ඩිජිටල් යුගයේ දී, මවුපියන් සාම්ප්‍රදායයික සීමා ඉක්මවා යන අතර, නව තාක්ෂණික ලෝකයත් සමග උරෙන් උර ගැටී තම පැවැත්ම ස්ථාපිත කරගත යුතුය. එසේ නොවුණහොත් නැවතත් ඩාවින්ගේ ‘ස්වාභාවික වරණය’ පිළිබඳ රීතිය සිහිකිරීම කාලෝචිත වේ.

එනම් නව ලෝකය සමග සමානුපාතික නොවීම පැවැත්මේ අවසානය වීමය. එය පසෙකින් තිබිය දී අපගේ කේන්ද්‍රීය ප්‍රවාදය වෙත අවධානය යොමු කරමු. එනම් ඩිජිටල් මවුපියභාවයයි.

ඩිජිටල් මවුපියභාවය (Digital parenting)  නම් සංකල්පය පශ්චාත් කාර්මික සමාජය තුළ නව මාධ්‍යයේ ආගමනයත් සමග නිර්මාණය වූවකි. මෙතුළින් ගම්‍ය වන අදහස නම් මවුපියන්ට අන්තර්ජාලය සහ නව මාධ්‍ය මෙවලම් වශයෙන් හඳුනාගත හැකි සමාජ මාධ්‍ය, මාර්ගගත ක්‍රියාකාරම් ආදිය භාවිත කරමින් තම ජීවිතයේ එදිනෙදා කටයුතු කර ගැනීමේ හැකියාවයි. වඩාත් පැහැදිලිව සඳහන් කරන්නේ නම් ඩිජිටල් සාක්ෂරතාව යි. (2025 වනවිට මෙරට අන්තර්ජාල භාවිතය ජනගහනයෙන් මිලියන 12.4 කි).

 මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණ වන්නේ මවුපියන් සිය ඩිජිටල් සාක්ෂරතාවෙන් ලද පන්නරය මත තම දරුවන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මත හෙළිය හැකි ධනාත්මක ආලෝක කදම්බය කෙබඳුද යන්න පිළිබඳවයි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් තමන් සතු ඩිජිටල් සාක්ෂරතාවෙන් තම දරුවන් මෙහෙයවීමේ ශක්‍යතාවයි. ශ්‍රී ලාංකේය සිසුන් සඳහා, ඩිජිටල් මවුපියභාවය සහ අධ්‍යාපනය අතර පවතින අන්තර් ක්‍රියාකාරිත්වය විශේෂයෙන් තීරණාත්මක වේ. ඩිජිටල් මවුපියභාවය ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපන අපේක්ෂා හැඩගස්වන ආකාරය පිළිබඳව අන් කවරදාටත් වඩා අවධානය යොමු කළ යුතු යුගයකට අප අවතීර්ණ වී තිබේ. තවද විශේෂයෙන්ම ඩිජිටල් මවුපිය සාක්ෂරතාවේ දරිද්‍රතාව මෙන්ම අධ්‍යාපන තාක්ෂණික නවීකරණ, ජාතික අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සහ උපාය උපක්‍රමශීලීත්වය ආදී වශයෙන් මෙහි පවතින අභියෝග මෙන්ම සෘණාත්මක නැඹුරුව ද සාකච්ඡාවට ගත යුතු යුගයකි මෙය.

මෙහිදී වැදගත්වන ඩිජිටල් සංඛ්‍යා දත්ත කිහිපයක් මූලිකව අපට අඳුනාගත යුතුව ඇත. 2025 ජනවාරි වනවිට මෙරට අන්තර්ජාල භාවිත ප්‍රමාණය මිලියන 12.4 ක්ව පැවැතුණි. එය සමස්ත ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 53.6ක ප්‍රමාණයකි. මෙම සංඛ්‍යා දත්ත අනුව තවත් වැදගත් අංශයක් නිරාවරණය කරගත හැකි වේ. එනම් මිලියන 10.7ක් එනම් ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 46.4ක් අන්තර්ජාල අවකාශයෙන් බැහැරව සිටීමයි. ඇත්ත වශයෙන්ම මෙය ප්‍රධාන ද්විරූපතාවකි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තීරණාත්මකව බලපෑම් කරන්නා වූ කරුණකි.

නූතන අන්තර්ජාල සහ නව මාධ්‍ය භාවිතය දෙස බලනවිට ඒ වෙත ප්‍රවේශවීමේ වේගය මවුපියන්ට සාපේක්ෂව දරුවෝ ඉදිරියෙන් සිටිති. නූතන සමාජයේ මවුපියන් සහ දරුවන් අතර ඩිජිටල් සාක්ෂරතාවේ හිඩැස සඳහා බලපාන්නේ මෙම කරුණ වේ. මේ හේතුව නිසා එනම් මවුපියන්ට සාපේක්ෂව දරුවන් ඩිජිටල් අවකාශය තුළ ඉදිරියෙන් සිටීම නිසා ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ළමයින්ට සහාය ලබාදීමේ මවුපිය ශක්‍යතාව පවතින්නේ අවම මට්ටමකය. දරුවකු ජංගම දුරකතනයක් භාවිත කළ පමණින් එය සමාජ අපගාමී ක්‍රියාවක් වන්නේ නැත. අද්‍යතන සමාජය තුළ දක්නට ලැබෙන විවිධ සිදුවීම් විශේෂයෙන් ඝාතන පිටුපස ඇත්තේ මෙම අනවබෝධයයි.

එම නිසා ඩිජිටල් සාක්ෂරතාවේ මෙම හිඩැස හැකිතාක් අවම කිරීම සමාජ වගකීමකි. මන්ද ඩිජිටල් මවුපියභාවය යනු එක ආකාරයකින් භාවිතයක් වන අතර, තවත් අංශයකින් බැලු‍වහොත් එය වගකීමක් ද වෙයි. පොදු වශයෙන් ඩිජිටල් මවුපියභාවය තම දරුවන්ගේ ඩිජිටල් ලෝකය ආරක්ෂා කිරීම සඳහා මවුපියන් සතු වන්නා වූ ශක්තිමත් අවියක් ලෙස ද පෙන්වා දීම කාලෝචිතය. සයිබර් අවකාශය තුළ ළමයින් අතරමංවීම, තිර සමග ගත කරන කාල පරාසය ඉහළ යාම, තිර ඇබ්බැහිය යන කරුණු මත පදනම්ව මෙරට මවුපියන් සතු ඩිජිටල් සාක්ෂරභාවයෙහි අවශ්‍යතාව අන් කවරදාටත් වඩා නූතනයේ ඉස්මතුව ඇත.

ඉහත සඳහන් කරුණු අනුව විමසා බලන කල මෙරට ඩිජිටල් අවකාශය භාවිතය වර්ෂ 2020 ට පසු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොවිඩ් 19 වසංගතයේ සමාජ බලපෑම මෙන්ම ටික් ටොක් (tiktok) ඉන්ස්ටග්‍රෑම් (instagram) සහ යූ ටියුබ් (youtube) ආදී සමාජ මාධ්‍ය වේදිකා මෙරට භාවිතවීම ඉහළ යාම මේ තත්වයට බලපෑම් කර තිබේ. මේ නිසාම පාසල් තුළ ද ළමයින්ගේ අධ්‍යාපන වේදිකාවක් වශයෙන් ඩිජිටල් උපාංග භාවිත කරයි. අද්‍යතන සමාජය තුළ එය වඩා සුලබ දෙයක් වී තිබේ. මේ හේතුවෙන්ම මවුපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳ සාකච්ඡාව කරළියට පැමිණෙන අතරම එහි අවශ්‍යතාව ද අවබෝධ කරගැනීම කාලෝචිතය.

ඩිජිටල් මවුපියභාවය ඔන් ලයින් (online) අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැදගත් වෙන සිද්ධාන්තයකි. අධ්‍යාපනය තුළ ළමයින් මුහුණ දෙන ගැටලු‍ මගහරවා ගැනීමටත් ඔවුන් අධ්‍යාපනය තුළ දිරිමත් කිරීමටත් ඩිජිටල් මවුපියභාවය ළමයින්ට උපකාරිවීම සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ළමයින් (online) අධ්‍යාපනය තුළ මුහුණ දෙන ගැටලු‍ පිළිබඳ මවුපියන් සවිඥානික බව නූතන සයිබර් අපරාධවලින් ළමයින් ගලවා ගැනීමට ද ප්‍රබල හේතුවක් වේ.

