බටහිර ආසියාවේ ඇති වී තිබෙන යුදමය තත්වය නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන හිඟයට මුහුණදීමේ පියවරක් වශයෙන් ආණ්ඩුව බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එහෙයින් එදින සේවයට පැමිණෙන තමන්ට නියමිත පරිදි නිවාඩු දීමනාවක් ලබා දිය යුතු යැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තීය සමිති ඉල්ලා සිටී.

එම වෘත්තීය සමිති නායකයන් මෙම ඉල්ලීම කරන්නේ ආණ්ඩුවේ තීරණය නිසා තමනට යම්  මුල්‍යමය පාඩුවක් සිදුවී ඇති නිසා නොව අනෙක් ක්ෂේත්‍රවල රජයේ සේවකයන්ට බදාදා  නිවාඩුව ලබාගැනීමට හැකි වීමත් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවයේ රාජකාරි කරන තමන්ට එම නිවාඩුව ලබාගැනීමට නොහැකිවීමත් නිසාය.

මෙය මේ රටේ වෘත්තීය ක්ෂේත්‍රයේ දක්නට ඇති බරපතළ ආකල්පමය ප්‍රශ්නයක් මනාව පෙන්නුම් කරයි.

එහෙත් අත්‍යවශ්‍ය සේවා වන හෙයින් මෙම බදාදා නිවාඩුව නොලැබෙන වරාය, ජලසම්පාදන හා රේගුව වැනි ක්ෂේත්‍රවලින් මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ බවක් පෙනෙන්නට නැත.

අත්‍යවශ්‍ය සේවාවල සේවකයන් හැර රාජ්‍ය සේවයේ අනෙක් ක්ෂේත්‍රවල සේවකයන්ට බදාදා නිවාඩුව දෙනු ලැබ ඇත්තේ ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟය ගැන සලකා තාවකාලික පියවරක් වශයෙනි. රට අනතුරක් කරා ඇදී යද්දී එය පිරිසක් තම වාසියට හරවා  ගැනීමට උත්සාහ කිරීම පැහැදිලිවම සදාචාරමය හා ආකල්පමය ප්‍රශ්නයකි.

සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති නායකයකු මේ නිවාඩු දීමනාව පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අදහසකට ලැබී තිබූ කඨෝර හා අපහාසාත්මක ප්‍රතිචාර සිය ගණන් මෙම ආකල්පයට ඇති මහජන පිළිගැනීම මනාව පිළිබිඹු කරයි.

කෙසේ වෙතත් තමන්ට  ඉන්ධන ලබාගැනීම සඳහා වෙනමම කිව්.ආර්. යාන්ත්‍රණයක් අවශ්‍ය බවට එම වෘත්තීය සමිති කරන ඉල්ලීමේ සාධාරණත්වයක් තිබේ. අත්‍යවශ්‍ය සේවාවක සේවකයන්ට වරු ගණන් හෝ පැය ගණන් පෝලිම්වල සිටිය නොහැකිය. ජනතා සේවය වෙනුවෙන් එම සේවකයන්ගේ කැපවීම සම්බන්ධයෙන් නැඟෙන විවිධ චෝදනා වෙනම ප්‍රශ්නයකි.

බදාදා නිවාඩුව ඇති විය හැකි ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා ආණ්ඩුව  ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් එකක් පමණි. ඊට අමතරව පසුගිය ආර්ථික අර්බුදය පැවැති සමයේ එනම් 2022 දී පසුගිය ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබූ කිව්. ආර්. කේත ක්‍රමය සහ ඔත්තේ හා ඉරට්ටේ වාහන අංක අනුව ඉන්ධන බෙදාදීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කර ඇත. ඒ වාහන හිමියන් ඉන්ධන රැස් කිරීම වළක්වාලීම සඳහාය. මෙම ක්‍රමය ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් පිළිබඳ අනතුර පවතින තාක් නොකඩවා ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව පවසයි.

