පසුගිය සෙනසුරාදා (21) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අවවාදාත්මක අවසන් නිවේදනයක් නිකුත් කළේය. වහාම හෝමෝස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන් විවෘත කළ යුතු බවටය. පැය 48ක් තුළ එය ඉටු කිරීමට ඉරානයට නොහැකි වුවහොත් එරට විදුලි බලාගාරවලට පහරදෙන බව ද ට්‍රම්ප් සඳහන් කර තිබුණි. පැය 48ක කාලය අවසන් වීමට නියමිතව තිබුණේ අඟහරුවාදා (24) උදෑසනය. එම කාලය ළඟාවන විට මැදපෙරදිග යුද්ධය පිළිබඳ දැඩි නොසන්සුන්තාවක් ලොව පුරා හටගෙන තිබුණි.
ඉරානය ඇමෙරිකානු නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඉරානයේ බලාගාරවලට පහර දුනහොත් ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ යුද කඳවුරු ඇති සියලු රටවල බලාගාරවලට පහර දෙන බවය. එසේම හෝමෝස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දමන බවට ද ඉරානය තර්ජනය කර තිබුණි. බොහෝ රටවල් භීතියට පත්ව සිටියේ යුද්ධය උත්සන්න වී ලෝක තෙල් සහ ගෑස් සැපයුම බිඳවැටී මහා විනාශයකට එය හේතුවනු ඇතැයි යන සැකය හේතුවෙනි.
ලබා දී තිබූ පැය 48ක කාලය ඉකුත්වීමට ඉතා ආසන්නව තිබිය දී සඳුදා සවස ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ප්‍රකාශයක් නිකුත් කළේය. එමගින් ඔහු සඳහන් කළේ යුද්ධය පිළිබඳ විසඳුමකට එළැඹීම සඳහා ඉරානය සමග සාර්ථක සාකච්ඡාවක් පවත්වාගෙන යන බවත්, එබැවින් ඉරාන බලාගාරවලට පහරදීම දින 5කින් කල් තබන බවත්ය. ඉරානය ප්‍රකාශ කළේ තමන් ට්‍රම්ප් සමග එවැනි කිසිදු සාකච්ඡාවකට සහභාගි වී නොමැති බවය. කෙසේ වුව ද ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමග ජාත්‍යන්තර වෙළෙඳපොළ ඊට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ බව පෙනේ.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිකුත් වූ වහාම ලෝක වෙළෙඳපොළේ ඩොලර් 110කට ආසන්න මිලකට අලෙවි වෙමින් තිබූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 දක්වා අඩු වූ අතර එය සියයට 13ක අඩුවීමකි. ලෝක තෙල් මිල පිළිබඳව සැලකිලිමත් වීමේ දී විශේෂයෙන් අවධානය යොමු කරන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 දක්වා ඩොලර් 17කින් අඩු විය. එය සියයට 15ක අඩු වීමකි. ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 13කින් එනම් සියයට 13.5කින් අඩුවිය. එහි මිල ඩොලර් 85.28ක් විය. ඉරානය ඇමෙරිකාව සමග සාකච්ඡා නොපවත්වන බව ප්‍රකාශ කළ ද රටවල් කිහිපයක් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවක් ඇති කිරීම සඳහා උත්සාහ කරමින් සිටී. එබැවින් ට්‍රම්ප්ගේ තීරණය මත ඇතිව තිබෙන ගැටුම් උපරිම අවස්ථාවකට පත් නොවීමේ තත්වය තවත් සැලකිය යුතු කාලයක් පැවතීමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාවේ රජය මාර්තු 21 වැනිදා ඉන්ධන මිල වැඩි කළ අතර එය සාමාන්‍ය වැඩිවීමක් නොව අතිවිශාල වැඩිවීමක් බව පැහැදිලි විය. 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 317 සිට රුපියල් 398 දක්වා රුපියල් 81 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 303 සිට රුපියල් 382 දක්වා රුපියල් 79කින් ද වැඩි කළේය. එය මාර්තු 05 වැනිදා වැඩි කරන ලද මිල ගණන්වලට අමතරවය. එදින 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද වැඩි කළේය. ඒ අනුව මෙම දින කිහිපය තුළ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 කින් ද, 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 105 කින් ද ඉහළ දමා තිබේ. මිල ගණන් වැඩි කිරීමත් සමග ඇතැම් අය සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉන්ධන මිල සියයට 36කින් වැඩි කර ඇති බවත්, බොහෝ රටවලට වඩා එය ඉහළ මිලක් වන බවත්ය. රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවිට රජය කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීම ස්වාභාවිකය. එසේ වුව ද මහජනතාව කෝපයට පත්වී ඇත්තේ රජයේ ඇතැම් පිරිස්වල අකාර්යක්ෂමතාව හෝ දූෂණය හේතුවෙන් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදුව ඇති විශාල පාඩුව පියවා ගැනීමට මෙම මිල වැඩි කිරීම මගින් කටයුතු කර ඇතැයි යන හැඟීමෙනි.