ඩිජිටල් මවුපියභාවය හා සම්බන්ධව පවතින ප්‍රබල අභියෝග කීපයක් ද හඳුනාගත හැකියි. ඒ අතර ප්‍රථමයෙන්ම මතුවන ප්‍රබල අභියෝගය ලෙස ඩිජිටල් සාක්ෂරතාව (digital literacy) පෙන්වාදිය හැකිය. මෙරට ඩිජිටල් සාක්ෂරතාව නාගරිකව පවතින්නේ සියයට 55.2 ක මට්ටමක වන අතර එය ග්‍රාමීය වශයෙන් සියයට 38.2 ක් ද වශයෙන් දැක්වෙයි. නූතනයේ සමාජ මාධ්‍ය ආශ්‍රය කරගනිමින් ඇතිවන බොහෝ අවාසනාවන්ත සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ ඩිජිටල් සාක්ෂරතාව අවම ප්‍රදේශවලින්වීම අපගේ අවධානය විශේෂයෙන් යොමුවිය යුත්තකි. හඳුනාගෙන තිබෙන තවත් විශේෂ දෙයක් මෙහිදී සඳහන් කළ යුතුය. එනම් මවුපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව අඩු මට්ටමක පැවැතීම සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවැතීම යන සාධක දෙක දරුවන්ගේ අධ්‍යාපන මට්ටම හා සයිබර් අවකාශය තුළ මුහුණ දෙන ගැටලු‍ තීරණාත්මකව වෙනස් කිරීම සඳහා බලපා ති‍බෙන බවය.

එම නිසා ඩිජිටල් සාක්ෂරතාව තුළ පවතින හිඩැස විශේෂයෙන්ම ග්‍රාමීය හා නාගරික වශයෙන් පවතින හිඩැස ජයගත යුතු ප්‍රබල අභියෝගයක් වේ. නිදර්ශනයක් ලෙස ජපානය වැනි රාජ්‍යයක් ගතහොත් මෙහි වෙනස අවම මට්ටමක පවතී. එනම් එහි නාගරික ඩිජිටල් සාක්ෂරතාව සියයට 76.2 වනවිට ග්‍රාමීය සාක්ෂරතාව පවතින්නේ සියයට 65.3ක් වැනි අගයකය.

ඩිජිටල් මවුපියභාවය හා සම්බන්ධව පවතින දෙවැනි අභියෝගය වන්නේ භාෂා බාධාවය. ඩිජිටල් සුරක්ෂිතතාව ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මතය. සිංහල සහ දෙමළ භාෂා මාධ්‍යවලින් මේ සඳහා පවතින්නේ සීමාසහිත එළැඹුමකි. පොදු වශයෙන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව රඳා තිබෙන්නේ සියයට 22ක තරම් පහත අගයකය. ඩිජිටල් මවුපියභාවය පිළිබඳ සාකච්ඡාව තුළ ආමන්ත්‍රණය කළ යුතු ප්‍රබල කරුණක් වන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව පවතින මෙම අභියෝගයයි. මන්දයත් පශ්චාත් නූතන සමාජය තුළ පවතින ගෝලීය සම්බන්ධතාව සහ තොරතුරු ලෝකය තරණය කළ හැක්කේ ඉංග්‍රීසි භාෂාව භාවිත කරමින් වීම නිසාය. එම නිසා ඩිජිටල් මවුපිය බව හා සම්බන්ධයෙන් මෙම භාෂා බාධාව කඩිනමින් ජය ගත යුතු අභියෝගයක් වේ.

එමෙන්ම තවත් සැලකිය යුතු අභියෝගයක් වශයෙන් ආර්ථික වශයෙන් පවතින බෙදීමය. මෙරට ජීවත්වන පවුල් ලක්ෂ පනස් හත ගතහොත් එම පවුල් ලක්ෂ පනස් හත තුළ පවතින්නේ අසමාන ඩිජිටල් යටිතල පහසුකම්ය. මෙම අසමාන ඩිජිටල් යටිතල පහසුකම් සහිත පවුල් පසුබිම තුළ සමාන ඩිජිටල් සාක්ෂරතාවක් අපේක්ෂා කළ නොහැක්කකි. මෙරට පවතින ආර්ථික අර්බුද, විරැකියාව ආදිය මතින් සමාන ඩිජිටල් යටිතල පහසුකම් අපේක්ෂා කිරීම කිසිසේත්ම කළ නොහැක්කක් වුවද ඩිජිටල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව දැඩිව පවතී.

අවසාන වශයෙන් ඩිජිටල් මවුපියභාවය ඉහළ නංවමින් දරුවන්ගේ අධ්‍යාපනය සමග මවුපියන්ගේ සවිඥානිකත්වය අතර පාලමක් ගොඩනැගීමට අවශ්‍ය කරුණු කිහිපයක් පෙළගැස්විය හැකිය.

 

1. මවුපියන් අතර ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම

අන්තර්ජාල සුරක්ෂිතතාව සහ සමාජ මාධ්‍ය මෙන්ම ඩිජිටල් උපාංග පිළිබඳ මවුපියන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම ප්‍රායෝගික වශයෙන් ඉතා වැදගත්ය. ඒ සඳහා පාසල් මට්ටමින්ම ක්‍රියාත්මක විය හැකිය. විශේෂයෙන් විවිධ වැඩසටහන් හඳුන්වා දෙමින් මවුපියන් එයට සහභාගි කරවා ගැනීමෙන් මේ සම්බන්ධව ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කරගත හැකිය.

 

02. මවුපියන් සහ දරුවන් අතර විවෘත සන්නිවේදන සාකච්ඡාවක් ගොඩනැගීම

අන්තර්ජාල අත්දැකීම් පිළිබඳව මවුපියන් සහ දරුවන් අතර අඛණ්ඩ සන්නිවේදනයක් එනම්; සාකච්ඡාවක් පැවැතිය යුතුය. විශේෂයෙන්ම දරුවන් අන්තර්ජාල භාවිතයෙන් ලබාගන්නා අත්දැකීම් පිළිබඳවත් මවුපියන් ලබාගන්නා අත්දැකීම් පිළිබඳවත් මෙම සංවාදය ඔවුන් අතර ගොඩනැගීම අතිශයින්ම වැදගත්ය. මේ තුළින් අන්‍යෝන්‍ය වශයෙන් අත්දැකීම් හුවමාරුවක් සිදුවන අතරම අන්‍යෝන්‍ය අවබෝධය ද පුළුල් වේ. මෙලෙස පුළුල්වන අවබෝධය දරුවන්ගේ පැත්තෙන් ඔවුන්ට සිදුවිය හැකි විවිධ දුෂ්කර ක්‍රියාවලින් ඔවුන් මුදාගැනීමේ හැකියාව ද විශාල වශයෙන් ඉහළ යයි.

 

03. ඩිජිටල් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම

මෙයින් දරුවන් මෙන්ම මවුපියන් ද තිර සමග ගත කරන කාලය සඳහා සීමා පැනවීම කළ හැකිය. විශේෂයෙන්ම ආහාර ගන්නා අවස්ථා සහ නිදාගැනීමට සූදානම් වනවිට නව මාධ්‍ය උපාංග භාවිතය සීමාකිරීම සිදු කළ හැකිය. විශේෂයෙන්ම ඔන්ලයින් (online) සහ ඕෆ්ලයින් (offline) ක්‍රියාකාරකම්වල සමතුලිතතාවක් නැතිනම් සමබරතාවක් නිර්මාණය කර ගැනීමට ඩිජිටල් ප්‍රතිපත්තිය අතිශයින්ම වැදගත් වේ. බොහෝවිට සිදුවන්නේ යූ ටියුබ් (you tube), ෆේස්බුක් (facebook), ටික්ටොක් (tiktok) වැනි නව මාධ්‍ය උපාංග සමග කාලය ගත කරන විට කාලය පිළිබඳව පවතින සවිඥානික බව අහෝසි වී යාමය. තොරතුරු හඹායාම සඳහා මිනිසා සතු විශේෂ කැමැත්තේ ප්‍රතිඵලයක් වශයෙන් මෙය සිදු වේ. එම නිසා ඒ සඳහා යම් ආකාරයක සීමාවක් අත්‍යවශ්‍ය වන අතර, එය ස්ථාපිත කර ගැනීම සඳහා ඉහතින් සඳහන් කළ ප්‍රතිපත්තියේ අවශ්‍යතාව මතුවේ.

 

04. දරුවන්ගේ නව මාධ්‍ය භාවිතය මවුපිය පාලනයට නතු කිරීම

ළමයින්ගේ නව මාධ්‍ය හැසිරීම් සහ ක්‍රියාකරකම් තුන්වැනි පාර්ශ්වයක් අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. අධීක්ෂණය කිරීමට මෙන්ම පාලනය කිරීමට ද හැකිවන උපාංග භාවිත කිරීම මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම ද මෙහිදී වැදගත්ය. ඒ අනුව ක්‍රමානුකූලව තමන්ගේ අත්දැකීම් ප්‍රවර්ධනය කර ගන්නාවිට ඔවුන්ටම මෙය භාවිත කිරීම සඳහා අවකාශය නිර්මාණය කර දිය හැකිය. නැතිනම් ඔවුන්ට ක්‍රමානුකූලව වගකීම පැවරීම සඳහා වැදගත් ක්‍රියාවලියක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

නිවැරැදිව මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම පශ්චාත් කාර්මික එසේත් නැතිනම් ඩිජිටල් සමාජයක ප්‍රබලම අවශ්‍යතාවක් වශයෙන් තේරුම් ගැනීමත් ඒ උදෙසා සක්‍රීය මැදිහත්වීමකින් සමාජය තුළ සාකච්ඡාවක් ඇති කිරීමත් සමාජ වගකීමකි.

(***)