ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ගෝලිය දූෂණ සංජානන දර්ශනයේ රටවල් 14ක් පසු කරමින් යහපත් අතට ඉදිරියට එන්නට ශ්‍රී ලංකාව 2025 වසරේදී සමත්ව තිබේ.

අවම දූෂිත රටේ සිට වැඩිම දූෂිත රට දක්වා රටවල් 182ක ලැයිස්තුවේ 121 වැනි ස්ථානය 2024 දී අත්පත් කරගෙන සිටි ශ්‍රී ලංකාව 2025 දී 107 වැනි ස්ථානයට පැමිණ ඇත.

දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය රටවල්වලට ලකුණු  දෙයි. ඒ සියයකින් කොපමණද යනුවෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව 2024 දී ලකුණු සියයෙන් 32ක් ලැබූ අතර 2025 දී එය සියයෙන් 35ට ඉහළ ගොස් ඇත.

වාර්ෂිකව ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු සංඛ්‍යාව පිළිබඳ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ වෙබ් අඩවියේ පළ කරනු ලැබ ඇති ප්‍රස්ථාරය අනුව වසරක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව ඉදිරියට ගොස් ඇත්තේ පසුගිය වසරේය.

මෙම දර්ශකය ජනමත විමසුමක ප්‍රතිඵලයකි. එම ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව වෙනත් රටවල් රාශියක් පරදවා ඉදිරියට පැමිණිය ද ඉන් අදහස් කෙරෙන්නේ ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු දූෂණය පිටු දකිනු ලැබ ඇති බව නොවේ. ශ්‍රී ලංකාව තවමත් රටවල් 182 කින් දූෂණය අවම කිරීම අතින් 107 වැනි ස්ථානයේ සිටී.

ඉන් කියැවෙන්නේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ  ප්‍රගතිය සාපේක්ෂ වශයෙන් ඉහළ වුවද අප යා යුතු ගමනෙන් අඩක් හෝ පසුකර නැත යන්නයි.

පසුගිය වසරේ මෙම ජනමත විමසුමට ලක්කරනු ලැබූවන්ගෙන් සියයට 16ක් රජයේ  ආයතනවලින් සේවා ලබා ගැනීම සඳහා නිලධාරීන්ට අල්ලස් දී ඇති බව මෙම සමීක්ෂණ  සටහනේ දැක්වේ.  එසේම රාජ්‍ය අංශයේ දූෂණය විශාල ප්‍රශ්නයක් බව සිතන පිරිස සියයට 79කි.

රජයේ ආයතනවලින් සේවා ලබා ගන්නට ගිය පිරිසගෙන් සියයට 16කට එනම් හයෙන් එකකට මෙසේ අල්ලස් දීමට සිදු වූයේත් සියයට 79ක් දූෂණය විශාල ප්‍රශ්නයක් බව සිතෙන්නේත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේය. එම පක්ෂයේ නායකයන් වාහන, ඉන්ධන,  නිල නිවාස, විශ්‍රාම වැටුප් ආදි කරුණුවල දී විශාල කැප කිරීම් කර පෙන්වා ඇති තත්වය තුළය. රාජ්‍ය යන්ත්‍රය තුළ කෙරෙන දූෂණය පිටුදැකීම කෙතරම් දුෂ්කරද යන්න ඉන් කියැවෙයි.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව වූයේ දූෂණය පිටු දැකීමයි. ආර්ථික අර්බුදයට එරෙහි 2022 මෙරට මහජන නැගිටීමේ ප්‍රධාන සටන් පාඨය වූයේ ද දූෂිත පාලනය පලවා හැරීම හා එතෙක් පාලකයන් විසින් කොල්ල කනු ලැබූ මහජන ධනය සොයා ඒවා යළි අත්පත් කර ගැනීමයි. අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වෙන එම නැගිටීමෙන් පසු පැවැති මැතිවරණවල දී ජනතාවගේ තෝරා ගැනීම වූයේ එතෙක් පාර්ලිමේන්තුවේ සිටි පක්ෂවලින් කිසිදු දූෂණ චෝදනාවක් එල්ල නෙවූ ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍රකර ගත් ජාතික ජන බලවේගයයි. 

