මේ ආණ්ඩුවේ සැබෑ ‘ලිට්මස්’ පරීක්ෂණය දැන් ආරම්භ වී තිබේ. පසුගිය දිට්වා සුළිකුණාටුව සමග රට මුහුණ දුන් ස්වාභාවික අනතුරේ දී, ආණ්ඩුවේ හැකියාව සහ සීමා අපට හොඳින් පෙනී ගියේය. කතා මට්ටමේ දී විශාල ප්‍රතිපත්ති, විශාල දැක්මක් සහිත නායකත්වයක් ලෙස පෙනී සිටිය ද, ක්‍රියාත්මක වීමේ දී එම හැකියාව දුර්වල බව හෙළි විය. එහිදී ආණ්ඩුව හැසිරුණේ “අපි නොදන්න චෙස්” ආකාරයෙන් ය. ඒ කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් වගේ ආකාරයෙන් ය.

එම අනතුර ඉක්මනින් පහව ගිය නිසා රටට ගැඹුරු පරීක්ෂණයකට මුහුණ දීමට සිදු නොවීය. එහෙත් දැන් ඇති වෙමින් පවතින තත්වය එවැනි සීමිත ස්වාභාවික අර්බුදයක් නොවේ. මෙය ගෝලීය ආර්ථිකය හා බලශක්ති සැපයුම සෘජුව සම්බන්ධ වූ, දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි භූ-දේශපාලනික අර්බුදයකි.

 

2022 අත්දැකීම

2022 ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ නවීන ඉතිහාසයේ වඩාත්ම කම්පනකාරී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඉන්ධන හිඟය නිසා රටේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අස්ථාවර විය. විදුලි කප්පාදු සාමාන්‍යකරණය විය. ප්‍රවාහන පද්ධතිය බිඳ වැටුණි. රෝහල්වලට පවා ඖෂධ හා ඉන්ධන හිඟ විය. කාර්යාල, පාසල්, කර්මාන්තශාලා - සියල්ලම ක්‍රියාකාරීත්වයෙන් පහළට වැටුණි.

මෙය සරල ආර්ථික ගැටලු‍වක් නොව, රාජ්‍ය පාලනයේ හා සැලසුම්කරණයේ අසාර්ථකත්වය පෙන්වා දුන් සිද්ධියකි. එවැනි අත්දැකීමක් ලැබූ රටක් ලෙස, අද මැදපෙරදිග උද්ගතව ඇති ගැටුම් හමුවේ අපට ඇති වගකීම වන්නේ එම අතීතයෙන් පාඩම් උගෙනීමයි.

එම අත්දැකීම හරහා අපි උගෙන ගත් පාඩම් රාශියක් තිබෙන බව ඉතාමත් පැහැදිලිය. එක් පාඩමක් වන්නේ රටේ සමහර ප්‍රශ්න සම්බන්ධයෙන් හරි හමන් විග්‍රහයක් හා පළල් සාකච්ජාවක් අවශ්‍ය බවය. දෙවැනිව අප ඉගෙන ගත් පාඩම වන්නේ රටේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මහන්තත්තකම හා ආඩම්බර කතාවලින් කිසිදු ප්‍රයෝජනයක් නැති බවය.

තුන්වැනුව අපි ඉගෙන ගත් කාරණයක් වන්නේ මහබැංකු අධිපතිවරයා, මුදල් ඇමැතිවරයා, මුදල් ලේකම්වරයා වැනි අය අනවශ්‍ය කතා සහ අනවශ්‍ය වැඩ නොකර සිටිය යුතු බවයි. මේ පාඩම් අපේ සමහරුන් තවමත් උගෙන ගෙන නැති බවක් පෙනී යන්නේ මහ බැංකු අධිපතිවරයා මේ දවස්වල කියන දේවල් ඇසෙන විටය. එතුමා කතා කරන්නේ මීට පෙර සිටි සමහර මහ බැංකු අධිපතිවරුන් කතා කළා වගේමය. ඒ දවස්වල මහ බැංකු අධිපතිවරුන් කතා කළේ නෙළුම් මාවතට’ ඇසෙන පරිදිය. දැන් අධිපතිතුමා කතා කරන්නේ පැලවත්තට’ ඇසෙන පරිදිය.

 

මැදපෙරදිග උණුසුම

මැදපෙරදිග කලාපය ලෝක තෙල් සැපයුමේ මූලික මධ්‍යස්ථානයක් වේ. එහි ඇති වන යුදමය හෝ දේශපාලනික ගැටුම් ලෝක ආර්ථිකයට සෘජුවම බලපායි. තෙල් මිල ඉහළ යාම, සැපයුම් දාම බිඳ වැටීම, සමුද්‍රීය මාර්ග අවහිර වීම මේ සියල්ල එකට එකතු වූ විට, ආනයන මත රඳා පවතින ශ්‍රී ලංකාව වැනි රටවල් අධික අවදානමකට ලක්වේ.

ඉතා කෙටියෙන් කිවහොත්, මෙය “දුරස්ථ යුද්ධයක්” නොව, “දේශීය ආර්ථික අර්බුදයක ආරම්භය” විය හැකි ආකාරයේ යුද්ධය​කි.

අපේ ආර්ථිකයේ මර්මස්ථානවලට සහ සාමාන්‍ය ජනජීවිතයේ පැවැත්මට ඉන්ධන ප්‍රශ්න​ය හරහා කරන බලපෑම ගැන විශේෂයෙන් කිව යුතු නොවේ. 2022 ගෝඨාභය ආණ්ඩුව අමාරුවේ වැටුණේ ඉන්ධන ල​බා ගැනීමේ නොහැකියාව නිසාය. මෙරට විදුලිබලය නිෂ්පාදනයෙන්   සියයට   40ක්  පමණ  හැදෙන්නේ  ඉන්ධන භාවිතයෙනි.  ඒ සියල්ල  කඩාවැටීම යනු ජනජීවිතයට විශාල වශයෙන් බලපාන්නකි. දිනකට පැය 14ක් විදුලිය කපන්නට තීරණය කළ දිනයේ රාත්‍රියේ ජනතාව විදී බැස ජනාධිපතිවරයාගේ නිවෙස වට කළ බව අපට තවමත් මතකය. එතැනින් එහාට සිදුවූ දේ මා යළිත් කිව යුතු නොවේ. ඒ නිසා ඉන්ධන සැපයුම සහ ආණ්ඩුවල පැවැත්ම එකට ගැට ගැසී ඇතැයි සිතීමේ වැරැද්දක් නැත.

 

‘සූදානම’ පිළිබඳ මූලික ප්‍රශ්නය

මෙවැනි තත්වයක් හමුවේ අපට නැගෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව මෙවැනි බලශක්ති අර්බූදයකට සූදානම්ද? යන්නය. මේ පිළිබඳව ඉතාමත් වැදගත් ප්‍රශ්න කීපයක් මේ සතියේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කර තිබුණි.

මෙය දේශපාලන ප්‍රශ්නයක් පමණක් නොව, රාජ්‍ය පාලන ප්‍රශ්නයක් බව එතුමන්ගේ ද අදහසය. මේ ප්‍රශ්නය ගැන විවෘතව සාකච්ජා කිරීම ඉතාමත් අවශ්‍යය. එවැනි සාකච්ජාවක්වත් අවශ්‍ය නැතැයි සිතන රජයේ කාණ්ඩයක් ද සිටින බව ද පෙනී යන කාරණයකි. පසුගිය බදාදා පාර්ලිමේන්තුව රැස් කිරීමට පවා සමහරුන් ​විරුද්ධත්වය පළ කරන්නට ඇත්තේ මේ හේතුව නිසා විය යුතුය.

 

විපක්ෂ නායකවර​යා ඇසූ ප්‍රශ්නයට නැවතත් යමු

බලශක්ති අමාත්‍යාංශය  විසින් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන ආනයනයට ඇති විය හැකි අවදානම් පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් ආණ්ඩුව කර තිබේද යන්න මෙහි පළමු ප්‍රශ්නයයි. මෙහි වැදගත්කම ඇත්තේ අප මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ හුදු දේශපාලන බලය පැත්තෙන් නොව රට පැත්තෙන් විය යුතු නිසාය. මේ යුද්ධය මාසයක් පැවතුණහොත් තත්වය කුමක් විය හැකිද? මාස 3 ක් පැව​තුණහොත් තත්වය කුමක් විය හැකිද? වසරක් පැවතුණහොත් තත්වය කුමක් විය හැකිද? මේවා ගැන පූර්ණ තක්සේරුවක් තිබිය යුතුය. පසුගිය කාලයේ ගාසා තීරයේ ඇවිළුණු ගැටුම වසරකටත් වඩා දික් වූ බව අපට මතකය. මැද ​පෙරදිග කලාපයේ මෙවැනි ගැටුමක් මතු වුවහොත් හා එය යම් කාලයක් ‘අල්ලා සිටින’ සටනක් වුවහොත් ඇතිවිය හැක්කේ කුමන ආකාරයේ තත්වයක් ද යන්න තක්සේරු කර ගැනීම ඉතාමත් වැදගත් ය.

