ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව සම්බන්ධයෙන් ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සැලකිය හැක්කේ සෘජු ආක්‍රමණයකට වඩා ආක්‍රමණශීලී ප්‍රහාරයක් හා පැහැර ගැනීමක් හැටියටය. 2003 දී ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ නියෝග මත ඇමෙරිකානු හමුදා ඉරාකයට ගොඩ බැස එරට අල්ලා ගත්තේය. එහෙත් වෙනිසියුලාව සම්බන්ධව කළ මැදිහත්වීම ඊට තරමක් වෙනස්ය.
එය ඇමෙරිකාව විසින් ක්‍රියාවේ යොදවන ලද පැරැණි මූලෝපායික භාවිතයක් ලෙස ද හැඳින්විය හැකිය. මීට ශතවර්ෂයකට පමණ ඉහත දී ඇමෙරිකානු යුද නෞකා වෙනත් රටවලට ගොස් එම රටවල ආණ්ඩු පෙරළා දැමීම් හෝ නායකයන් ඝාතනය කිරීම් කරන ලද අතර එම භාවිතය “ගන්බෝට්“ රාජ්‍ය තාන්ත්‍රිකත්වය වශයෙන් හැඳින්විණි. එහි දී ආක්‍රමණයට නතු වූ රටවල් යටත් කරගැනීමක් සිදු නොවිණි. මෙම භාවිතයට විරුද්ධව 1920 ගණන්වල නිකරාගුවාවේ දී ප්‍රසිද්ධ ගරිල්ලා සටනක් ද හටගත්තේය. එම ඓතිහාසික සන්දර්භය සමග මෙම ආක්‍රමණය සැලකීමේ දී පැහැදිලි වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ ද එකී ශතවර්ෂාධික පැරැණි උපක්‍රමය බවයි.
එහෙත් මේ සංසිද්ධිය සමග යන ධර්මතාව ඉතා භයානක වේ. එම ධර්මතාව මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ ජේම්ස් මොන්රෝ ජනාධිපතිවරයා 1800 ගණන්වලදීය. මොන්රෝ ධර්මතාව ලෙස එය හැඳින්වේ. ලෝක ගෝලයේ බටහිර අර්ධ ගෝලයේ ප්‍රධාන බලවතා ඇමෙරිකාව බවත්, මෙම කලාපයෙන් පරිබාහිර බලවතුන්ට කටයුතු කිරීමට ඇමෙරිකාව ඉඩ නොදෙන බවත් එම ධර්මතාවෙන් මූලිකව ප්‍රකාශ විය. වෙනිසියුලානු සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ එම ධර්මතාවට ඇමෙරිකාව නැවත හැරී ඇති බවයි. එය ඇමෙරිකානු නූතන විදේශ ප්‍රතිපත්තියෙහි නව හැරවුමක් වශයෙන් ද ගිණිය හැකිය.
පවතින ලෝක පර්යාය සකස් කිරීමට මුල්තැන ගෙන ක්‍රියා කළේ ඇමෙරිකාවයි. ඒ යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි සංවිධාන ව්‍යුහය, ජාත්‍යන්තර නීතිය සහ ගෝලීය වෙළෙඳපොළ නිර්මාණය කිරීමට එරට සුවිශාල දායකත්වයක් සැපැයුවේය. එහෙත් ට්‍රම්ප් පරිපාලනයේ අදහස වී තිබෙන්නේ ලෝක පර්යාය ඇමෙරිකාව මුල්වී සකස් කෙරුණ බව සැබෑවක් වුවද ඇමෙරිකාවට තර්ජනයක් වන තරගකරුවන් විශාල පිරිසක් නිර්මාණය වී ඇති බවත් ඔවුන් බටහිර අර්ධ ගෝලයේ ද ආර්ථික වශයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බවත්ය. මෙයින් ඇමෙරිකාවට අනර්ථයක් වන බැවින් ඇමෙරිකාවේ හමුදා බලය භාවිත කරමින් මේ ලෝක ක්‍රමය උඩුයටිකුරු කළ යුතු බවත් ට්‍රම්ප් පරිපාලනයේ මතවාදී ආස්ථානය වී තිබේ. තමන් නිර්මාණය කළ දේ ආපස්සට හරවා තමන්ට වඩාත් වාසිදායක ඓතිහාසික මොහොතක් නිර්මාණය කිරීම මෙම අලුත් නැඹුරුවේ ප්‍රධාන අරමුණ වේ. එයින් ලෝක දේශපාලන රටාවට විශාල කම්පනයක් අත්කර දී ඇත.