මීට අමතරව කොවිඩ් 19 ගෝලීය වසංගතය පැවැති සමයේ මෙන්  නිවෙසේ සිට රාජකාරි  කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නට ද ආණ්ඩුව අදහස් කරයි. මේ සියල්ලෙන්ම අපේක්ෂා කෙරෙන්නේ ඉන්ධන පරිභෝජනය අඩු කිරීමයි.

පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව හා ඊශ්‍රායලය කිසිදු සාධාරණ හේතුවකින් තොරව ඉරානයට  මිසයිල ප්‍රහාර එල්ල කිරීමත්, ඉරානය ඊට ප්‍රතිචාර වශයෙන් බටහිර ආසියාවේ රටවල ඇති ඇමෙරිකානු හමුදා කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග මේ රටේ වාහන හිමියෝ ඉන්ධන හිඟයක් ඇති වෙතැයි සිතා ඉන්ධන රැස් කිරීමට පටන් ගත්හ. මේ නිසා ඉන්ධන හල් අසල දිගු පෝලිම් ඇති විය. ආණ්ඩුව කිව් ආර් ක්‍රමය යළි හඳුන්වා දුන්නේ ඒ අනුවය.

කලින් වතාවේ කිව් ආර්. කේත ක්‍රමය නවතා දැමීමෙන් පසු ඇතැම් වාහනවල අයිතිකරුවන් වෙනස් වී ඇති හෙයින් මෙවර එම ක්‍රමය ක්‍රියාත්මක  කිරීමේදී ගැටලු මතු වී ඇත. එහෙයින් තවමත් ඉන්ධනහල් අසල පෝලිම් දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම පෝලිම් නිසා ආණ්ඩුවට කිව්.ආර් කේත ක්‍රමය ඉතා පහසුවෙන් සාධාරණීකරණය කරන්නට හැකි වී තිබේ. පෝලිම් නැති  තත්වයක් තුළ ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් ගැන සිතා මෙම කේත ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට ගියේ නම් විරුද්ධ පක්ෂ ඊට එරෙහිව දහසක් කතන්දර කියන්නට ඉඩ තිබිණි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුහු දැනටමත් එසේ ආණ්ඩුව විවේචනය කරති. යුද්ධය ආරම්භ වූ වහාම සති හයකට පමණ ඉන්ධන තොග  රටේ තිබෙන බවත් ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් බලධාරීහු පැවැසූහ. ඉන්පසු ආණ්ඩුව රුපියල් 25ක් පමණ වූ සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල වැඩි කළේය. ප්‍රමාණවත් තරම් ඉන්ධන තිබේ නම් මිල වැඩි කරන්නේ කුමකට දැයි විපක්ෂය අසයි. ආණ්ඩුව පවසන්නේ යුද්ධය නිසා ඉදිරියේදී ඉන්ධන මිල වැඩි වීමේ හැකියාවත් බිය නිසා ඇතිවන ඉන්ධන රැස් කිරීමේ ප්‍රවණතාවට මුහුණ දීමේ අවශ්‍යතාවත් නිසා ඉන්ධන මිල ඉහළ දැමූ බවය.

යුද්ධයේ ආරම්භයේදී යුද වැදී සිටින රටවල්  ප්‍රතිපාර්ශවයේ හමුදා ශක්තිය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළද පෙරේදා වනවිට දෙපාර්ශ්වයම ප්‍රතිපාර්ශ්වයේ ඉන්ධන නිෂ්පාදන මධ්‍යස්ථාන හා ඉන්ධන ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සිටියහ. මෙම ප්‍රවණතාව ඉදිරියටත් පැවතුණහොත් මුළු ලෝකයටම විශාල ආර්ථික කඩා වැටීමකට මුහුණ දීමට සිදුවනු ඇත. එහිදි පාලකයන් විසින් බංකොලොත්භාවයට පත් කරනු ලැබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරයෙන් හා මඟපෙන්වීමෙන් යන්තම් හිස ඔසවා ගෙන සිටින ශ්‍රී ලංකාවේ තත්වය සිතා ගැනීමටද නොහැකිය.

1967 දී ඊශ්‍රායලය හා ඒ වටා පිහිටි සිරියාව, ජෝර්දානය, ඊජිප්තුව, යන රටවල් අතර ඇතිවූ යුද්ධය විශාල විනාශයකින් අවසන් වුවද එය පැවැතියේ දින හයක් පමණි. 1991 ජනවාරි මාසයේදී ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 42ක් හා ඉරාකය අතර පුපුරා ගිය පළමු ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ හා කුවේටයේ තෙල් සම්පතට විශාල හානියක් සිදු වුවද දින 43කින් එය අවසන් විය.

2003දී ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය , පෝලන්තය හා ඕස්ට්‍රේලියාව යන රටවල හමුදා ඉරාකය ආක්‍රමණය කිරීමත් සමග ආරම්භ වූ දෙවැනි ගල්ෆ් යුද්ධය එතරම්ම විනාශකාරි වුවද එය දින 20කින් අවසන් විය. එහෙත් වර්තමාන යුද්ධය එසේ දින කිහිපයකින් හෝ සති කිහිපයකින් අවසන් වේද යන්න සැක සහිතය. තෙල් නිෂ්පාදනය කලාපයේ ඇතිවූ මෙම අතිත යුද්ධ තුනේදී හා වර්තමාන යුද්ධයේදී දක්නට ලැබෙන බල තුලනයේ වෙනස්කම් නිසාය.

විශේෂයෙන්ම ඉරාකයට එරෙහි ගල්ෆ් යුද්ධ දෙකේදී ඉරාකයට ප්‍රහාර එල්ල කළේ හමුදා බලයෙන් හා යුද තාක්ෂණයෙන්  ඉතා ඉදිරියෙන් සිටි ප්‍රබල රටවල්ය. ඒ අනුව ඉරාකයේ යුද ශක්තිය ඉතා කෙටි කලෙකින් බිඳ දැමීමට එම රටවලට හැකිවිය. එහෙත් පසුගිය සති තුන තුළ  යුද පෙරමුණේ අප දුටු තත්වය ඊට වඩා වෙනස් බව පෙනේ.

සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ ඕනෑම ජන ඝාතක, කොල්ලකාරී යුද්ධයකට කොන්දේසි විරහිතව සහාය දෙන බ්‍රිතාන්‍යය ඇතුළු බොහෝ බටහිර රටවල් මෙවර යුද්ධයට පැටලෙන්නට සූදානම් නැත. ඇතැම් රටවල් ඉරානයේ කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටී.

අනෙක් අතට ගුවන් ප්‍රහාර මගින් දින කිහිපයකින් ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තලා, පොඩි කර හප කර දැමූ ඇමෙරිකාවට තවමත් එවැන්නක් ඉරානයේ කරන්නට නොහැකි වී තිබේ. කිසිදු රටක් නොකළ අයුරින් ඉරානය ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට අභියෝග කරමින් සිටී. ජනමාධ්‍ය වාර්තා අනුව ඉරානය යුද්ධයේදී භාවිත කරන අවි තාක්ෂණය ලෝකය කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. ඉන් ඊශ්‍රායලයේ සිදුවූ හානි ද බරපතළ බව කියවේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ඉරානයේ ආධ්‍යත්මික නායක අයතුල්ලා අලි කමනෙයි ඇතුළු එරට  ප්‍රධාන පෙළේ දේශපාලන හා හමුදා නායකයන් ගණනාවක් ඉලක්ක කර සාර්ථක ප්‍රහාර ගණනාවක් ගතවූ සති තුන තුළ එල්ල කර ඇත.  එහෙත් මෙය ඉරානයට අලුත් දෙයක් නොවේ. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු එවැනි දේශපාලන, හමුදා නායකයෝ හා න්‍යෂ්ටික විද්‍යාඥයෝ රාශියක් තනි  තනි සිදුවීම්වලදී ඝාතනයට ලක් වූහ.

1981 ජූනි මාසයේ ටෙහෙරාන් නුවර ඇති වූ බෝම්බ පිපිරීමකින් එරට අග විනිසුරුවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු 70කට අධික පිරිසක්  මියගියහ. 

ඉරානයේ අගවිනිසුරුවරයා ප්‍රබල දේශපාලන චරිතයකි. ඉන් මාස 02කකට පසු එරට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු තවත් පිරිසක් අගමැති කාර්යාලයේ පැවැති ඉහළ පෙළේ රැස්වීමකදී රහසිගතව අටවන ලද බෝම්බයක් පිපිරී මියගියහ. ඒ කාලයේ සිට විටින් විට මෙවැනි සිදුවීම්වලින් ඉරානයේ දේශපාලන නායකයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් හා න්‍යෂ්ටික විද්‍යාඥයන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත.

එහෙත් ඉරානය ඇද වැටුණේ නැත. මේ ගැන සඳහන් කරමින්  ඉරාන විදේශ  ඇමැති අබ්බාස් අරග්චි පවසා  තිබුණේ ස්ථාවර දේශපාලන ආර්ථික හා සමාජ ආයතනවලින් සමන්විත ශක්තිමත් දේශපාලන ව්‍යුහයක් ඇති ඉරානය පුද්ගලයන් ඝාතනය කිරීම මගින් අස්ථාවර කළ නොහැකි බවයි.

මේ අතර ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් කොතෙක් විවිධ රටවල, විශේෂයෙන්ම ඇමෙරිකාවේ සාම්ප්‍රදායික මිත්‍ර රටවල විවේචනයට ලක් වුවද අමුතු චරිතයක් ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ලෙහෙසියෙන් යුද්ධය අත්හරින්නට සූදානම් බවක් පෙනෙන්නේ නැත. එහෙයින් මීට පෙරද අප සඳහන් කළ පරිදි යුද්ධය දිග් ගැසීමේ ඉඩ කඩ වැඩිය.

කලාපයේ ආරක්ෂාව මත තෙල් මිල රඳා පවතින හෙයින් තෙල් බැරලයක් ඩොලර් 200කට මිලදි ගන්නට සූදානම්ව සිටින්නැයි ඉරාන හමුදා ප්‍රකාශක ඉබ්රාහීම් සුල්ෆකාරි සතියකට පමණ ඉහතදී පැවැසීය. පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 70-77ක් අතර වුවද මේ වනවිට එය ඩොලර් සියය ඉක්මවා ගොස් ඇත.  දෙපාර්ශ්වයේම  තෙල් කර්මාන්තයට එල්ල වන ප්‍රහාර හමුවේ තෙල් බැරලයක මිල ඉරාන හමුදා ප්‍රකාශකයා කී පරිදි ඩොලර් 200 ඉක්මවා ගියහොත් ඇති විය හැකි තත්වය අතිශයින්ම බරපතළ වනු ඇත.

එහෙත් ජාතික ජනබලවේගය ආණ්ඩුව පවසන්නේ 2022 දී මෙරට ඇතිවූ තත්වය යළි  ඇති නොවන බවයි. එදා තිබුණේ විදේශ විනිමය හිඟයක් බවත් අද පවතින්නේ  තෙල් මිල ඉහළ යාමේ අනතුරක් බවත් ඔවුහු කියති. එය සැබෑවකි. එහෙත් තෙල් මිල වැඩි වීමත් සමග අනෙක් සෑම භාණ්ඩයකම මිල ඉහළ යාම නොවැළැක්විය හැකිය.

එවැනි තත්වයක් යටතේ මහජනයා 2022දී මෙන් මහ මගට බසිනු ඇතැයි ද එවිට  තමන්ට බලයට පත්විය හැකි යැයි ද විපක්ෂයේ නායකයෝ සිතති. එහෙත් එය තීරණය වන්නේ ජනතාව පවතින තත්වය තේරුම් ගන්නා ආකාරය අනුව ය. 1972 සිට 1977 දක්වා සාගතයක් වැනි තත්වයක් ඇති වුවද ජනතා විරෝධය ප්‍රකාශ වූයේ මහා මාර්ගයේ දී නොව ඡන්දපොළේ දී ය.

 

(*** එම්.එස්.එම්.අයුබ්)