මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ ප්‍රශ්න කීපයක් එකවර මතු වී ඇති මොහොතකය. ඒවා එකිනෙකට වෙන්ව පවතින, අහම්බෙන් එකට සම්බන්ධ වූ ගැටලු‍ නොව, එකම ව්‍යුහාත්මක අර්බුදයක විවිධ මුහුණුවර බව දැන් පැහැදිලි වෙමින් පවතී.

ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය, රාජ්‍ය පාලන අසාර්ථකතාව, අධ්‍යාපන පද්ධතියේ බිඳ වැටීම සහ සමාජ විශ්වාසයේ විනාශය යන මේ සියල්ල එකම කතාවක කොටස්ය. මේ කොටස් සියල්ල එකවිට මතු වූ ඒවා නොවූවත් සමාජය තුළ මතුවෙමින් පවතින බව හැමෝටම පැහැදිලිය.

ආණ්ඩුවේ සමහරුන් සිතන්නේ මේ ප්‍රශ්න සඳහා එකම විසඳුම ඇත්තේ ‘හොඳ කතාවක්’ කිරීම බවය. ආණ්ඩුවේ සමහර නායකයන් කතා කරන්නේ ඒ අය ප්‍රශ්නය පැහැදිලි කරන්නට දන්නවා යන කාරණය පෙන්වීමට​ය. ඇත්තටම ප්‍රශ්නයක් ගැන කතා කිරීම සහ එය විසඳීමට වැඩ කිරීම යනු එකක් නොව දෙකක් ය. ප්‍රශ්නය​ක් ගැන කතා කිරීම විපක්ෂයේ සිටින විට කළ හැකි එකම දෙය විය හැකි වුවත් ආණ්ඩුවක් ලැබී කරවන විට ‘කතා පැවැත්වීමෙන්’ පමණක් කළ හැකි දෙයක් නැත. මේ සත්‍ය තේරුම් ගන්නේ නැති තාක් ආණ්ඩුවේ අය විපක්ෂයේ සිටි කාලයේ කළ කතාම නැවතත් කරනවා හැර ප්‍රශ්න විසඳීමක් කරන්නේ නැති බව ඉතාමත් පැහැදිලිය.

අද අප මුහුණ දී සිටින්නේ “ප්‍රශ්න තියෙන රටක්” නොව, ප්‍රශ්න නිපදවන පාලන ක්‍රමයක් ඇති රටකටය. එය මේ ලිපියේ මූලික තර්කයයි. ඒ කියන්නේ එක් පැත්තකින් රට තිබෙන්නේ තියෙන ප්‍රශ්න තවත් වැ​ඩි කරනවා මිස විසඳන්නේ නැති තත්වයක බවය. තවත් පැත්තකින් රටේ සමහර ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙමින් තිබෙන බවය.

 

IMF වැඩසටහන සහ ජන ජීවිතය

රජය නිතරම පෙන්වා දෙන ප්‍රධාන සාර්ථකත්වය වන්නේ IMF සමග ඇතිකර ගත් එකඟතාවයි. එය රට බංකොලොත්භාවයෙන් ගලවා ගත් එකම මාර්ගය ලෙස ජනතාවට ඉදිරිපත් කෙරේ. මේ වැඩේ පටන් ගත්තේ පසුගිය වික්‍රමසිංහ රජය කාලයේය. ඒ දිනවල සිටම අප කියා සිටියේ IMF සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය තත්වයකට රට පත් වී තිබෙන බව සත්‍යයක් වුවත් ඒ අය සමග කර ඇති එකඟතාව පිළිබඳව යළි සලකා බැලිය යුතු බවයි. ඒ දිනවල ජවිපෙ මන්ත්‍රීවරුන් තිදෙනා සිටියේත් ඒ මතයේය. ඔවුහු මේ වැඩසටහනට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඡන්දය ද පාවිච්චි කළෝය. එහෙත් දැන් ඔවුන් වැඩ කරන්නේ තමන්ගේම වැඩසටහනක් IMF එක හරහා කරවා ගන්නා ආකාරයටය.

දැන් ප්‍රශ්නය වන්නේ IMF වැඩසටහන සාර්ථක ද නැද්ද කියා නොව, ඒ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සහ එහි බර බෙදා හරින්නේ කෙසේ ද යන්නයි.

බදු වැඩිවීම්, රාජ්‍ය වියදම් කප්පාදු, සහනාධාර සීමා කිරීම, රාජ්‍ය සේවයේ වගකීම් වැඩි කිරීම මේ සියල්ල ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් ඇති කර තිබේ. එහෙත් ඒ බර සමාජයේ සියලු‍ම පන්තිවලට සාධාරණ ලෙස බෙදා ගත් බව කිව නොහැකිය. විශාල ආදායම් සහ බලය ඇති පිරිස්වලට වඩා මේ වැඩසටහනේ බර දරාගෙන යන්නේ සාමාන්‍ය වැටුප් ලබන ස්වයං රැකියා කරන සහ දුප්පත් ජනතාවයි.

ආර්ථික ස්ථාවරත්වය කියා පෙන්වන සංඛ්‍යා ලේඛන, විදේශ සංචිත, මුදල් ඒකක ස්ථාවරත්වය, ණය නැවත ගෙවීමේ කාලසටහන් යනාදිය ජන ජීවිතයට පරිවර්තනය නොවන්නේ නම්, ඒවායේ දේශපාලන සහ සමාජ අර්ථය අහිමිවේ. ආර්ථිකය කියන්නේ අංක ගණන් පමණක් නොව, ජනතාවගේ ජීවිතය බව රජය තේරුම් ගෙන නොමැති බව මෙහි ප්‍රධාන ගැටලු‍වයි.

 

කයිවාරු රාජ්‍ය පාලනය

මෙම සියලු‍ ගැටලු‍ අතරින් වඩාත් භයානක ගැටලු‍ව වන්නේ, වර්තමාන රජය ක්‍රියාත්මක කරගෙන යන්නේ ක්‍රියාත්මකවීම් නැති, කයිවාරුකාර රාජ්‍ය පාලනයක් වීමයි. දෛනිකව ජනතාවට ඇසෙන්නේ දැක්ම, සැලසුම්, ප්‍රතිසංස්කරණ, නව යුගයක් ගැන කතාය. එහෙත් ඒවා ක්‍රියාවට නැංවෙන තැනට පැමිණෙන්නේ නැත.

රාජ්‍ය පාලනය කියන්නේ ප්‍රකාශන කළමනාකරණය නොවේ. එය නීති, ආයතන, ක්‍රියාත්මක කිරීම සහ වගකීම් මත පදනම් වූ පද්ධතියකි. එහෙත් අද දකින්නේ තීරණ ගන්නා නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි හෝ කැමැති නොවන හෝ රාජ්‍යයකි. නීතිය ක්‍රියාත්මක වන්නේ දුර්වලයන්ට පමණක් බවත්, බලවතුන්ට නීතිය නවතින බවත් යන සමාජ හැඟීම ශක්තිමත් වෙමින් පවතී.

මේ කයිවාරුකාර පාලනයේ ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව, දූෂණයට ඉඩ ඇති පරිසරය සහ ජන විශ්වාසයේ සම්පූර්ණ බිඳ වැටීමයි. රජයක් බලය භාවිත කිරීමට නොහැකි හෝ නොකැමැති නම්, එය බලය තිබෙන රජයක් නොව, බලය තිබෙන බව කියන නමුත් ක්‍රියාත්මක නොවන රජයක් පමණක් වේ.

මේ කාරණය පිළිබඳව බරපතළ ආකාරයෙන් ආණ්ඩුව සලකා බලන්නේ නැත්තේ ඔවුන්ට තමන් පිළිබඳව තිබෙන අධි තක්සේරුව නිසාය. “සියල්ල දත්” සංකල්පයෙන් සිටින තාක් කල් මේ වැඩේ හරියන්නේ නැත.

 

දේශපාලන අර්බුදය

මෙම පාලන අසාර්ථකතාව තවත් ගැඹුරු වන්නේ දේශපාලන අර්බුදය හේතුවෙනි. ජනතාව විසින් පැහැදිලිව ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන සංස්කෘතියක් නව නාම සහ නව කතා මගින් නැවත සජීවී කිරීමට උත්සාහ කිරීමක් දැකිය හැකිය. ජන වරම, ජන මතය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන වචන නිතර භාවිත වුව ද, ඒවා ක්‍රියාවලිය තුළ ගරු කෙරෙන්නේ නැත. සමහරුන් කියන්නේ ‘ගහලා හරි බලය තියා ගන්නවා’ කියාය. තවත් සමහරුන් සිතන්නේ රටේ සිදුවී තිබෙන්නේ ‘විප්ලවයක්’ වැනි තත්වයක් බවත් ඒ අය කැමැති කාලයක් බලයේ සිටීමට අයිතියක් තිබෙනවා වැනි කතාය. ඒත් බිම තිබෙන තත්වය එයට වඩා හුඟක් වෙනස් එකක්ය. පොඩි සමූපකාර ජන්දයක්වත් යළිත් දිනන්නට නොහැකි තත්වයකට ආණ්ඩුව පත් වෙමින් පවතී.

පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා සහ නීති පද්ධතිය ජනතාවට විශ්වාස කළ හැකි ආයතන ලෙස ක්‍රියා නොකරන විට, ප්‍රජාතන්ත්‍රවාදය නාමික සංකල්පයක් බවට පත්වේ. මෙය රටේ දේශපාලන අනාගතයට ඉතා භයානක සංකේතයකි.

මේ දිනවල මතුවී ඇති විගණකාධිපති පත් නොකිරීමේ ප්‍රශ්නයෙන් පෙන්වන්නේ දේශපාලන අර්බුදයේ තරමය. ජවිපෙ පාලනයක් යටතේ විගණකාධිපති තනතුර මෙවැනි අවුලකට වැටේ යැයි ජවිපෙ විරෝ​ධියකුවත් මීට පෙර සිතුවේ නැත. මා නම් කිසිම දිනක මෙවැනි තත්වයක් ඇතිවේ යැයි සිතුවේ නැත. මේ කාරණය තේරුම් ගැනීමටත් අමාරු තත්වයකි. විගණකාධිපති තනතුරට ඒ දෙපාර්තමේන්තුවට පිටින් කෙනකු පත් කරන්නට ජවිපෙ වැනි පක්ෂයක් උත්සාහ කිරීම තේරුම් ගන්නේ කෙසේදැයි ඒ පක්ෂයට ජන්දය දුන් අයට වුවත් ප්‍රශ්නයක් විය හැකිය.

 

අධ්‍යාපන අර්බුදය

මෙම සියලු‍ අර්බුද අතරින් දිගුකාලීනව වඩාත් විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටලු‍කාරීත්වයයි. රටක අනාගතය නිර්මාණය වන්නේ එහි අධ්‍යාපන පද්ධතියෙනි. එහෙත් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ගැටලු‍ සහගත තත්වය​ක් බවට පත්වෙමින් පවතී.

පාසල් පද්ධතිය තුළ ගුරුවරුන්ගේ හිඟය, පහසුකම් අඩුව සහ විෂය නිර්දේශ යථාර්ථයට නොගැළපීම දැඩි ගැටලු‍වකි. විභාග මධ්‍යගත අධ්‍යාපනය සිසුන්ගේ විවේචනශීලී චින්තනය, නිර්මාණශීලීත්වය සහ සමාජ දැනුවත්භාවය මර්දනය කරයි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දේශපාලනීකරණය, පර් යේෂණ දුර්වල වීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය අහිමිවීම පැහැදිලිව දැකිය හැකිය.

අධ්‍යාපනය රැකියා සහතික ලබාදෙන යන්ත්‍රයක් බවට පමණක් පත් වූ විට, රටට අවශ්‍ය නව අදහස්, නව නායකත්වය සහ නව ආර්ථික මාර්ග බිහි වන්නේ නැත. එහි ප්‍රතිඵලය වන්නේ විදේශ ගමන් ගැන සිතන තරුණ පරපුරක් සහ රට තුළ ඉතිරිවී කුමක් කළ යුතුදැයි නොදන්නා සමාජයකි.

මේ දවස්වල මතුවී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු‍කාරීත්වය තවත් බරපතළ තත්වයක් මතු කර ඇත. මේ සම්බන්ධව විමර්ශනයක් කිරීම ඉතාමත් අවශ්‍යය. රටේ අධ්‍යාපනය සහ රටේ සභ්‍යත්වය එකට ගමන් කළ යුතුය. අධ්‍යාපනය හරහා සමාජ විෂමාචාර දරුවන්ට හඳුන්වා දීමට ඉඩදීම බරපතළ කාරණයකි. මේ පිළිබඳව මතුවී ඇති සංවාදයට ආණ්ඩුව කන්දිය යුතුය.

 

එකම අර්බුදයක විවිධ මුහුණුවර

මෙතෙක් කතා කළ සියලු‍ ගැටලු‍ ආර්ථිකය, රාජ්‍ය පාලනය, දේශපාලනය, අධ්‍යාපනය වෙන් වෙන් වූ ගැටලු‍ නොව, එකම ව්‍යූහාත්මක අර්බුදයක විවිධ මුහුණුවර බව දැන් පැහැදිලිය. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වේ. දේශපාලන අර්බුදය රාජ්‍ය පාලන අසාර්ථකතාවක් බවට පත්වේ. ඒ සියල්ල එක්ව සමාජ විශ්වාසය විනාශ කරයි.

මේ අර්බුදය විසඳීමට අවශ්‍ය වන්නේ තාවකාලික පියවර නොව, මූලික වශයෙන් වෙනස් වූ දේශපාලන සහ සමාජ දැක්මකි. ජනතාවට විශ්වාස කළ හැකි පාලනයක්, ක්‍රියාත්මක වන රාජ්‍යයක් සහ අනාගතය ගොඩ නගන අධ්‍යාපන පද්ධතියක් නොමැති නම් අද පෙන්වන “ස්ථාවරත්වය” හෙට බිඳ වැටෙන එකක් පමණක් වනු ඇත.

එබැවින් මෙවර කිවිදා දැක්මෙන් අසන්නට කැමැති ප්‍රධාන ප්‍රශ්නය මෙයයි. අප මුහුණ දී සිටින්නේ රටක් අර්බුදයට පත් වූ තත්වයකට ද, නැත්නම් අර්බුදය නිපදවන පාලන ක්‍රමයකට ද? මෙම ප්‍රශ්නයට පිළිතුර ඉතාමත් පැහැදිලිය. වසර 76ක පාලනයක් පිළිබඳව කතා මාලාවක් හරහා ඒ වසර 76 ටත් වඩා දුර්වල පාලනයක් නිර්මාණය වී ඇති බව ඉතාමත් පැහැදිලි සත්‍යයකි.

රටට අවශ්‍ය වන්නේ කයිවාරු නොව, ක්‍රියාත්මක වන පාලනයකි. සංඛ්‍යා ලේඛන නොව, ජන ජීවිතයයි. සහතික නොව, චින්තනයයි. ඒ දිශාවට ගමන් නොකළහොත් අද අප කතා කරන ගැටලු‍ හෙට තවත් දැඩි ආකාරයෙන් නැවත අප ඉදිරියට පැමිණෙනු ඇති බව මගේ අදහසය.

 

(***)