වෙනිසියුලානු ආක්‍රමණය සාධාරණීයකරණය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා නොයෙක් චෝදනා වෙනිසියුලානු නායකයාට එල්ල කළේය. වෙනිසියුලාව ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව එයින් ප්‍රධාන එකකි. එහෙත් ඇමෙරිකාවේ රාජ්‍ය ආයතනවල වාර්තාවලින් හෙළි වී ඇති ආකාරයට වෙනිසියුලාව ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ප්‍රවාහනය කරන රටක් නොවේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ආකාරයේ අසත්‍ය අවලාද නැගුව ද ඔහුගේ මුවින් එකවරෙක මේ ආක්‍රමණය පසුපස ඇති සත්‍ය හේතුව පිටට පැන්නේය. ඔහු කීවේ වෙනිසියුලාව අපේ තෙල් සොරකම් කළ බවය. “අපේ තෙල්” යන යෙදුම හාස්‍යජනකය. ඊට හේතුව වෙනිසියුලානු භූමියේ ඇති තෙල් අපේ තෙල් යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමය. එය තවදුරටත් විස්තර කරමින් ඔහු ප්‍රකාශ කළේ වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය නිෂ්පාදනය කළේ ඇමෙරිකාව වුවත් වෙනිසියුලාව සියරටට එරටේ තෙල් වෙළෙඳාම් කිරීමට ඇති අයිතිය අවහිර කළ බවය. ඔහු නොකියා කියන්නේ වෙනිසියුලාව එරටේ ඛනිජ සම්පත් ජනසතු කිරීම ගැනය.
වෙනිසියුලාවේ තෙල් සම්පත් ජනසතුකරණය කරන ලද්දේ මදුරෝ ජනාධිපතිවරයාගේ කාලයේදීවත් ඔහුගේ නායකයා වූ හියුගෝ චාවේස්ගේ කාලයේදීවත් නොවේ. එය සිදු වූයේ 1970 දශකයේදීය. එපරිදි ජනසතු කරන ලද වෙනිසියුලවේ තෙල් සම්පත නැවත අත්පත් කරගැනීම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අභිලාසය වී තිබේ. ඒ අරබයා ඔහු කෛරාටික ආකාරයට කටයුතු කර ඇත. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඉරාකය සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත වෙනිසියුලාව සම්බන්ධයෙන් ද අනුගමනය කළේ දැයි මාධ්‍ය මගින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාට ඉරකයේ තෙල් සම්පත් ඇමෙරිකාව සතු කරගැනීමට නොහැකි වුවද තමන් වෙනිසියුලාවේ තෙල් සම්පත තමන් සන්තක කරගන්නා බවය. මදුරෝ ජනාධිපතිවරයා පැහැර ගනු ලැබීමෙන් පසු මේ වනවිට වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ලැබ ඇතත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ එය තාවකාලික ආණ්ඩුවක් බවත් ඇමෙරිකාව සැබැවින්ම වෙනිසියුලාව පාලනය කරන බවත්ය.
දැනට ඇමෙරිකානු අත්අඩංගුවේ සිටින නිකොලස් මදුරොට ඉරාකයේ සදාම් හුසේන්ට සහ ලිබියාවේ මුවම්මර් ගඩාෆිට අත් වූ ඉරණමට මුහුණ දීමට සිදුවෙතැයි සිතිය නොහැකිය. ඉරාකයේ සහ ලිබියාවේ සිදුවූයේ ඇමෙරිකාව සහ එරටට හිතවත් රටවල් කිහිපයක් එම රටවල් අස්ථාවර කිරීමෙන් පසු ඒවායෙහි නායකයන් වශයෙන් සිටි සදාම් හුසේන්ගේ සහ ගඩාෆිගේ විරුධවාදීන් විසින් ඔවුන් ඝාතනය කරනු ලැබීමය. එහෙත් මදුරෝ රඳවා සිටින්නේ නිව්‌යෝර්ක් නුවර සිරගෙයකය. නිව්‌යෝර්ක් අධිකරණය හමුවේ ඔහුට විරුද්ධ චෝදනා පිළිබඳ නඩු අසනු ලබයි. එයින් ඔහුට ඉරාකයේ සහ ලිබියාවේ නායකයන්ට අත්වූ දරුණු ඉරණම අත්වේ යැයි සිතිය නොහැකිය.
වෙනිසියුලානු ආක්‍රමණයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ එය ජාත්‍යන්තර නීතියට ප්‍රබල ප්‍රහාරයක් බවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ ප්‍රහාරය ගැන සාකච්ඡා කිරීමට හදිසි සැසි වාරයක් කැඳවූ අතර, ඒ සම්බන්ධව පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වන්නේ ආරක්ෂක මණ්ඩලයේ දී ඇමෙරිකාව මතවාදී වශයෙන් පරාජයට පත්වී ඇති බවය. චීනය, රුසියාව පමණක් නොව නේටෝ සාමාජිකයකු වන ස්පාඤ්ඤය යන රාජ්‍යයයන් ද මේ ආක්‍රමණයට විරෝධය පළ කර ඇත. ප්‍රංශයත් ඒ අතර සිටියි. බ්‍රසීලය, මෙක්සිකෝව ඇතුළු තවත් දකුණු ඇමෙරිකානු රාජ්‍යයන් ගණනාවක් ද ඒ සම්බන්ධ සිය අප්‍රසාදය පළ කර තිබිණ. ඇමෙරිකාව හැර එම ආක්‍රමණය නිවැරැදිය යන ස්ථාවරයේ කිසිදු රාජ්‍යයක් නොසිටීම විශේෂත්වයකි. එය ඇමෙරිකාව රාජ්‍ය තාන්ත්‍රිකව ලද පරාජයක් හැටියට සැලකිය හැකිය.
මෙම පරාජයෙන් දින කිහිපයක් ඉක්බිතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන 31 කින් සහ ඊට අනුබද්ධ නොවන තවත් ස්වාධීන සංවිධාන තිස් ගණනකින් ඇමෙරිකාව ඉවත් විය. ඊට හේතු වූයේ මෙම ආක්‍රමණය හේතුවෙන් එම සංවිධාන අභ්‍යන්තරයෙහි ඇමෙරිකාව දරුණු මතවාදී ප්‍රහාරයන්ට ලක්වූ නිසාය. ට්‍රම්ප්ගේ ඇමෙරිකාවට සිදුව ඇත්තේ කොහොල්ලෑ බබාට සිදුවූ දෙයයි. ඇමෙරිකාවේ දැවැන්ත තෙල් කර්මාන්ත හිමිකරු ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කළේය. ආක්‍රමණයෙන් පසු වෙනිසියුලාවේ තෙල් සම්පත් දෙරටටම සාධාරණව බෙදා දෙන බව පවසමින් ඊට අදාළ ඉදිරි කටයුතු තීරණය කිරීමට ඔහු ඇමෙරිකාවේ සිටින ප්‍රධාන තෙල් කර්මාන්ත හිමියන් සමග ධවල මන්දිරයේ දී සාකච්ඡාවක් පැවැත්වුව ද එය අසාර්ථක විය. ඊට හේතු වූයේ ජනාධිපතිවරයා පවසන පරිදි වෙනිසියුලාවේ තෙල් සම්පතට ප්‍රවේශවීම පහසු නැති බවත් එරටේ ඇති නීතිරීතිවලින් ඊට ඉඩක් නොලැබෙන බවත් එම සාකච්ඡාවේ දී තෙල් කර්මාන්ත හිමියන් පෙන්වා දී තිබීමය. බලහත්කාරයෙන් එරටට ගිය ද ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න මතුවිය හැකි යැයි ද ඔවුන් පවසා ඇත. මේ සන්දර්භයේ ඇමෙරිකානු හමුදා එරටට යැවීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එහෙත් එවැන්නක් සිදු වුවහොත් ඇමෙරිකානු හමුදාවලට එරෙහිව වෙනිසියුලවේ ගරිල්ලා සටන් ඇති වීමට ද පිළිවන.
සිදුවීම් මෙපරිදි පෙළගැසෙනවිට ඇමෙරිකාවේ සෙනෙට් සභාව වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි දැක්වුණේ දෙවැනි වරටත් වෙනිසියුලාව ආක්‍රමණය කරන්නේ නම් ජනාධිපතිවරයා ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසයෙහි මණ්ඩල දෙකෙන්ම (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව) අනුමැතිය ගත යුතු බවය. එම යෝජනාවට පක්ෂව සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සභිකයන් මතු නොව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයෝ පස් දෙනෙක් ද ඡන්දය ප්‍රකාශ කළහ. එසේ වුවත් මේ යෝජනාව බලාත්මකවීමට කොංග්‍රසයේ මණ්ඩල දෙකෙහිම අනුමැතිය හිමි විය යුතුය. එම යෝජනාවෙහි ඇති ඇඟවුම වනාහි මෙම ආක්‍රමණය හමුවේ එරටේ විරුද්ධ පක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් කොටස් ද ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අතපය ගැටගසා ඇති බවයි.
මෙම ආක්‍රමණයෙන් පසු ට්‍රම්ප් ජනාධිපතිවරයා තවත් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයකට අනතුරු අඟවා තිබේ. අධිරාජ්‍යයක් ආර්ථික බලයෙන් හීන වෙමින් සිටින අවස්ථාවක උත්සාහ කරන්නේ තමන් සතු විශාල හමුදා බලය භාවිත කරමින් අධිරාජ්‍යය තත්වය ආරක්ෂා කරගැනීමටයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයකට කර ඇති තර්ජන තේරුම් ගත යුත්තේ ද එම පසුබිම සිත්හි තබාගෙනය. ඔහු මේ වනවිට කියුබාවට තර්ජනය කර තිබේ. කොලොම්බියා ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් එරටට පහර දිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙක්සිකෝවට ද ඔහුගේ තර්ජනාංගුලය එල්ල වී ඇත. අභ්‍යන්තර හේතු මත ඉරානයේ ජනතාව එරට ආණ්ඩුවට විරුද්ධව මේ දිනවල පෙළපාළි පවත්වන අතර ඒ ගැන අවධානය යොමු කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරාන ආණ්ඩුව පෙළපාළිකරුවන්ට පහර දුනහොත් ඇමෙරිකාව ඉරාන පාලනයට යුදමය වශයෙන් ප්‍රතිචාර දක්වන බවයි. එයට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව පවසා තිබෙන්නේ ඇමෙරිකාව ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගතහොත් ඊශ්‍රායලයටත් මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු සහ නෞකාවලටත් පහර දෙන බවය.
මේ වර්ධනයන්ගෙන් පැහැදිලි වන්නේ ලෝක බලවතාට තවදුරටත් එහි බලය ආරක්ෂා කර ගැනීමට නොහැකි වනවිට සෑම ප්‍රශ්නයකටම යුදමය ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් නග්න අධිරාජ්‍යවාදියකු ලෙස කටයුතු කිරීමට ඇමෙරිකාව යොමු වී ඇති බවයි. එය මතුපිටින් සහ කෙටිකාලීනව සාර්ථක යැයි පෙනුණ ද එයින් සිදුවන්නේ අර්බුද ගොන්නක් හට ගැනීමය. ඇමෙරිකාව දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද දරුණු අර්බුදයකට ඇදවැටීම එහි අවසන් ප්‍රතිඵලය වනු ඇත.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd