2026 ජනවාරි 03 වැනිදා සෙනසුරාදා අපගේ වේලාවෙන් දහවල් වන විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු මැදිහත් වීම ඇතිව, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදූරො සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් වෙනිසියුලාවේ අගනුවර වන කැරකාස් හි දැඩි ආරක්ෂිත ජනාධිපති මන්දිරයේ සිටියදී ඇමෙරිකානු හමුදා විසින් පැහැරගෙන ගොස් තිබුණි.
වෙනිසියුලාවේ පාන්දර 02 වන විට කැරකාස් හි හමුදා කඳවුරුවලට හා අධි ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත එල්ල කෙරුණු පැය කිහිපයක ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් පසු ෆොක්ස් ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, පැහැරගනු ලැබුණු ජනාධිපති මදූරො සහ බිරිඳ සිලියා, ඇමෙරිකානු යුද නෞකාවක් වන “අයිවො ජිමා” මගින් නිව් යෝර්ක් බලා රැගෙන යනු ලැබිණ. ඒ පැහැර ගැනීම සම්බන්ධව ට්‍රම්ප් කියා ඇත්තේ එය රූපවාහිනී චිත්‍රපටයක් නැරඹුවා වැනි යැයි කියාය.
ජනාධිපති මදූරොට සහ බිරිඳ සිලියාට එරෙහිව අන්තරායකර තහනම් මත්ද්‍රව්‍ය ටොන් දහස් ගණනක් ඇමෙරිකාවට රහසේ ආනයනය කළ “ලොස් සොලෙස් මත්ද්‍රව්‍ය මාෆියාවේ” නායකයන් ලෙස ඇමෙරිකානු අධිකරණයෙහි නඩු පවරනු ඇතැයි ඇමෙරිකානු නීතිපතිනි පැමෙලා බොන්ඩි ප්‍රසිද්ධියේ පවසා තිබිණ. මේ වනවිට එය එසේම සිදුවෙමින් තිබේ. ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලයේද, ජනාධිපති මදූරොට එරෙහිව නඩු පැවරීමට, 2020 දී චෝදනා පත්‍රයක් කෙටුම්පත් කරනු ලැබිණ.
එහෙත් ස්වාධීන රටක ව්‍යවස්ථානුකූල පාලනයක රාජ්‍ය නායකයාට එරෙහිව, ජාත්‍යන්තර නීති නොතකා කරනු ලැබූ මෙම සන්නද්ධ ත්‍රස්තවාදී ආක්‍රමණය සහ “මත්ද්‍රව්‍ය” අතර සම්බන්ධයක් නැත. මෙය ජනාධිපති බුෂ් 2003 මාර්තුවේදී “යෝධ විනාශ සඳහා වන අවි තොග” විනාශ කරන්නට යැයි ඉරාකය ආක්‍රමණය කළ ආකාරයේම විනාශකාරී බොරු හේතු දැක්වීමකි. වෙනිසියුලාවේ ව්‍යවස්ථානුකූල රාජ්‍ය පාලනය විනාශ කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ආක්‍රමණය, ඔහු කියන අයුරු අන්තරායකර තහනම් මත්ද්‍රව්‍ය මාෆියාවකට විරුද්ධව දියත් කිරීමක් නොවන්නකි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් හෝ චෝදනා තිබුණද, රටක රාජ්‍ය පාලනය තම හමුදා බලය මත වෙනස් කිරීමේ කිසිදු අයිතියක් ඇමෙරිකාවට හෝ වෙනත් කිසිදු බලවත් රටකට ඇත්තේ නැත. කොකේන් ටොන් 400 ක් පමණ ඇමෙරිකාවට හොරෙන් අලෙවි කිරීම වැනි චෝදනා සමග 2024 දී ඇමෙරිකානු අධිකරණයෙන් වැරදිකරුවකු කර වසර 45ක සිරදඬුවමක් ලබා දී බටහිර ව(ර්)ජිනියාවේ අධි-ආරක්ෂිත බන්ධනාගාරයක රඳවාගෙන සිටි හොන්ඩුරාස් ජනාධිපති හුආන් හෙර්නාන්ඩෙස් ජනාධිපති ට්‍රම්ප් විසින් නිදහස් කරනු ලැබීම, මදූරොට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා මහා මගඩියක් බැව් පැහැදිලිව කියන්නකි. හෙර්නාන්ඩෙස් නිදහස් කිරීම ගැන ට්‍රම්ප් කියා තිබුණේ, එය බයිඩන් පාලනයේ නිවට ක්‍රියාවක් යැයි කියාය.
මීට මාස 05 කට පමණ ඉහතින් ආරම්භ කෙරුණු වෙනිසියුලාවට එරෙහි ජනාධිපති ට්‍රම්ප්ගේ බලහත්කාරී සන්නද්ධ වටලෑම් අතර ප්‍රධාන වූයේ වෙනිසියුලාවට යන එන තෙල් නෞකා තහනම් කිරීම, හා ඒවාට එරෙහිව පැනවූ සම්බාධකය. ඒ සම්බන්ධව ඔහු සති කිහිපයකට පෙර කියා තිබුණේ ලතින් ඇමෙරිකානු ඉතිහාසයේ විශාලම ඇමෙරිකානු යුද මෙහෙයුම එය බවත්, එහි අවසානය සියල්ලන් මවිත කරනු ඇති බවත්ය.
මේ ආක්‍රමණය ද ජනාධිපති බුෂ් ඉරාකය ආක්‍රමණය කළ හේතුව අනුවම සිදු කෙරුණකි. 70 දශකය ආරම්භයේ “ඔපෙක් සංවිධානය” පිහිටුවාගනු ලැබීමේදී වෙනිසියුලාව පුරෝගාමී කාර්යයක් කෙරුවෙකි. වෙනිසියුලාවේ අපනයන ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉන්ධන අපනයනයෙන් ලබන්නේය. ලොව විශාලම තෙල් නිධි ඇත්තේ වෙනිසියුලාවේ යැයි භූ විද්‍යාඥයන් සනාථ කර ඇත. ඊට අමතරව නූතන තාක්ෂණික ලෝකයේ පිරිසුදු කරනු ලබන වෙනිසියුලානු ටැන්ටලුම්, රත්‍රං හා දියමන්තිවලටත් වඩා ඉහළ මිලක් ලබන ඛනිජ ද්‍රව්‍යයකි. රත්‍රං හා දියමන්ති ද වෙනිසියුලාවේ කණිනු ලබයි.
මීට සියවසකට පමණ පෙර ඉදිකෙරුණු කාමර 126ක් සහිත දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකම් කියන ෆ්ලොරිඩාවේ, මාර්-අ-ලාගො දූපතේ පිහිටි ඔහුගේ සුවිසල් විවේකාගාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් කියුවේ, ස්ථාවර පාලනයක් ඇතිකරන තෙක් වෙනිසියුලාවේ පාලනය ඇමෙරිකාව විසින් බාරගනු ලබන බවය. ඒ අතර ඇමෙරිකානු ඛනිජ තෙල් හා ඉන්ධන සමාගම් වෙනිසියුලාවට යනු ඇතැයි ද ඔහු කීවේය. “ඇමෙරිකාව ලබාගත් මේ ජයග්‍රහණය, ලෝකයේ වෙන කිසිම රටකට ලබන්න බැහැ.” යැයි ඔහු මාන්නාධික ස්වරයකින් එහිදී කියා තිබිණ.
ඒ පසුබිමෙහි, ඒ වන විටද ලොව මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයන් හා මත හසුරුවන්නවුන් ඇමෙරිකාවට විරුද්ධ වීමේ සීමා සොයන්නට පටන්ගෙන තිබුණි. ඇමෙරිකානු දේශපාලනයට වඩා ජනාධිපති ට්‍රම්ප් පෞද්ගලිකව ඉලක්ක කරමින් විරුද්ධ වන අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් අසන්නට වූයේ ජනාධිපති නිකොලස් මදූරොගේ අන්තවාදී පාලනය ඉවත් කර වෙනිසියුලානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තහවුරු කර ගැනීමට ලැබෙන මේ අවස්ථාවට හරස් වන්නේ කෙසේදැයි කියාය. වෙනිසියුලාවේ ජනතාවට තෝරාගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නැත. පලස්තියානු ජන සංහාරය නොතකා නෙතන්යාහුගේ ඊශ්‍රායලය පිළිගන්නා සහ ටෙලාවිව් සමග ගනුදෙනු කරන්නා වූ ඔවුන්ගේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සමග ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තහවුරු කළ හැකිද යන්න බරපතළ ප්‍රශ්නයකි. ඇයගේ ඊශ්‍රායල ගැති දේශපාලනය නොතකා පසුගිය වසරේ නොබෙල් ත්‍යාගය දෙනු ලැබුවේ, ඇය චාවෙස් සමයේ සිට මදූරෝ දක්වා වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂ පාලනයට විරුද්ධ වීම වෙනුවෙනි. මාරියා මචාඩෝ ඇයට ලබා දුන් “නොබෙල් සාම ත්‍යාගය” එසවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙනි. මචාඩෝට නොබෙල් ත්‍යාගය දීමේ හේතු පාඨය වූයේ “ඒකාධිපතිත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දක්වා වන සාමකාමී පෙරැළිය වෙනුවෙන් ගෙන ගිය අඛණ්ඩ අරගලය” යන්නය. ඇයට නොබෙල් ත්‍යාගය දීම පිළිබඳව, ජූලියන් අසාන්ජ් විසින් අපරාධයක් සම්බන්ධයෙන් “නොබෙල් පදනමට” එරෙහිව නඩුවක් පවරා ඇත.
නොබෙල් ත්‍යාග පිරිනැමීමේ දේශපාලන විහිළුව එලෙස ප්‍රශ්න කෙරුණද, වෙනිසියුලාවේ හා වෙනත් ඕනෑම රටක ආණ්ඩු පාලනය තීන්දු කිරීම, එරට ජනතාවට හිමි වගකීමක් මිස, එය ට්‍රම්ප්ගේ හෝ අපගේ වගකීමක් නොවන බව පමණක් අප මතක තබාගත යුතු පරම සත්‍යයකි. එනිසා ට්‍රම්ප්ගේ තීන්දුවට ප්‍රජාතන්ත්‍රවාදීන් විරුද්ධ විය යුත්තේ වෙනිසියුලාවේ ජනතාවට “ප්‍රජාතන්ත්‍රවාදී” ආණ්ඩු පාලනයක් පත් කර ගැනීමට හැකිදැයි හෝ නොහැකිදැයි හෝ යන කාරණාව මත නොවේ. ඇමෙරිකාවට හෝ වෙනත් බාහිර බලයකට රටක ආණ්ඩු පාලනය තීන්දු කිරීමට හෝ වෙනස් කිරීමට මේ නූතන ලෝකයේ කිසිදු අයිතියක් නොමැති බව හා එය ඒ රටේ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන බැව් පිළිගැනීම මතය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේදී සම්පාදනය කර ඔක්තෝබරයේ දී බලාත්මක කළ, සියලු සාමාජික රටවල් ක්‍රියාත්මක කිරීමට බැඳී ඉන්නා ප්‍රඥප්තියට අනුව, වෙනත් රටක පැවැත්මට කිසිදු රටක් අත නොගැසිය යුතුය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි 02 වැනි වගන්තියෙහි 04 වැනි අනු ඡේදයට අනුව, “සියලු සාමාජිකයන් වෙනත් රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහි තර්ජන හා බලය භාවිත කිරීම තම ජාත්‍යන්තර සම්බන්ධතාවලදී සහ එක්සත් ජාතීන්ගේ අවශ්‍යතා සමග කිසිදු ආකාරයකින් නොගැලපෙන කාර්යයන්වලින් වැළකී සිටිය යුතුය”. අවුරුදු 80ක එක්සත් ජාතීන්ගේ ඉතිහාසයෙහි ඒ වෙනුවෙන් කිසිදු සාමාජික රටක් සක්‍රීය ලෙස හා වගකීමක් ඇතිව පෙනී සිට නැත.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි 26 වැනි වගන්තියට අනුව, ලෝක සාමය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට හා තහවුරු කිරීමට, ලොව මානව හා ආර්ථික සම්පත් යොමු කිරීමේදී අවි ආයුධ වෙනුවෙන් වැය කිරීම් අවම කළ යුතු අතර ඒ සඳහා, 47 වැනි වගන්තියෙහි සඳහන් හමුදා නිලධාරී කමිටුවේද සහාය ඇතිව අවි ආයුධ නියාමනය සඳහා වන සැලසුමක් ආරක්ෂක මණ්ඩලය විසින් සම්පාදනය කර එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට ඉදිරිපත් කළ යුතුව ඇත. එවැන්නක් ගැන අසන්නට දකින්නට නැත. අසන්නට දකින්නට ඇත්තේ, තීන්දු ගැනීමේදී නිශේධ බලය ඇති ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස්දෙනා වන ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව හා චීනය වසරක් පාසා ප්‍රසාරණය වන ලෝක අවි ආයුධ වෙළෙඳපොළ බෙදා ගැනීමට තරග වැදීම පමණි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කරගත් 1946 සිට 2024 අවසන් වන විට මේ පෘථිවියේ, යුද ගැටුම් 259 - 285 ක් අතර සංඛ්‍යාවක් පැවතියේ යැයි ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළි කර ඇත. එවැනි යුද ගැටුම් සඳහා එකම හේතුව ලොව අවි ආයුධ වෙළෙඳපොළ ලාබය වන්නේය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මොන්ටෙගු බ(ර්)ට්න් මහාචාර්යවරියක් වන කීර්තිමත් දේශපාලන විශ්ලේෂක නේටා ක්‍රෝෆඩ්ට අනුව, මාසික සාමාන්‍යයක් වූ 7,690 ක් මියගිය යුක්රේන යුද්ධයෙන් 2025 ජූලි වන විට 3,23,000 ක් මිය ගොසින් ඇත. එය ගාසාවල මිය යෑමේ මාසික සාමාන්‍ය වූ 2,826 ඉක්ම ගියෙකි.
කතාව කෙටි කළහොත්, උත්පත්තියේ සිටම එක්සත් ජාතීන් අසාර්ථක, අලස සාමාජික සංවිධානයක් වීමට අමතරව, එහි අවසන් තීන්දු ගැනීමේ අයිතිය හා බලය, ආරක්ෂක මණ්ඩලය ලෙස ලොව විශාලම අවි ආයුධ වෙළෙඳුන් පස්දෙනාට බාර කර තිබීම, යුද ගැටුම් අවසන් කිරීම හා කිසිවිටෙක පෑහෙන්නක් නොවීය. අවි ආයුධ වෙළෙඳුන්ගේ ලාබ තීන්දු වන්නේ යුද ගැටුම් අනුව වන හෙයිනි. එබැවින් ට්‍රම්ප් ඔහුගේ න්‍යාය පත්‍රය දිග හැරීමේදී වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට එරෙහි වීම සඳහා කොන්දේසි තිබිය නොහැකි ලෙසින්ම, වෙනිසියුලාවේ පාලනය ගැන තීන්දු ගැනීම වෙනිසියුලා ජනතාවට ඉතිරි කර, වෙනිසියුලාවේ පාලනය නැවත මදූරෝ ආණ්ඩුවට බාර කරමින් ඇමෙරිකානු හමුදා වහා ඉවත් කරගන්නා මෙන් ට්‍රම්ප් පාලනයට බල කිරීමේ වගකීම අද ලෝක පුරවැසියන්ට ඇති වගකීම යැයි සැකයකින් තොරව කිව යුත්තකි. ඒ සමග අනාගතය වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් ලෙස අවි ආයුධ අලෙවියට සම්බන්ධයක් නොමැති සාමාජික රටවල් 05 ක් වහා පත්කර ගැනීමට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය පියවර ගත යුතු බවත් කිව යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ බලවත් රාජ්‍ය නොව, ප්‍රතිපත්තිගරුක ලෝක නායකත්වයකි.
මේ වෙනිසියුලා අර්බුදය හමුවේ ශ්‍රී ලාංකීය ආණ්ඩුව ඉන්නේ කවුරුන් සමගදැයි හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්දැයි ප්‍රශ්න කරනු ලබන්නකි. ඒ ප්‍රශ්න කිරීම සමග, ඊශ්‍රායලය සම්බන්ධයෙන් වන ගනුදෙනු ද ප්‍රශ්න කිරීමට ලක්වන බව කිව යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නම් සිටිය යුත්තේ වොෂින්ටනයේ නොව, හේග් නගරයේ යැයි කෙටියෙන් කිව යුතුය.
(*** කුසල් පෙරේරා)
COMMENTS