වැරැදුණු තැන් පිළිබඳව අප පළමුව අවංකව විමසා බැලිය යුතුය. ගල්අඟුරු ප්‍රසම්පාදනය හදිසියේ මතභේදාත්මක වූවක් නොවේ. ඒ පිළිබඳ ගැටලු කාලයත් සමග එකතු වූ ඒවාය.
2015 වසරේ ගල්අඟුරු ටෙන්ඩරයකට අදාළව (SC FR 394/2015) 2016 වසරේ දී ලබා දුන් සන්ධිස්ථානීය තීන්දුවක දී ගරු අධිකරණය නිරීක්ෂණය කළේ, එම ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ ඇතැම් අංග ”අධිකරණයේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන” මට්ටමක පවතින බවයි. මෙය හුදෙක් සාමාන්‍ය ප්‍රකාශයක් නොවීය. ප්‍රධාන පෙළේ රජයේ කොන්ත්‍රාත්තුවක දී ස්ථාපිත ඇගයීම් ක්‍රියාපටිපාටිවලින් බැහැර වීම පිළිබඳව අධිකරණය දැක් වූ බරපතළ කනස්සල්ල එයින් සංකේතවත් විය. එම තීන්දුව මගින් මූලික මූලධර්මයක් අවධාරණය කෙරිණි. එනම්, රජයේ ප්‍රසම්පාදන කටයුතු පෞද්ගලික අභිමතය මත නොව, නීතිරීති මත පදනම් විය යුතු බවයි.
2022-2023 අර්බුද සමයේ දීද දින 35ක කෙටි කාලයකින් සිදු කළ මිලදී ගැනීම් විගණන පරීක්ෂාවට ලක් වූ අතර, පීඩනය හමුවේ ප්‍රසම්පාදන විනය ලිහිල් වී ඇති බව නිරීක්ෂණය විය. වසර ගණනාවක් පුරා මතු වූ පොදු දුර්වලතා වූයේ කැබිනට් මණ්ඩලය මගින් මෙහෙයවන හෝ හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේද කෙරෙහි වැඩි වශයෙන් විශ්වාසය තැබීම, තාක්ෂණික ඇගැයීම් සහ දේශපාලන අභිමතය එකිනෙක මිශ්‍ර වීම සහ ප්‍රවාහනයේ දී සිදුවන ගුණාත්මක වෙනස්කම් සඳහා විධිමත් මූල්‍ය අයකර ගැනීම් නොමැති වීම.
තනි තනිව ගත් කල මේවා ක්‍රියාපටිපාටිමය දෝෂ ලෙස පෙනුණ ද, සාමූහිකව ගත් කල මුළු පද්ධතියම අවදානමට ලක් කරන දුර්වලතාය. ආර්ථික විද්‍යාත්මකව මෙවැනි තත්ව ගැනුම්කරු සහ සැපයුම්කරු අතර තොරතුරු අසමතුලිතතාවක් මෙන්ම වගවීම පිළිබඳ ගැටලු නිර්මාණය කරයි. තාක්ෂණික තක්සේරුව සහ දේශපාලන අභිමතය මිශ්‍ර වූ විට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විශ්වසනීයත්වය බිඳ වැටේ. මෙම ඓතිහාසික පසුබිමෙන් පෙනී යන්නේ අද පවතින ප්‍රශ්නය හුදෙක් එක් නැව් තොගයක් නොව සමස්ත පද්ධතියේ පරිණතභාවය පිළිබඳව බවයි.
ප්‍රසම්පාදන රාමුව විකාශනය වී ඇති ආකාරය
ගල්අඟුරු ප්‍රසම්පාදන පාලනය ප්‍රධාන අදියර තුනක් යටතේ සංසන්දනය කිරීමෙන් වඩාත් පැහැදිලි චිත්‍රයක් මතු වේ:
2009-2016: ප්‍රසම්පාදන කටයුතු බොහෝ විට කැබිනට් මණ්ඩලය මගින් මෙහෙයවන ලද ක්‍රමවේද මත රඳා පැවතුණි. ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ මූලික සාක්ෂිය ලෙස සලකනු ලැබුවේ ‘පැටවුම් වරායේ‘ සහතික කිරීමයි. මෙම කාලසීමාව තුළ ටෙන්ඩර් මතභේද බහුලව දක්නට ලැබුණු අතර එක් ප්‍රධාන ප්‍රසම්පාදන ආරවුලක දී අධිකරණ මැදිහත්වීම පවා සිදු විය.
2017-2024: මෙම කාලය තුළ ‘හදිසි මිලදී ගැනීම්‘ සහ ‘කාලීන ටෙන්ඩර්‘ යන දෙකම මිශ්‍ර වූ පද්ධතියක් ක්‍රියාත්මක විය. මෙහිදී ද පැටවුම් වරායේ සහතික කිරීම් ප්‍රමුඛව පැවැති අතර, 2019 වසරේ සිට ගොඩ බෑමේ වරායේ දී පරීක්ෂණ පැවතුණ ද ඒවා බලාත්මක කිරීමේ යාන්ත්‍රණ ඒකාකාරී ලෙස ක්‍රියාත්මක වූ බවක් නොපෙනුණි. ක්‍රියා පටිපාටිමය ගැටලු පිළිබඳව විගණන නිරීක්ෂණ අඛණ්ඩව මතු විය.
2025-2026: විධිමත් මාර්ගෝපදේශ යටතේ ව්‍යුහගත කරන ලද විවෘත තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය. පැටවුම් වරායේ මෙන්ම ගොඩබෑමේ වරායේ ද සත්‍යාපනය කිරීම් අනිවාර්ය කෙරිණි. ප්‍රමිතියෙන් බැහැර වීම් වාර්තා වූ අවස්ථාවල දී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දඩ මුදල් පැනවීමේ යාන්ත්‍රණ සක්‍රීය විය.
මෙහි පවතින වෙනස ව්‍යුහමය එකකි. මෙම පරිවර්තනය හුදෙක් බාහිරින් පෙනෙන වෙනසක් නොවේ. එයින් පිළිබිඹු වන්නේ හුදෙක් පුද්ගල අභිමතය මත පදනම් වූ ප්‍රසම්පාදන පද්ධතියක සිට මැනිය හැකි සහ බලාත්මක කළ හැකි කොන්ත්‍රාත් රාමුවක් කරා සිදු වූ ගමනයි.
මෙවර වෙනස
මෙම වාරයේ සිදු වූ වැදගත්ම ප්‍රතිසංස්කරණය තාක්ෂණික එකකි. අතීතයේ දී, ගල්අඟුරුවල ගුණාත්මකභාවය බොහෝ දුරට පිළිගනු ලැබුවේ ඒවා නැවට පටවන වරායෙන් නිකුත් කරන සහතික මත පදනම්වය. යම් නැව් තොගයක් ආරම්භක ස්ථානයේ දී සහතික කළේ නම් එම සහතිකය බොහෝ විට ප්‍රධාන යොමු ලක්ෂ්‍යය ලෙස සැලකිණි. එහෙත් ප්‍රවාහනයේ දී ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිරිහුණහොත් කුමක් සිදුවේද? ගල්අඟුරුවල අන්තර්ගත ශක්ති ප්‍රමාණය හෙවත් කැලරි වටිනාකම ඒවා මෙරටට ළඟා වන විට වෙනස් වී තිබුණහොත් කුමක් සිදුවේද? මේ සඳහා මිල ගැලපුම් යාන්ත්‍රණය කඩදාසියට පමණක් සීමා වී පැවැති අතර ඒවා බලාත්මක කිරීම සැමවිටම ස්ථාවරව සිදු නොවීය. 2025-26 ප්‍රසම්පාදන රාමුව මගින් ”ද්විත්ව සත්‍යාපන” පද්ධතියක් හඳුන්වා දෙන ලදී.
පළමුව, නැව්ගත කිරීමට පෙර පටවන වරායේ දී ගල්අඟුරු පරීක්ෂාවට ලක් කෙරේ. දෙවැනුව ගල්අඟුරු ශ්‍රී ලංකාවට ළඟා වූ පසු ස්වාධීන පරීක්ෂණාගාරයක් (Cotecna Inspection India Ltd) මගින් ගොඩබෑමේ වරායේ දී නැවත පරීක්ෂාවට ලක් කෙරේ. දැන් ගෙවීම් සිදු කරනු ලබන්නේ සැපයුම්කරු ආරම්භයේ දී ප්‍රකාශ කරන දත්ත මතම පමණක් නොවේ. එය මෙරටට ළඟා වූ පසු තහවුරු කරගන්නා ශක්ති ප්‍රමාණය සමග සෘජුවම සම්බන්ධ කර ඇත.
ගොඩබෑමේ වරායේ සහතික කිරීම් සහ ස්වාධීන පරීක්ෂණාගාර වාර්තා අතර පවතින පරස්පරතා සැලකිල්ලට ගනිමින්, බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 පෙබරවාරි 24 වැනිදා සත් පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරන ලදී. පරීක්ෂණ ක්‍රමවේද සමාලෝචනය කිරීම, ගල්අඟුරු සැපයුම් යාන්ත්‍රණය ඇගැයීම, විය හැකි මූල්‍ය බලපෑම් ගණනය කිරීම සහ වැඩිදියුණු කිරීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඔවුන්ට පැවැරී ඇති වගකීමයි.
ආයතනික ශක්තිය සහ මහජන වගවීම
පුද්ගල අභිමතය පරිදි තීරණ ගැනීමට පවතින අවකාශය සීමා වන විට බොහෝ විට ඒ සඳහා ප්‍රතිරෝධයක් එල්ල වේ. ගල්අඟුරු ප්‍රසම්පාදනය යනු ඉතා විශාල පරිමාව සහ දැවැන්ත මූල්‍ය වටිනාකම් සහිත ක්‍රියාවලියකි. එහිදී මිල ගණන්වල පවතින ඉතා සුළු වාසි පවා අනිසි බලපෑම් ඇති කිරීමට සහ අවිධිමත් වාසි ලබා ගැනීමට පෙළැඹවීම් ඇති කළ හැකිය. විනිවිදභාවයෙන් යුත් ක්‍රියාපටිපාටි හරහා එවැනි වාසි ලබා ගැනීමට ඇති ඉඩකඩ සීමා වන විට, එම පුද්ගල අභිමත මීට පෙර ප්‍රතිලාභ ලැබූ පාර්ශව මෙම වෙනස සැමවිටම සාදරයෙන් නොපිළිගත හැකිය. එවැනි අවස්ථාවල දී, නීතිය සහ රීති බලාත්මක කිරීම පවා ‘පද්ධතියේ අසාර්ථකත්වයක්‘ ලෙස හුවා දැක්වීමට ඉඩ ඇත.
මෙහිදී කොන්ත්‍රාත්තුවට අනුව පනවන මූල්‍ය දඩ මුදල්, ”ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු” ගෙන ඒමට ඇති සාක්ෂි ලෙස අර්ථකථනය කළ හැකිය. එසේම අවදානම් කළමනාකරණය කිරීම ”අර්බුදයක්” ලෙස විග්‍රහ කිරීමට ද ඉඩ ඇත. ආයතනික ප්‍රතිසංස්කරණයක දී මෙය අසාමාන්‍ය තත්වයක් නොවේ. පද්ධති වැඩි වැඩියෙන් නීතිරීතිවලට අනුගත වන විට එම නීති බලාත්මක කිරීමේ ක්‍රියාවලිය වඩාත් පැහැදිලිව දර්ශනය වීමට පටන් ගනී. මීට පෙර මෙහෙයුම් අකාර්යක්ෂමතා තුළ සැඟවී තිබූ දෑ දැන් ප්‍රසිද්ධියේ මැනිය හැකි තත්වයට පත් වේ. එබැවින් වැදගත් වන්නේ විවේචන පවතින්නේ ද යන්න නොවේ. සැබෑ වැදගත්කම වන්නේ, ආයතනික රාමුව පෙරට වඩා ශක්තිමත් වී තිබීම සහ මහජනතාව ඒ පිළිබඳ දක්වන උනන්දුවයි.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd