ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ඉහළ තීරුබදු පැන වූ ආකාරය බො‌හෝ දෙනකුට මතක ඇතැයි සිතමි. එම අවස්ථාවේදී ඇමරිකාව ප්‍රකාශ කළේ එරට සමග පවත්නා ආනයන අපනයන ගනුදෙනුවලදී අතිරික්තයක් පවත්වාගෙන යන සහ ඇමරිකාවෙන් භාණ්ඩ අඩුවෙන් මිලදී ගන්නා රටවලට එරෙහිව ඉහළ තීරුබදු පැනවූ බවයි.

ශ්‍රී ලංකාව වැනි රටවලට පැනවූ බදු ඇමරිකාව සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුව සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගැනීමට හැකි විය. එසේ වුවද ඉන්දියාව වැනි රටවලට පැනවූ ඉහළ බදු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු නොවූ අතර එවැනි රටවලට ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ වෙනුවෙන් ඉහළ තීරුබද්දක් ගෙවීමට සිදුව තිබේ.

පසුගිය කාලයේදී ඒ ආකාරයට සාකච්ඡා මගින් තීරුබදු අඩු කිරීමට බොහෝ රටවල් ක්‍රියාත්මක වූයේ ක්ෂණිකව දැනුණු ආර්ථික කම්පනය සහ ඇමරිකාවට කරන අපනයන සම්බන්ධයෙන් මුහුණදීමට සිදුවන අවාසිසහගත තත්වය මගහරවා ගැනීම සඳහාය. එසේ වුවද ටික කලක් ගතවන විට ඉහළ තීරුබදු නිසා ඇති වන ගැටලු‍වලට මුහුණදීමට සිදුවූ රටවල් ඇමරිකාව සම්බන්ධයෙන් ද එවැනිම ප්‍රතික්‍රියා දැක්වීමට පටන් ගැනීම නිසා තීරුබදු ආර්ථික අවියක් ලෙස යොදාගැනීමට ට්‍රම්ප් දැරූ උත්සාහයේ සැර මදක් අඩු විය. චීනය ප්‍රතික්‍රියා දැක්වූයේ ඇමරිකාවෙන් ආනයනය කළ සෝයා වැනි ආහාර වර්ග අඩු කිරීම මගිනි. එසේම ඇමරිකාව ඇතුළු බටහිර රටවලට අපනයනය කරනු ලබන දුර්ලභ ඛනිජ අපනයනය සීමා කිරීමටද කටයුතු කළේය. අවසානයේදී ට්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජින් පිංග් අතර පැවැති සාකච්ඡාවෙන් පසු ඇමරිකාව බොහෝ බදු අඩු කිරීමට එකඟ වූ අතර චීනය යළිත් කෘෂිකාර්මික භාණ්ඩ ඇමරිකාවෙන් මිලදී ගැනීමට එකඟ විය.

කෙසේ වුවද චීනය තම වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාව පැනවූ සමහර බාධක නොසලකා හැරීමට තීරණය කර ඇති බවද පෙනේ. ඇමරිකාවෙන් චීනයට අපනයනය කරන අධි තාක්ෂණික චිප් (Chip)  තහනම් කරනු ලැබුවේය. පසුව ඒවා යළි චීනයට අපනයනය කිරීමට අවසර ලබා දුන්නේය. එහෙත් චීනය ඒවා මිලදී ගැනීමට දැඩි උනන්දුවක් නොදක්වන අතර ඒවා මිලදී ගැනීමෙන් වළකින ලෙස චීන සමාගම්වලට දන්වා තිබේ. චීනය ඒ සම්බන්ධයෙන් අනෙක් රටවල් මත යැපීමෙන් අත්මිදීමට කටයුතු කිරීමෙන් එම තහනමට ප්‍රතිචාර දක්වා තිබේ. ඉන්දියාවද ඇමරිකාවට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීමට සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ. ඉන්දියාව ඇමරිකාවෙන් අතිවිශාල ලෙස ආනයනය කරනු ලබන මේෂ බෝග (Pulses) සහ පරිප්පු සඳහා වූ තීරුබදු සියයට 30 දක්වා වැඩිකර තිබේ.

විවිධ රටවලින් ඇමරිකාවට ලැබෙන ප්‍රතිචාර ක්‍රමානුකූලව ඇමරිකාව අපේක්ෂා නොකළ ආකාරයෙන් ප්‍රදර්ශනය වන බව පෙනී යයි. එහෙත් ට්‍රම්ප් විසින් අනෙක් රටවල් යටපත් කිරීමේ අරමුණින් තීරුබදු අවියක් ලෙස භාවිත කිරීමේ උපක්‍රමය තවදුරටත් භාවිත කරනු ලබයි. මෑතකදී ඉරානය තුළ විරෝධතා උත්සන්න වූ අවස්ථාවේදී ඉරානය සමග ගනුදෙනු කරන රටවලට දැනට පවතින තීරුබදුවලට අමතරව සියයට 25 ක තීරුබද්දක් පැනවූයේය. එය ක්‍රියාත්මක වන රටවල් සම්බන්ධයෙන් තොරතුරු තවමත් ප්‍රකාශයට පත්වී නැත. ඒ අතර පසුගිය දිනවල ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත ප්‍රතිපත්තියට එරෙහි වන රටවල් සම්බන්ධයෙන් ද තීරුබදු අවිය භාවිත කරන බව ප්‍රකාශ කළේය. ඔහු ග්‍රීන්ලන්තය, ඇමරිකාව විසින් අත්කර ගන්නා බව ප්‍රකාශ කර ඇත. එය ඩෙන්මාර්කයට අයත් රටකි. ට්‍රම්ප්ගේ ප්‍රයත්නයට යුරෝපා රටවල් විසින් දැඩි විරෝධයක් දක්වා ඇති අතර ග්‍රීන්ලන්තය ආරක්ෂා කර ගැනීම සඳහා සමහර යුරෝපා රටවල හමුදා දැනටමත් එම ප්‍රදේශයට යවා තිබේ. ට්‍රම්ප්ගේ එම ප්‍රයත්නයට එරෙහි වන ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය සහ පින්ලන්තය යන රටවලට දැනට ක්‍රියාත්මක වන තීරුබදුවලට අමතරව පෙබරවාරි පළමු වැනිදා සිට සියයට 10ක අතිරේක තීරුබද්දක් පනවා තිබේ. එය මේ වසරේ ජූලි පළමු වෙනිදා සිට සියයට 25 දක්වා ඉහළ දමන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ලොව වෙළෙඳ ගනුදෙනුවලදී පමණක් නොව සියලු‍ ආර්ථික කටයුතුවලදී ක්‍රියාත්මක වූ රාජ්‍ය නිර්බාධවාදය පිළිබඳ සංකල්පයට ඉඳුරාම පටහැනි වන අයුරින් ට්‍රම්ප් කටයුතු කරමින් සිටී. බොහෝ රටවල ආර්ථික කටයුතුවලට එම ප්‍රතිපත්ති දැඩි බලපෑමක් එල්ල කරන අතර ලෝක ආර්ථිකය කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් ඇතිවීමට ඉඩ තිබේ. පළමුව ඇමරිකාව’ ’(America First) යන අරමුණ මත ට්‍රම්ප් සහ ඔහුගේ නිලධාරීන් විසින් කටයුතු කරනු ලබයි. ඇමරිකාවට ආර්ථික කටයුතුවලදී දැඩි පසුබෑමකට ලක්වීමට සිදුව ඇත්තේත්, එරට විශාල වෙළෙඳ හිඟයකට මුහුණ දී සිටින්නේත්, ණයබර වැඩි වී ඇත්තේත් අනෙක් රටවල් තම වාසිය සඳහා පමණක් කටයුතු කිරීම බව අදහස වී ඇත.

ඇමරිකාව ලෝක වෙළෙඳ පොළේ සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලදී දැඩි තරගයකට මුහුණ දී සිටී. එයට බොහෝ දුරට හේතුවී ඇත්තේ එරට නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමකට පත්ව තිබීමයි. ඒ හේතුවෙන් අනෙක් බොහෝ රටවලට ඇමරිකානු නිෂ්පාදනවලට වඩා අඩු පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකි වී තිබේ. තාක්ෂණය සම්බන්ධයෙන්ද ඇමරිකාව ඉක්මවා යන වර්ධනයක් අත්කර ගැනීමට සමහර රටවලට හැකි වී ඇත. මේ හේතුවෙන් ඇමරිකානු ආර්ථිකය මුහුණදී සිටින අර්බුදය අනෙක් රටවලට වෙළෙඳ බාධක පැනවීමෙන් විසඳාගැනීමට ට්‍රම්ප් බලාපොරොත්තු වේ. එසේම අනෙක් රටවල් මත දේශපාලන ආධිපත්‍ය පැතිරවීමට ද ආර්ථික ගනුදෙනු ආධාර කර ගැනීමට ඔහු බලාපොරොත්තු වන බව පෙනේ.

ඇමරිකාව සහ බටහිර රටවල් විසින් ලෝක ආර්ථික හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් අත්කර ගෙන තිබූ ආධිපත්‍යයට මුලින්ම අභියෝග කළේ ජපානය විසිනි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු පරාජිත රටක්ව බවට පත්ව තිබූ ජපානය 1970 දශකය වනවිට එම රටවල කර්මාන්තවලට අභියෝගයක් වන ආකාරයේ නිෂ්පාදන එළි දක්වන්නට විය. ඉතා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ජපානයට හැකි වූ අතර ආර්ථික වශයෙන් ලොව ප්‍රමුඛ රට බවට පත්වීමට ආසන්න විය. එසේ වුවද ඇමරිකාව සහ යුරෝපා රටවල් විසින් 1986 දී ඇතිකර ගන්නා ලද ‘ප්ලාසා’ ගිවිසුම හේතුවෙන් ජපන් ‘යෙන්’ මුදලේ අගය අතිවිශාල ලෙස ඉහළ ගොස් ජපන් භාණ්ඩවල මිල ඒ ප්‍රමාණයෙන්ම ඉහළ ගියේය. ඒ හේතුවෙන් ජපානයේ ඇමරිකාව අබිබවා ලොව පළමු ප්‍රමුඛ ආර්ථිකය බවට පත්වීමේ ගමන නැවතුණ අතර මේ වනවිට ජපානය ලොව හතර වැනි ආර්ථිකය දක්වා පසුබැසීමටද ලක්ව තිබේ.

දැන් ඇමරිකාවට තරගය එල්ල වන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙනි. 1980 දශකය දක්වා මෙම රටවල් දෙකම ආර්ථික වශයෙන් වර්ග කර තිබුණේ පහළ ආදායම් කාණ්ඩය යටතේය. ඉන්දියාව අගමැති මන්මෝහන් සිං යටතේත්, චීනය ඩෙන්සියාවෝ පින්ග් යටතේත් ආර්ථික නිදහස්කරණයට ලක්වීමෙන් පසු කෙටි කලක් තුළදී ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තේය. ලොව ජන සංඛ්‍යාවෙන් පළමු වන තැනත් දෙවැනි තැනත් හිමිකරගෙන තිබූ චීනය සහ ඉන්දියාවේ මෙම වර්ධනය තුළ දියුණුවට පත්වූ ලොව විශාලතම වෙළෙඳපොළ දෙක සමග එකතුවීමට ඇමරිකාව සහ බටහිර රටවල් විශාල උනන්දුවක් දැක්වූයේය. එම රටවල් සමග වෙළෙඳ කටයුතු සහ ආයෝජන අවස්ථා තමන්ට අත්කර ගැනීම සඳහා තරගකාරී ලෙස ඉදිරිපත් විය.

එහෙත් රටවල් දෙක අත්කරගත් ආර්ථික දියුණුව ඇමරිකාවට සහ බටහිර රටවලට දැඩි තර්ජනයක් වී ඇත. චීනය දැන් ආර්ථික වශයෙන් පසුපසින් සිටින්නේ ඇමරිකාවට පමණි. ලොව දෙවැනි ආර්ථිකය හිමි චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 19කි. ඇමරිකාවේ ට්‍රිලියන 30කි. එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටින ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 4.4කි. ඇමරිකාව මෙම රටවල් දෙකම තමන්ට තර්ජනයක් ලෙස සලකන අතර තීරුබදු හා අනෙකුත් බාධක මගින් එම රටවල වර්ධනය වළක්වා දැමීමට උත්සාහ කරනු ලබයි. ට්‍රම්ප් බලයට පත්වනතුරුම ඉන්දියාව ඇමරිකාවේ සමීප මිත්‍රයකු බවට පත්ව තිබුණි. එහෙත් චීනය පමණක් නොව ඉන්දියාව ද තමන්ට තර්ජනයක් බව වටහා ගත් ට්‍රම්ප් චීනයට බෙදන හැන්දෙන්ම ඉන්දියාවට බෙදීමට ද කටයුතු කරමින් සිටී.

චීනය සහ ඉන්දියාව විසින් ලෝක ආර්ථික පිළිවෙත විප්ලවීය වෙනසකට බඳුන් කරමින් සිටින බව නිව්ස්වීක් සඟරාව විසින් කරන ලද අධ්‍යනයක් මගින් හෙළිකර තිබේ. එම අධ්‍යයනය පදනම් කරගෙන ඇමරිකාවේ මැක්ග්‍රෝහිල් (McGraw-Hill) ප්‍රකාශන ආයතනය මගින් චින්ඩියා (Chindia) නමින් පොතක් ප්‍රකාශයට පත්කර තිබේ. එහි හරය වී ඇත්තේ ආසියාවේ චීනය සහ ඉන්දියාව බලගතු ආර්ථිකය බවට පත්වන බවත් ‘චින්ඩියා’ යන්න එම දෙරට එකතුවෙන් ගොඩනැගෙන ලොව ප්‍රබල ආර්ථිකය හැඳින්වීම සඳහා යෝග්‍ය බවත්ය. ඉන්දියාව ඇමරිකානු ඩොලරය වෙනුවට ඩිජිටල් මූල්‍ය ඒකකයක් ඇතිකර ගැනීම සඳහා වූ යෝජනාව මේ වසරේ මැද පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට ඉදිරිපත් කර තිබේ. එවැනි ක්‍රියාවලින් පැහැදිලි වන්නේ ඇමරිකාවේ ආර්ථික බාධකවලට යටත්වීමට ඉන්දියාව සූදානම් නැති බවත් ක්‍රමයෙන් චීනය සමග ආර්ථික සම්බන්ධතා පුළුල් කර ගැනීමේ විකල්පයකට යොමුවීමට එය සූදානම් බවත්ය.

දැන් ලොව වැඩිම ජනගහනයක් ඇති රට ඉන්දියාව බවට පත්වී ඇත. චීනය දෙවැනි තැනට පත්ව තිබේ. ලොව වැඩිම ජනගහනයක් ඇති රටවල් දෙකත්, ලොව තෙවැනි සහ හතරවැනි ආර්ථිකය ඇති රටවල් දෙකත් එකතු වී චින්ඩියා ලෙස හැඳින්වෙන මහා ආර්ථිකය ගොඩ නැගීමට මග පෑදී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් මුහුණ දී සිටින චීන - ඉන්දියා ගැටුමෙන් අත්මිදී තමන්ගේ නිදහස තහවුරු කරගෙන ලෝකයේ මහා ආර්ථිකයේ ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාවක් සැලසෙන්නේ නම් එය එම රටවල සියලු‍ ජනතාවගේ සංතුෂ්ඨියට හේතුවනු ඇත.

(***)