2019 ජනාධිපතිවරණයේදී සියයට තුනක් පමණ ඡන්ද දිනාගත් ජාතික ජනබලවේගය 2025 ජනාධිපතිවරණයේ දී සියයට 42ක ඡන්ද ප්‍රතිශතයක් ද එම වසරේම පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී සියයට 61ක ඡන්ද ප්‍රතිශතයක්ද දිනා ගැනීමට හැකි වූයේ එම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති මත නොව දූෂණ විරෝධී ප්‍රතිපත්ති මතය. 

2022 අරගලයේ දී අරගලකරුවො ජාතිවාදයට එරෙහි සටන් පාඨ ද හඬ ද නැගූහ. මේ පිළිබඳව ඒ දිනවලම දෙමළ ජනමාධ්‍යවේදියකු උතුරු පළාතේ හිටුප  ප්‍රධාන ඇමැති හා තමිල් වෝක්කල් තේසීය  කූට්ටනි හෙවත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතාගෙන් විමසූ විට ඔහු පවසා  තිබුණේ ඒවා දකුණේ ජනතාවගේ සිත්වල ඇතිවූ සැබෑ වෙනස්කමක් ලෙස පිළිගත හැක්කේ ඉන්ධන හා ගෑස් පෝලිම් නැති වූ විට ද එම සටන් පාඨ දකුණේ ඇසේ නම් පමණි යනුවෙනි.

ඔහුගේ එම තර්කය අරගලය තුළ ඇසුණු දූෂණ විරෝධී සටන් පාඨ සම්බන්ධයෙන් ද  අදාළය. හදිසියේම තුන් ගුණයකින් බඩුමිල ඉහළ යාම හා මහා පරිමාණයෙන් ආදායම් අහිමි වූ තත්වය තුළ සති ගණන් හා සැතපුම් ගණන් දිගු පෝලිම්වල දුක් විඳීමට සිදුවීම නිසා දූෂිතයන්ට එරෙහිව  වූ ජනතාව ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ උපදෙස්  අනුව ආර්ථිකයට යම් පණක් ලැබ පෝලිම් අවසන් වූ තත්වය යටතේ යළි වෙනස් වීමට  පටන් ගෙන ඇති බවත් ද පෙනේ.

පසුගිය වසරේ මැයි 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල දී එය පෙනෙන්නට තිබිණි.  බලයට පත් වූ  විගසම ජාතික ජනබලවේගය ආණ්ඩුව දූෂිත දේශපාලනඥයන්ට  හා නිලධාරීන්ට දඬුවම් දෙනු ඇතැයි ජනතාව තුළ ගොඩනැඟී තිබූ අපේක්ෂා ඉටු නොවීම ද යම් පමණකින් ජනමතය යළි ඔවුන්ම දූෂිතයන් යැයි සිතූවන්ට වාසිදායක ලෙස වෙනස් වන්නට හේතු වන්නට ඇත. ඒ වෙනස මේ වනවිට තීරණාත්මක අයුරින් සිදුව ඇත්ද නැද්ද යන්න තීරණය කළ හැක්කේ තවත් මැතිවරණයකදීය.

දූෂිතයන්ට දඬුවම් දීම ක්ෂණිකව කළ හැකි දෙයක් නොවන බව සැබෑය. එය ක්‍රියාවක් නොව ක්‍රියාවලියකි. එහෙත්  එම ක්‍රියාවලිය තුළ ද එම අරමුණට එරෙහිව බාධා කිරීම් සිදුවන බව පෙනේ.  එසේම දීර්ඝ කාලයක් තිස්සේ පවතින තාක්ෂණික හේතු මත නඩු ප්‍රමාද වීම හා නඩු මාස ගණන් කල් යාම ද ආණ්ඩුවේ දූෂණ විරෝධී ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය තරමක් හෝ පළුදු වීමට හේතු වී ඇත.

මේ තත්වය යටතේ දූෂණයට  එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු වී දූෂණයට  පිටිවහලක් වූ අතීත ආණ්ඩුවල කටයුතු නිසා ඇතැමුන් ජාතික ජනබලවේගයේ  පොරොන්දුව ද එවැන්නකැයි සිතන්නට පෙළැඹී  සිටින බවක් ද පෙනේ. එසේම ආණ්ඩුව ආරම්භයේ සිටම සෑම කරුණකදීම රැඩිකල් තීරණ ගත යුතුයැයි සිතන  ආණ්ඩුවට මුලදී සහාය දුන් පිරිස් හා අති වාමාංශික  පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ ද ආණ්ඩුවේ දූෂණ විරෝධි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතා විශ්වාසය බිඳ දමමින් තිබේ.

1994 මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධාන සටන් පාඨය වූයේද දූෂණයට හා භීෂණයට එරෙහි සටනයි. දූෂිතයන් ගාලුමුවදොර පිටියට ගෙනැවිත් හම ගසන බවද ඇය ප්‍රකාශ කළාය. ඉන් අදහස් කෙරුණේ සැබැවින්ම හම ගැසීම නොව ඔවුනට දඬුවම් දෙන බවයි. එහෙත් ඇය බලයට පත්වූ පසු එම පොරොන්දුව ඉටු නොවීය.

ඉන්පසු  බලයට පත් ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතාද පොරොන්දු වූයේ පිරිසුදු පාලනයකි. එහෙත් ඔහුගේ පාලනයට තරම්  දූෂණ චෝදනා මෙරට කිසිදු පාලනයකට එල්ල වූයේ නැත.

එම චෝදනා විභාග කර දූෂිතයන්ට දඬුවම් දීම ඊළඟට බලයට පත්වූ මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවකි. ඒ නිසාම එම ආණ්ඩුව තමන් හඳුන්වා ගත්තේ යහපාලන ආණ්ඩුව යන නමිනි. එහෙත් මාස දෙකක් යන්නටත් පෙර ප්‍රකට මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ වංචාවක්  වූ මහ බැංකු බැදුම්කර  වංචාව සිදුවිය.

ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සීනි බදු වංචාව, සුදුලූනු වංචාව ආදිය ප්‍රකට සිද්ධි විය. පසුගිය වසරේ කෝප් කමිටුව හමුවේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ජාතික තරුණ සේවා සභාවේ හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සිදුවූ අයාථා ගනුදෙනු ගණනාවක් හෙළිදරව් විය.

මේවා නිසා දූෂණයත්, ඒවාට වගකිව යුත්තන්  සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමත් සාමාන්‍ය තත්වයක් බවට පත්වී ජනතාව ඒවා ඉවසන්නටත්  ගණන් නොගන්නටත් හුරු වී සිටිති.  රුපියල් 250ක් වටිනා එන්නත රුපියල් 40,000ට ගෙන්වා ඇතැයි යන්න හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඉඩම් අක්කරය රුපියල් 370කට විකුණා ඇතැයි යන්න හෝ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්) කමිටුවේදී හෝ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකින් හෝ හෙළිදරව් වූ විට ඒ ගැන කිසිවකු කම්පා නොවන තත්වයක් රටේ ඇති වී තිබේ.

මේ පසුබිම තුළ ආණ්ඩුවේ මන්දගාමී දූෂණ විරෝධී ක්‍රියාවලිය හමුවේ වත්මන් ආණ්ඩුවද දූෂිතයැයි කියන්නට විරුද්ධ පක්ෂ දරන උත්සාහයට එක්තරා දුරකට වලංගුතාවක් ලැබී තිබේ. ඒ අනුව ඔවුහු 2025 ජනවාරි මාසයේ නිසි භෞතික පරීක්ෂාවකින් තොරව  තුන් සියයකට අධික බහාලුම් සංඛ්‍යාවක්  වරායෙන් නිදහස් කිරීමේ සිද්ධිය හා පසුගිය දිනවල මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු  නැව් දෙකක් පිළිබඳ සිද්ධිය ඇදගෙන යති. වත්මන් කතානායක වෛද්‍ය  ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව යම් යම් චෝදනා එල්ල කෙරේ.

එහෙත් පළමු සිද්ධි දෙකේ දී වූ වංචාවන් මොනවාද? ඒවා කළේ කවුරුන්ද යන්න පැහැදිලි කිරීමට විපක්ෂය තවමත් අසමත්ය. භෞතික පරීක්ෂාකින් තොරව බහාලුම් නිදහස් කිරීම බරපතළ සිද්ධියක් බවට සැකයක් නැත. එහෙත් එය ජාජබ බලයට පත්වන්නට මාස තුනකට පෙර එනම්  2024 ජූලි මාසයේදී බහාලුම් තදබදය අවම කිරීම සඳහා ගන්නා ලද තීරණයකැයි ශ්‍රී ලංකා රේගුව පවසයි. එසේම මතභේදයට තුඩු දුන් බහාලුම් තොගයට පෙර එම තීරණය අනුව දහතුන් වතාවක් මේ ආකාරයෙන්ම බහාලුම් නිදහස් කරනු ලැබ ඇතැයි කියැවේ.

අනෙක් අතට නැව් දෙකක ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල බව ආණ්ඩුවද පවසයි. මෙසේ බාල ගල් අඟුරු සැපැයූ සමාගම්වලින් 2020-2021 කාලයේදී ඩොලර් මිලියන 4.54ක්ද  2021-2022 කාලයේදී ඩොලර් මිලියන 6.1 ක්ද 2022-2023 කාලයේදී ඩොලර් මිලියන 7-8ක්ද දඩ මුදල්  වශයෙන් ලබා ගෙන ඇතැයි ද වත්මන් සිද්ධිය සම්බන්ධයෙන් එසේ දඩ මුදල් අයකර ගන්නා බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කෙසේ වෙතත් මේවා වංචාවක්යැයි මතයක් එක්තරා දුරකට හෝ ගොඩ නගන්නට විරුද්ධ පක්ෂ සමත් වී සිටින බව ද ආණ්ඩුව පිළිගත යුතුව ඇත. කතානායකවරයා පිළිබඳ  ප්‍රශ්නය මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කරනු ලැබ ඇත.

ජාතික ජනබලවේගයේ සිටින්නෝ වැරැදි නොකරන ශාන්තුවරයෝ නොවෙති. ජනාධිපතිවරණ ප්‍රචාරක කාලයේදී මේ ගැන සඳහන් කළ ජාජබ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජාජබ දේශපාලනයේ නිරත වූවන්ද වැරැදි කළ හැකි බවත් තම පක්ෂය අනෙක් පක්ෂවලින් වෙනස් වන්නේ තම පක්ෂය එවැන්නක් ආරක්ෂා නොකර ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම නිසා යැයි පැවැසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පිළිබඳ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ සංජානන දර්ශකය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ආඩම්බර විය හැකිවාක් මෙන්ම එම දර්ශකය තවදුරටත් යහපත් වන්නේ නම් එය විදේශ ආයෝජනවලට විශාල බලපෑමක්ද වනු ඇත. එහෙත් මෙය සංජානනය පිළිබඳ දර්ශකයකි. ප්‍රබල සෘණාත්මක ප්‍රචාරයකින් මෙම සංජානනය විකෘති කළ හැකිය. විරුද්ධ පක්ෂ කරන්නට උත්සාහ කරන්නේ එයයි. එය ඕනෑම කාලයක විපක්ෂයක් කරන දෙයකි.

 

(*** එම්.එස්.එම්.අයුබ්)