ලෝක දේශපාලන පර්යායෙහි බලවත් රාජ්‍යයන්, නැගී එන බලවතුන් සහ පවතින ක්‍රමය වෙනස් කළ යුතුය යන ආකල්පයෙන් කටයුතු කරන රාජ්‍ය සිටියි. ඉරානය අයත් වන්නේ තුන් වැනි කාණ්ඩයටයි.

ලෝක දේශපාලනයේ අධිපතිත්වය දරන්නේ බලය හිමි රාජ්‍ය වන අතර එම රාජ්‍ය ඉරානය හඳුන්වන්නේ පවතින ලෝක ක්‍රමය ආපසු හැරවීමට උත්සාහ දරන බලවතකු හැටියටය. මේ නිසාම ඇ‍මෙරිකාව ප්‍රමුඛ බටහිර බලවත්හු පසුගිය කාලයේ දී ඉරානයට විරුද්ධව නොයෙක් සම්බාධක පැනවූහ. එමෙන්ම ඉරාන අභ්‍යන්තර දේශපාලනය ද ඉකුත් කාලයේ දී යම් වෙනසකට ලක් වෙමින් තිබිණි. ක්‍රම වෙනසක් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යවලට හිමි වන සුවිශේෂ වාසියක් වන්නේ රට අභ්‍යන්තරයෙන් ඊට සහායක් හිමි වීම ය. එහෙත් පසුගිය වසරේ දී ඉරානයේ උද්ගත වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් ඉරාන පාලකයන්ට ලැබෙන ජනතා සහයෝගයෙහි යම් පිරිහීමක් ද දක්නට ලැබිණි.

මෙපරිදි ඉරානයට බාහිරින් එල්ල වන බලපෑම් තීව්‍ර වීමත් අභ්‍යන්තර පාලනය දුර්වල වීමත් එකවර සිදු විය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට අදාළ සාකච්ඡා ද යම් තීරණාත්මක අදියරකට පැමිණ තිබිණි. ඉරානයත් ඇමෙරිකාව සහ ඊශ්‍රායලයත් කේන්ද්‍ර කරගෙන උද්ගත වූ මේ යුද තත්වය තේරුම් ගත යුත්තේ මේ සන්දර්භය සිත්හි තබාගෙන ය. එසේම ලෝක දේශපාලනයේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමෙරිකාව ස්ථානගත කරන්නේ කෙසේ ද යන්නත් මෙහිදී ඉතා වැදගත් සාධකයකි. ඔහුගේ භාවිතය පිරික්සීමේ දී පෙනී යන්නේ පළමුව අනතුරු ඇඟවීම් කිරීමත් අදාළ රාජ්‍යය එය නොපිළිපදින්නේ නම් යුදමය ක්‍රියාමාර්ග ගැනීමත් ය. එහිදී ජාත්‍යන්තර නීතිය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, ජාත්‍යන්තර ආයතන පද්ධතිය ගැන ඔහු තැකීමක් කරන්නේ ද නැත. ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනත් රටවල් සම්බන්ධයෙන් කළ මෑතකාලීන මැදිහත්වීම්වල දී මතු වන ප්‍රශ්නය නම්, ජාත්‍යන්තර නීතිය සහ ආයතන පද්ධතිය තවදුරටත් අදාළ ද යන්න ය.

මගේ තේරුම් ගැනීමේ හැටියට ඇමෙරිකාවට වැදගත් වන්නේ මේ ආකාරයට තමන්ගේ බලය පෙන්වීම ය. ඇමෙරිකානු ගෝලීය බලය සහ ආධිපත්‍යය පිරිහෙමින් පවතින බව පොදුවේ ප්‍රකාශ වුවත් තමන්ගේ හැසිරීම මෙබඳු යැයි ඇමෙරිකාව ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිටියි. ලෝක ක්‍රමය උභතෝකෝටික යුගයකට ප්‍රවිෂ්ට වී ඇති බව පෙනේ. ඇමෙරිකාව හා ඉරානය අතර පසුගිය කාලයේ දී ආතතිකාරී සබඳතා වර්ධනය වුව ද මහා පරිමාණ ගැටුම් ඇති නොවිණි. එහෙත් දැන් උද්ගතව ඇති තත්වය වෙනස් ය.

මීට ඉහතදී ඇමෙරිකාව වෙනත් රටවල් සම්බන්ධව කළ මැදිහත්වීම්වල බලහත්කාරී බවක් බැලූ බැල්මට නොපෙනුණි. ඒ වෙනුවට ඒ ඒ රටවල විපක්ෂය හෝ වෙනත් ආණ්ඩු විරෝධී මත දරන කණ්ඩායම්වලට සහාය දෙමින් සිය අරමුණු ඉටු කර ගත්තේ ය. එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු කරන ලද මැදිහත්වීම් කිසිදු වගවීමක් නොමැති ජාත්‍යන්තර නීතියට පටහැණි බලහත්කාරය මත කරන ලද ඒවා ය. මේ පසුබිමේ වෙනත් බලවත් රාජ්‍යවලට විශාල වගකීමක් ඇත. එම රාජ්‍ය එකතු වී ජාත්‍යන්තර සංවිධාන පද්ධතිය සම්බන්ධ කරගෙන ලෝක සාමය පවත්වා ගත යුතු ය.

මේ යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ ඇමෙරිකානු හිතවාදී ආණ්ඩුවක් බිහිවේ ද යන්න ගැනත් එවැන්නක් සිදු වුවහොත් ලෝක දේශපාලන පර්යායේ කවර වෙනස්කම් සිදුවේ ද යන්න ගැනත් මේ වෙද්දී යම් උනන්දුවක් ඇති ව තිබේ. ඒ අරබයා උද්ගත විය හැකි වෙනස්කම් පිළිබඳ මම අවධානයෙන් පසුවෙමි. ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ ඝාතනයෙන් පසුවවත් ඉරානය වෙනුවෙන් කිසිදු රටක් ඉදිරිපත් වූ බවක් පෙනෙන්නට නොතිබිණි. ඉරානය බිත්තියටම හේත්තු වී ඇති බවක් පෙනේ. එය හානිකර ය.

එසේ වුවත් උත්සන්න වෙමින් පවතින මේ යුදමය වාතාවරණය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් පසුගිය පෙබරවාරි 28 වැනි දින කැඳවනු ලැබ තිබූ අතර එහිදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අවධාරණය කළේ මේ ගැටුම්කාරී තත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා සියලු දේ කරන බවය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ න්‍යෂ්ටික සුරක්ෂිතතාව ඇතුළු අන්තර්ජාතික නීතිය යටතේ සියලු පාර්ශ්වවලට පැවරී ඇති වගකීම් ඉටු කරන ලෙස තමා ඉල්ලා සිටින බව ද එහිදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

තම රටට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමෙරිකානු යුද කඳවුරුවලටත් ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයකටත් ප්‍රහාර එල්ල කළේ ය. එබැවින් මේ වෙද්දී මැදපෙරදිග කලාපයේ තියුණු යුද උණුසුමක් ඇති ව තිබේ. මේ තත්වය කිසි ලෙසකවත් ලෝක සාමයට හිතකර නොවේ. ගෝලීය වෙළෙඳපොළ සහ එහි දේශපාලන ආර්ථිකයට ද මෙයින් අහිතකර බලපෑම් එල්ල වේ. එනයින් මේ යුද තත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ දිය නොහැකි ය. එමෙන් ම බලවත් රාජ්‍යයන් එය වැළැක්වීමට සාධනීය මැදිහත්වීමක් කරතියි දැනට කිව නොහැකි ය. මේ සන්දර්භයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය සහ ජාත්‍යන්තර නීති පද්ධතිය ඇතුළත ලෝක සාමය අරබයා තියුණු මැදිහත්වීමක් කරන්නට දෙවැනි පෙළ රාජ්‍යවලට සිදු වේ. එහෙත් එවැන්නක් වෙන බවක් ද නොපෙනේ. ඉරානය සමග සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් සෙසු රටවල මැදිහත්වීම අවැසි ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු සාමාජික රාජ්‍ය එකට එකතු වී සාමය, සහයෝගය ගොඩ නගා ගැනීම වෙනුවෙන් පිහිටුවන ලද්දකි. අරමුණ එය වුවත් එම සංවිධානය බලවත් රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් බවට ක්‍රමයෙන් පත්ව ඇත. එහි උච්චතම අවස්ථාව මෙයයි. එම සංවිධානයේ ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න සහ සීමා නිසා බලවත් රාජ්‍යවල න්‍යාය පත්‍ර අනුව එහි හැසිරීම තීරණය වන බවක් දැකිය හැකි ය. එසේ වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසුරුවා හැරීම හෝ එහි සාමාජිකත්වයෙන් ඉවත්වීම මේ ප්‍රශ්නයට විසඳුම නොවේ. මේ අර්බුදය විසඳිය හැක්කේත් එම සංවිධානය සහ එහි ආයතන පද්ධතියටයි. ඒ, තනි තනි වශයෙන් රටවලට කළ හැකි මැදිහත්වීම සීමාසහිත නිසා ය.

මේ ගැටුම් අතරවාරයේ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය වීමත් සමග ඇතැම් ඉරාන වැසියන් මහමගට බැස ප්‍රීතිය සමරන දර්ශන ද දැකගන්නට ලැබිණි. එය තරමක් පැටලිලි සහගත ය. හේතුව, එකම අවස්ථාවේ ප්‍රශ්න ගණනාවක් උද්ගතව ඇති හෙයිනි. මෙහිදී අපට ඉරානයේ අභ්‍යන්තර ගතිකයන් බැහැර කළ නොහැකි ය. විශේෂයෙන්ම ඉරාන ජනතාවට අවශ්‍ය වන්නේ කුමක් ද යන්න ගැන සාවධාන වීම වැදගත් ය. එහිදී පෙනෙන්නේ ඔවුන්ට මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අවශ්‍ය බව ය. කෙසේ වෙතත් මෙහිදී විමසිලිමත් විය යුත්තේ ගැටුම්වලින් පසු ඉරානයේ සිදු විය හැකි දේවල් ගැන ය. ඇමෙරිකාවට හිතවාදී පාලනයක් බිහිවේද නැතිනම් ඉරාන ජනතාවට අවශ්‍ය පාලනයක් ගොඩනැගේ ද යනාදී තත්ව ගැන පුරෝකථනය කිරීම අපහසු ය. ඉරාන පාලන තන්ත්‍රයේ ඓතිහාසිකව දැකිය හැකි ප්‍රශ්නය එනම්, ආගමික සන්දර්භය හා සම්ප්‍රදායය මුල්කර ගැනීමෙහි සම්පූර්ණ වෙනසක් මේ අවස්ථාවේ සිදුවේ ද යන්න අපැහැදිලි ය. හේතුව, ඒ ආකාරයේ ආගමික පදනම සහ සම්ප්‍රදායය ඉවත් වූ පාලනයක් කරා යන තත්ව්යක් ගොඩ නැගී නැති නිසා ය.

යම් හෙයකින් මේ ගැටුම දිග් ගැස්සුණහොත් සහ තවත් බලවත් රටවල් ඊට එකතු වුවහොත් මේ ලෝකයේ සිදු විය හැකි අවාසනාවන්ත සහ ඛේදනීය සංසිද්ධිය එය වනු ඇත. අවි ආයුධ සහ තාක්ෂණය අතින් ලෝකය විශාල දියුණුවක් ළඟා කරගෙන තිබේ. ඉරානයේ ඩ්‍රෝන හැකියාව විශේෂ වෙන අතර එරට සතු අවි ප්‍රමාණය ගැන නිශ්චිත සංඛ්‍යා දත්ත ද නැත. ඒ සම්බන්ධ පුරෝකථන නිවැරැදි වන්නටත් වැරැදි වෙන්නටත් පිළිවන. කවර ලෙසකින් සැලකුව ද පවතින යුදමය වාතාවරණය දිග් ගැස්සීම ලෝක සාමයට, ආර්ථිකයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර වන්නේ නැත. මේ යුදමය උණුසුම අවම කිරීම සඳහා ගත හැකි සියලු‍ ක්‍රියාමාර්ග ගත යුතු ය.

මේ යුද්ධය තවදුරටත් පැවැතිය හොත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට පිළිවන. බොර තෙල් සැපයුම් ජාලයට හානි වීමෙන් සාමාන්‍ය පරිදි ඒවා මිලදී ගැනීම අසීරු වන්නට ද පුළුවන. ඉරානය අපගේ ප්‍රධාන තේ ගැනුම්කරුවෙකි. ඇතිවන අස්ථාවර තත්වය හමුවේ තේ අපනයනයට බාධා එල්ල වුවහොත් එමගින් ඇතිවන ආර්ථික බලපෑම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. එසේම මැද පෙරදිග රටවල ලාංකිකයෝ විශාල පිරිසක් සේවය කරති. ඊශ්‍රායලයේත් ශ්‍රී ලාංකිකයෝ සේවය කරති. මේ පසුබිමේ මේ ප්‍රජාවටත් එයින් අහිතකර බලපෑම් එල්ල විය හැකි ය. මේ ගැටුම් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා රජය වඩාත් ක්‍රියාකාරී වීම වැදගත් බව මගේ හැඟීමයි. එහිදී මැදපෙරදිග කලාපයේ වෙසෙසින්ම කුවේට්, කටාර් වැනි රටවල ජීවත් වන ලාංකික ප්‍රජාව ගැන විශේෂ අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ. හේතුව, ගැටුම කවර දිශාවකට ගමන් ගනියිද යන්න ගැන නිශ්චිතව කිව නොහැකි හෙයිනි. එබැවින් ඒ රටවල ජීවත් වන ජනතාව යළි මෙරටට ගෙන්වා ගැනීම හෝ වෙනත් සුදුසු පියවරක් හෝ ගත යුතු ය. ලාංකිකයන් විශාල පිරිසක් එම කලාපයේ රටවල සේවය කරන බැවින් උද්ගතව ඇති මේ තත්වය අපට ඉතා සංවේදී ය.

(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)