එමෙන්ම, වර්තමාන ගබඩා මට්ටම් අනුව රටට දින කීයක් ඉන්ධන සැපයුම පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් පැහැදිලි දත්ත රටට ඉදිරිපත් කිරීමත් ඉතාමත් වැදගත් ​ය. එසේම දිගුකාලීන අර්බූදයක දී භාවිත කළ හැකි ජාතික ඉන්ධන සංචිතයක් තිබේ ද යන්න සහ එහි ප්‍රමාණය කුමක්ද යන්න දැනගැනීමත් අත්‍යවශ්‍යය. ජනාධිපතිවරයා කීවේ මේ වගේ රටවල ඉන්ධන කල් ත​බාගන්නා ක්‍රම නොමැතිවීම ප්‍රශ්නයක් බවයි. තත්වය එසේ නම් මේ තත්වයට අප මුහුණ දෙන්නේ කෙසේද යන්න සිතා බැලීම ඉතාමත් වැදගත් ය.

 

කළමනාකරණය, ප්‍රමුඛතාව සහ සැලසුම්

ගෝලීය තෙල් මිල ඉහළ යාමක් හෝ සැපයුම බිඳ වැටීමක් සිදු වුවහොත්, රට තුළ ඉන්ධන බෙදාහැරීම කෙසේ කළමනාකරණය කරන්නේ ද යන්න මූලික ප්‍රශ්නයකි. විදුලි නිෂ්පාදනය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන සේවා වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව දීමට සකස් කර ඇති ජාතික යාන්ත්‍රණයක් තිබේද?

එමෙන්ම, තෙල් මිල සියයට 20-30 අතර ඉහළ ගියහොත්, එය ශ්‍රී ලංකාවේ ආනයන වියදම් සහ රුපියල් අගය මත ඇති කරන බලපෑම පිළිබඳ නිවැරැදි ආර්ථික ගණනයක් කර තිබේද? එසේම මෙතෙක් යොදාගත් සමුද්‍රීය මාර්ග බාධා වීමක් සිදු වුවහොත්, විකල්ප සැපයුම් මාර්ග සකස් කර තිබේද? වැනි ප්‍රශ්න කෙරෙහි අවධනය යොමු කිරීම වැදගත් ය.

 

QR කේතය

2022 දී හඳුන්වා දුන් QR පදනම් වූ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම, කළමනාකරණයක් ලෙස තේරුම් ගත හැකිය. සැබැවින්ම ඒ මොහොතේ ඒ මැදිහත්වීම හා කළමනාකරණය කාංචන විජේසේකර එවක ඇමැතිවරයා ඉතා හොඳින් කළ බවත් මෙහි සටහන් කළ යුතුය. වත්මන් ආණ්ඩුව QR කේතය හඳුන්වාදීම අවුල් කරගනිමින් සිටින බව ද පෙනී යමින් පවතී. ඒ අවුලත් පැරැණි ආණ්ඩුවල ප්‍රශ්නයක් ලෙසින් කියනවා ඇසුණි. ඒ අතර ඒ වැනි විහිළු නතර නොකිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව මේ ප්‍රශ්නයේදීත් හැසිරෙන්නේ වැරැදි විදියට බවයි.

තවත් පැත්තකින් එම ක්‍රමය යටතේ ලබාදෙන ඉන්ධන කෝටා ජනතාවගේ සැබෑ අවශ්‍යතාවට ප්‍රමාණවත් ද යන්නත් අවධානයට ගත යුතුය. කාංචනලාගේ කාලයේ මෝටර් රථයක් සඳහා සතියකට ලීටර් 30 දක්වා ලබා දුන් අවස්ථා ද තිබුණු බව මතකය. මේ ආණ්ඩුව හිතන ආකාරය පෙනී යන කාරණයක් වන්නේ, ත්‍රිරෝදයටත් මෝටර් රථයටත් එකම ලීටර් ප්‍රමාණයක් දීමට ගෙන ඇති තීරණයෙනි. නිර්ප්‍රභූ මානසිකත්වය යැයි කියමින් මෝටර් රථ හිමියන්ට ‘පාඩමක්’ උගන්වන්න යනවා වැනි අදහසක් මේ තුළ ඇතැයි සමහරුන් සමාජ මාධ්‍ය තුළ චොදනා කර තිබුණේ මේ තීරණයේ තිබෙන විහිළු සහගත ස්වභාවය නිසාය.

 

ප්‍රතිචාරාත්මක රාජ්‍යයක් ද? සැලසුම්ගත රාජ්‍යයක්ද ?

මෙහි ගැඹුරු ප්‍රශ්නය වන්නේ, අපට ඇත්තේ ප්‍රතිචාරාත්මක (reactive) රාජ්‍යයක් ද, නැතහොත් සැලසුම්ගත (proactive) රාජ්‍යයක් ද යන්නයි. 2022 අර්බුදය අපට පෙන්වා දුන්නේ, අපගේ බලශක්ති ප්‍රතිපත්ති දිගුකාලීන සැලසුම්කරණයකින් තොර බවයි. ඉන්ධන විවිධාංගීකරණය, නව බලශක්ති මූලාශ්‍ර, ජාතික සංචිත, බලශක්ති ආරක්ෂාව - මේ සියල්ල කාලයක් පුරා නොසලකා හරින ලද ප්‍රශ්නය. එම නිසා, අද අප ඉදිරියේ ඇති ප්‍රශ්නය සරලව සාරාංශ කළහොත් ඇසිය හැක්කේ අප තවමත් අර්බුදයක් බලා සිටින රටක් ද, නැතහොත් අර්බුදයට පෙර සූදානම් වන රටක් ද? කියාය.

 

පාර්ලිමේන්තුවේ භූමිකාව සහ වගකීම

මෙවැනි බරපතළ ජාතික ප්‍රශ්නයක් තිබියදී, පාර්ලිමේන්තුවේ භූමිකාව අතිශය වැදගත් වේ. පාර්ලිමේන්තුවේ වැදගත් වගකීමක් වෙන්නේ රටේ මතුවන ප්‍රශ්න පිළිබඳව ශක්තිමත් සාකච්ජාවක් කිරීමයි. පාර්ලිමේන්තුව යනු රටේ ප්‍රශ්න සාකච්ඡා කරන ස්ථානයයි. ප්‍රතිපත්ති විවාද කරන ස්ථානයයි. ජනතාවට පිළිතුරු ලබාදෙන ස්ථානයයි. මෙවැනි ගැටලු‍කාරී අවස්ථවක වෙන රටවල් කරන්නේ ‘වසා තිබෙන පාර්ලිමේන්තු’ පවා ආපසු අරින තත්වයක් ය. එහෙත් අපේ රටේ තියෙන්නේ ඇරපු පාර්ලිමේන්තුවත් වසා දමන තත්වයක් ය.

මට පෙනෙන්නේ පසුගිය බදාදා පාර්ලිමේන්තුව වසා දැමීම, සරල පරිපාලන තීරණයක් ලෙස නොව, දේශපාලන වගකීමෙන් පලා යාමක් ලෙස​ය.

 

ඉගෙන ගත් පාඩම කුමක්ද?

මැදපෙරදිග අර්බුදය අපට දුරස්ථ දේශපාලන සිද්ධියක් නොවේ. එය අපේ ආර්ථිකයට, අපේ ජීවිතයට, අපේ අනාගතයට සෘජුවම බලපාන කරුණකි. 2022 අපට දැඩි පාඩමක් උගැන්වීය. ​‍එහෙත් එම පාඩමෙන් අප උගෙන ගත්තේ ද යන්න තවමත් සැකයකි. මේ අවස්ථාව, ඒ පාඩම පරීක්ෂා කරන අවස්ථාවයි. මෙය ආණ්ඩුවේ සැබෑ ‘ලිට්මස්’ පරීක්ෂණයයි. රටක් ලෙස අප සූදානම් විය යුතුය. ආණ්ඩුව එයට සූදානම් බව පෙන්විය යුතුය. නැතිනම්, ඉදිරියේ ඇති අර්බූදය 2022 ට වඩා බරපතළ විය හැකිය.

 

(***)