ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් ගැඹුරුතම ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදී යථා තත්වයට පැමිණෙමින් 2025 වර්ෂයේ සාධනීය ආර්ථික කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන්ම, බොහෝ සාර්ව ආර්ථික විචල්‍ය ධනාත්මක වර්ධනයක ප්‍රවණතා පෙන්නුම් කරමින්, ආර්ථික ස්ථාවරවීමේ ලකුණු පෙන්වා තිබුණි.

කෙසේ වෙතත්, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එක රැයකින්ම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පැහැදිලිය.

මෙය ශ්‍රී ලාංකිකයන් ලෙස අප කිසිසේත් අපේක්ෂා නොකළ අභියෝගාත්මක තත්වයකි. නව තත්වය හමුවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ සමහර ආර්ථික විශ්ලේෂකයෝ 2026 වර්ෂයේ දී ශ්‍රී ලංකාව අලු‍ත් වටයකින් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බව පුරෝකථනය කරමින් සිටිති. එවැනි ප්‍රකාශ හමුවේ රාජ්‍ය නායකත්වය පවා එම ප්‍රකාශවලට පිළිතුරු සැපයීමට යම් උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නව වර්ෂය තුළ ආර්ථිකය යම් අර්බුදයට ලක් වීමක් පිළිබඳව සාකච්ඡාව කරළියට පැමිණ ඇත. මෙම ලිපියෙන් 2026 වර්ෂයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දීමට නියමිත අභියෝග ගැඹුරින් විමසා බලනු ලැබේ. විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇතිවුණ නව තත්වයට රජය කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද? ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන අභියෝග මොනවාද? යන්නත් මෙම ලිපියෙහි විමසා බලා ඇත.

 

2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය

2026 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග හඳුනා ගැනීමේ දී පසුගිය වර්ෂයේ දී සාර්ව ආර්ථික කාර්ය සාධනය කෙටියෙන් හෝ විමසා බැලීම වැදගත්ය. 2025 වර්ෂය තුළ, 2024 වර්ෂය සමග සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් අංශවලින් ශක්තිමත් වී ඇති බව පැහැදිලිව පෙනී යයි. ප්‍රාථමික ගිණුමේ ශේෂය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත්, අපනයන ආදායම් වැඩි දියුණු කිරීමට සහ වෙළෙඳ හිඟය සාධනීය මට්ටමක පවත්වා ගැනීමට සමත්ව තිබේ. සංචාරක ව්‍යාපාරය ද ධනාත්මක වර්ධනයක් අත්පත් කරමින්, ආර්ථිකයට ඩොලර් බිලියන 3 ක් පමණ දායකත්වයක් දී ඇත. එසේම බදු ආදායම වාර්තාගත ලෙස වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර සමස්ත රාජ්‍ය ආදායම 2024 වර්ෂයට සාපේක්ෂව ඉතා ඉහළ වර්ධනයක් ගැනීම ද සුවිශේෂ කරුණක් වෙයි.

එසේම විදේශීය ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 ඉක්මවා ඇති අතර මෙය තවත් විශේෂිත කරුණක් ලෙස සැලකිය හැකිය. එය 2024 වසරට සාපේක්ෂව සියයට 26ක වර්ධනයකි. කෙසේ වෙතත් 2025 වර්ෂයේ අපේක්ෂිත නිල සංචිත ප්‍රමාණය පවත්වා ගැනීමට නොහැකි වීම සුවිශේෂ කරුණකි. 2024 වර්ෂයේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.1 පමණ විය. නව රජය යටතේ 2025 වර්ෂය සඳහා එය අපේක්ෂා කළ ලෙස ඉහළ නංවා ගැනීමට නොහැකි වී ඇත. එමෙන්ම ආර්ථික වර්ධනය යම් මන්දගාමීත්වයක් පෙන්වමින් පවතින බව ද දැකිය හැකිය. මෙවන් තත්වයක් යටතේ, 2025 වර්ෂයේ දී ආර්ථිකයේ යම් යම් අංශ ශක්තිමත් වුව ද සම්පූර්ණ යථාවත් වීමක් පැහැදිලිව නොපෙන්වීමයි. මෙවන් පසුබිමක් යටතේ, අප ආර්ථිකය යම් අභියෝගයකට නැවත මුහුණ දිය හැකි වන බවට වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය. එයට එක් ප්‍රධාන හේතුවක් ලෙස 2028 වසරේ සිට විදේශීය ණය ගෙවීමට සිදුවීම සහ එවන විට අපේක්ෂිත නිල විදේශීය සංචිත පවත්වා ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ හරහා ණය ලබා ගැනීමට දැඩි අභියෝගයකට මුහුණ දිම සිදුවීමයි.

 

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික බලපෑම්

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් කර ඇත. සුළි කුණාටුව රටේ ප්‍රදේශ කිහිපයක දැඩි හානියක් කරමින් යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය, නිවාස සහ ජනතාවගේ ජීවනෝපාය මාර්ග දැඩි බලපෑමක් ඇති කළේය. මාර්ග, වාරිමාර්ග පද්ධති, විදුලිබල සැපයුම් සහ අනෙකුත් යටිතල පහසුකම් විශාල ලෙස හානියට පත් වූ අතර, කෘෂිකාර්මික ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වීමෙන් ආහාර නිෂ්පාදනය හා ග්‍රාමීය ආදායම් කෙරෙහි දැඩි බලපෑමක් ඇති විය. දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ සමස්ත පාඩු පිළිබඳව විවිධ ඇස්තමේන්තු ඉදිරිපත් වී ඇති අතර සමහර වාර්තා අනුව එය ඩොලර් බිලියන 7ක් පමණ වන බව සඳහන් වේ. ලෝක බැංකුව විසින් සිදු කරනු ලැබූ අධ්‍යයනයක් අනුව අවම වශයෙන් ඩොලර් බිලියන 4.1 ක් පාඩුවක් සිදුව ඇති බවට හඳුනාගෙන ඇත.

විශේෂයෙන් යටිතල පහසුකම්, කෘෂිකර්ම ක්ෂේත්‍රය, ජීවනෝපාය මාර්ග, නිවාස සහ පෞද්ගලික දේපළ දැඩි ලෙස හානියට පත් වීම හරහා ආර්ථිකයට සෘජු හා වක්‍ර බලපෑම් රැසක් ඇති වී ඇත. මෙම හානිවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යම් මන්දගාමී වර්ධනයක් කරා යොමු වී ඇති අතරම සමාජයීයය සහ ආර්ථික බලපෑම ද අතිමහත්ය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ දැඩි මූල්‍ය සීමා පවතින අවස්ථාවක නව තත්වය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අමතර පීඩනයක් එක්කර ඇත. කෙටි කාලීනව, සැපයුම් බාධා විශේෂයෙන් ආහාර මිල ඉහළ යාමට හේතු වී ඇති අතර එය උද්ධමනය වර්ධනය කිරීමට හේතු වනු ඇත. එසේම එහි ප්‍රතිවිපාක ලෙස ආදායම් සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් පීඩාවට පත්ව ඇත. මෙවන් පසුබිමක් තුළ නැවත වටයකින් ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් සියයකට අධික පිරිසක් අවධාරණය කර ඇත. එසේ නොකළහොත්, කෙටි කාලයක් තුළ නැවත ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.

 

නැවත ණය ප්‍රතිව්‍යුගතකරණය කළ යුතුද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා යටතේ රජය රාජ්‍ය වියදම් කළමනාකරණය සාර්ථක පවත්වා ගෙන යාමට සමත් වී ඇති අතර, ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය සහ ණය තිරසාරභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන ඇත. එමෙන්ම, යහපාලනය ශක්තිමත් කිරීම, වංචා හා දූෂණ අවම කිරීම, මුදල් ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම, මිල ස්ථායිකරණය සහ විනිමය අනුපාත ස්ථාවර කිරීම, සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම වැනි ක්ෂේත්‍රවල ද යහපත් ප්‍රගතියක් මේ වන විට දැකගත හැකිය. මෙවන් වාතාවරණයක් යටතේ, පවතින ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රධාන මාර්ගය වන්නේ මෙම එකඟතා සහ ප්‍රතිසංස්කරණ ක්‍රමවේද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම බව පැහැදිලිව පෙනේ.

නව වාතාවරණය යටතේ, පූර්ණ ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමක් නැවත ආරම්භ කිරීම සුදුසු නොවන බව සඳහන් කළ යුතුය. එයට හේතුව එහි ආර්ථික ප්‍රතිවිපාක ඉතා ගැඹුරු වීමය. එසේම එවැනි ක්‍රියාවලියක් නැවත ආරම්භ කළහොත්, පවතින ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය කෙරෙහි යම් යම් බලපෑම් ඇති විය හැකිය. විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල රටවල් කුඩා ආර්ථිකය කෙරෙහි බලපෑම් සිදු කරන ප්‍රවණතාවක් මේ වන විට පවතින බැවින් එවැනි මැදිහත්වීම් සඳහා ඉඩදීම සුදුසු නොවේ. ඒ වෙනුවට, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් පරිත්‍යාගශීලී සංවිධාන හා රාජ්‍ය වෙතින් ආපසු නොගෙවන ප්‍රදාන ලබා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුය. එසේම අඩු පොලී අනුපාත සහ දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ මූල්‍ය ආධාර ලබා ගැනීම මෙම අවස්ථාවේ ප්‍රමුඛ අවශ්‍යතාවකි. ඊට අමතරව, කෙටි කාලීනව ණය ගෙවීම් කල් දමා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම මේ මොහොතේ ඉතා වැදගත් පියවරකි. ඒ සමගම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා තවදුරටත් පවත්වා ගෙන යමින් යහපත් මූල්‍ය විනය ශක්තිමත්ව පවත්වාගෙන යාම, මෙම අවස්ථාවේ දී කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් බව ද අවධාරණය කළ යුතුය.

 

2026 දී පවතින අවදානම් සහ අවිනිශ්චිතතා

වත්මන් තත්වය යටතේ දේශීය සහ ජාත්‍යන්තරය ආර්ථික තත්වය මෙන්ම දේශගුණික විපර්යාස, ජාත්‍යන්තර භූ දේශපාලනය ඇති වෙමින් පවතින ප්‍රවණතා සැලකිල්ලට ගත් විට 2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන හා සමාජීය පරිසරයට දැඩි බලපෑම් එල්ල කළ හැකි බව පැහැදිලිව පෙනෙන කරුණකි. ගංවතුර, නියග, නායයෑම් සහ සුළි සුළං වැනි දේශගුණික අවදානම් කෘෂිකර්මාන්තය, යටිතල පහසුකම්, බලශක්ති සැපයුම සහ ජනතාවගේ ජීවනෝපායට බාධා කළ හැකි අතර ප්‍රමාණවත් ආපදා කළමනාකරණ නොමැතිවීම හේතුවෙන් සැලකිය යුතු ආර්ථික හා මූල්‍ය පාඩු නැවතත් ඇති වීම බැහැර කළ නොහැකිය. එසේම, ගෝලීය ආර්ථික ගෝලීය ආර්ථික අස්ථාවරතා, පොලී අනුපාත ඉහළ යාම, අපනයන ඉල්ලු‍ම, සංචාරක ආදායම් සහ බාහිර මූල්‍ය ප්‍රවේශය සීමා කළ හැකි අතර දේශීය ජීවන වියදම්, ආදායම් අසමානතාව සහ විරැකියාව වැනි සමාජ පීඩන තත්වය හේතුවෙන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩතාවට අභියෝග එල්ල කිරීමේ හැකියාව බැහැර කළ නොහැකිය.

 

2026 දී ප්‍රතිපත්ති ප්‍රමුඛතා

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ඇතිවී තිබෙන තත්වයත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ ප්‍රතිපත්ති ප්‍රමුඛතා ගණනාවක් පවතී. මෙම ප්‍රතිපත්ති ප්‍රමුඛතා 2026 දී තිරසාර ප්‍රතිසාධනය සඳහා මාර්ගෝපදේශ කරයි. විශේෂයෙන් නිවර්තන දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, දේශගුණික විපර්යාසවල බලපෑම් ඉදිරියේ දී තවදුරටත් වැඩිවිය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිරන්තරයෙන් අවධාරණය කර ඇත. එබැවින්, සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ විනාශ වු යටිතල පහසුකම් නැවත සංවර්ධනය කිරීමේ දී සාම්ප්‍රදායයික සංවර්ධන ආකෘතිවලට සීමා නොවී, දේශගුණික විපර්යාසවලට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, අනාගත අවදානම් හඳුනා ගෙන සැලසුම් ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. එසේම, ඉදිරියට යටිතල පහසුකම් සංවර්ධන කටයුතු, කෙටි කාලීන අලු‍ත්වැඩියා විසඳුම්වලට වඩා, දිගු කාලීන ස්ථායීත්වය, ආරක්ෂාව සහ ආර්ථික කාර්යක්ෂමතාව සලකා බලා, අවදානම් කළමනාකරණය ක්‍රියාමාර්ග සමග ඒකාබද්ධ සංවර්ධන ආකෘතියක් මත පදනම් සිදු කළ යුතුය. දේශගුණික විපර්යාසවලට සාර්ථකව මුහුණ දිය හැකි මාර්ග, වාරිමාර්ග, බලශක්ති ජාල සහ නාගරික යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, ආපදා රක්ෂණය පුළුල් කිරීම සහ ස්වභාව ධර්මය පදනම් විසඳුම් ප්‍රවර්ධනය කිරීමෙන් දිගුකාලීන ආර්ථික පාඩු අවම කරමින් ප්‍රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගත හැකි වනු ඇත.

ආර්ථිකයේ මූල්‍ය විනය රැක ගනිමින් පෞද්ගලික ආයෝජන සහ නවෝත්පාදන සඳහා උනන්දු කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම, මූල්‍ය අංශ කාර්යක්ෂමතාව වැඩි කිරීම මගින් සතුටුදායක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම තහවුරු කළ හැකි වනු ඇත. එසේම අපනයන විවිධාංගීකරණය, අගය එකතු කළ නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, කුසලතා සංවර්ධනය සහ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට වැඩසටහන් හඳුන්වාදීමත් සමාජ ආරක්ෂක ජාල තවදුරටත් ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය වෙයි. මෙවැනි වැඩසටහන් හරහා ආර්ථික වර්ධනයෙහි ප්‍රතිලාභ සමාජයට පුළුල් ලෙස බෙදා, අසමානතාව අවම කර මහජන සහයෝගය ගොඩ නඟා දිගු කාලීන ආර්ථික තිරසාරභාවය සහතික කළ හැකිය. එවැනි පුළුල් සමාජ ආර්ථික වැඩපිළිවෙළක් මගින් ඇතැම් විශ්ලේෂකයන් දිගින් දිගට පෙන්නුම් කරන ආර්ථික අභියෝග නව වසර තුළ ඇතිවීම වැළැක්විය හැකිවනු ඇත.

---