රජය ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර ප්‍රකාශ කර සිටියේ තවත් දින 40ක කාලයකට ප්‍රමාණවත් වන තරම් ඉන්ධන රට තුළ ගබඩා කර ඇති බවය. එසේ තිබිය දී ඉතා විශාල මිල ඉහළ දැමීමක් තුළින් රජය මහජනතාවගෙන් විශාල මුදලක් අය කර ගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා නැගේ. බාල ගල් අඟුරු නිසා රටට ගෙන්වන ඉන්ධනවලින් විශාල ප්‍රමාණයක් විදුලිය නිපදවීම සඳහා යොදා ගැනීමට සිදුව ඇත. ඒ වෙනුවෙන් විශාල මුදලක් අමතරව වැය කිරීමට සිදුව ඇත. ඉන්ධන මිල වැඩි කිරීමෙන් එය පියවා ගැනීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති අතර රජයේ අකාර්යක්ෂමතාවේ සහ දූෂණයේ බරපැන ගෙවීමට ඉන්ධන පාරිභෝගිකයන්ට සිදුව තිබේ. ඇතැම් සමාජ මාධ්‍ය මෙම මිල වැඩි කිරීම හඳුන්වා තිබුණේ ‘යුද්ධයේ සුද්දය’ වශයෙනි.
ඉන්ධන මිල ඉහළ යාම රටේ නිෂ්පාදන පිරිවැය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. ඒ බව පසුගිය දින කිහිපය තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් සම්බන්ධයෙන් ඇතිව තිබෙන වෙනස්කම් මගින් පැහැදිලි වනු ඇත. රජය වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 12.19 කින් බස් ගාස්තු වැඩි කිරීම සඳහා අවසර දී ඇත. ඉන්ධන මිල ඉහළ නැග ඇති ආකාරයත්, ඉන්ධන හිඟය සහ පෝලිම් පිළිබඳවත් සලකා බලනවිට බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව බස් ධාවනයේ දී දැරීමට සිදුව ඇති පිරිවැය ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ඇතැම් බස් සංගම් ප්‍රකාශ කරයි. කොරෝනා සමයේ දී බස් ගාස්තු වැඩි වූ ආකාරය අනුව බොහෝ දෙනෙක් සේවා ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටියහ. එයට හේතුව වැටුපෙන් අති විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනුවෙන් වැය කිරීමට සිදුවීමයි. පාන් රාත්තලක මිල ඊයේ සිට රුපියල් 10කින් වැඩි කර තිබේ. බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම සඳහා ද අනුමැතිය දී ඇති බව වාර්තා වේ.
මේ වසරේ ජනවාරි මාසයේ රටේ උද්ධමන වේගය සියයට 2.4ක් විය. එය පෙබරවාරි මාසයේ දී සියයට 1.6 දක්වා අඩුවී තිබේ. දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය ඉතා පහළ මට්ටමක පවතින අතර එසේ අඛණ්ඩව අඩු උද්ධමන අවපාතයක් පැවතීම සලකනු ලබන්නේ ආර්ථික අවධමනයක් වශයෙනි. එය ආර්ථිකය කෙරෙහි අහිතකර ලෙස බලපායි. අවධමන තත්වයකින් අදහස් වන්නේ රටේ සමස්ත ඉල්ලුමේ ප්‍රමාණවත් වැඩිවීමක් සිදු නොවන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියයට 5ක් දක්වා වූ උද්ධමන අනුපාතයක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබා දී ඇත. එයට හේතුව නිෂ්පාදනය ඉහළ යාම සඳහා සමස්ත ඉල්ලුමේ ඉහළ යාමක් ද අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බැවිනි.
ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල ලෙස ඉහළ යාමට ඉඩ තිබේ. එයට හේතුව ඉන්ධන මිල ඉහළ යාම රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සඳහා හේතු වීමයි. එම නිසා රටේ උද්ධමන අනුපාතය ද විශාල ලෙස ඉහළ යාමට ඉඩ තිබේ. පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇතිවන උද්ධමනයේ වැඩිවීම නිෂ්පාදනය වැඩිවීම සඳහා හේතු නොවේ. සමස්ත ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතිවන උද්ධමනයට වඩා පිරිවැය වැඩිවීම හේතුවෙන් ඇතිවන උද්ධමනය අහිතකර වේ. රටේ නිෂ්පාදනය ඉහළ යාම සඳහා එම උද්ධමනයෙන් පිහිටක් නොලැබෙන අතර නිෂ්පාදනය අඩුවීමටත්, මහජනතාවගේ ජීවන බර වැඩිවීමටත් එය හේතුවනු ඇත.
කොරෝනා වසංගතය නිසාත්, ඉන්පසුව ඇතිවූ ආර්ථික අර්බුදය නිසාත් රටේ මහජනතාවට මුහුණදීමට සිදුවූ දැවැන්ත පීඩනය මේ අවස්ථාවේ දී බොහෝ දෙනකුගේ මතකයට නැගෙනු ඇතැයි සිතමි. එම අවස්ථාවේ දී ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව, ජීවන බර වැඩිවීම පිළිබඳව, විනිමය අනුපාතය කඩා වැටීම පිළිබඳව සහ ආනයන සීමා පිළිබඳව ජාතික ජනබලවේගයේ නායකයන් කළ ප්‍රකාශ මේ දිනවල අතිවිශාල ලෙස සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන බව පෙනේ. කොවිඩ් සහ ආර්ථික අර්බුදය අවසන් වීමෙන් පසු තවත් එවැනි පීඩනයකට ගොදුරුවීමට ඉඩක් ඇතැයි කිසිවකු අපේක්ෂා කළේ නැත. තෙල් සහ ගෑස් මිල තවදුරටත් ඉහළ ගොස් ආනයන සැපයුම් ජාල අවහිර වී විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම් අඩුවන තත්වයක් ඇතිවුවහොත් ඉහත කී තත්වයටම මුහුණදීමට මහජනතාවට නැවත වරක් සිදුවනු ඇත.
කලින් කලට බලපොරොත්තු නොවන ආකාරයේ ආර්ථික හා සමාජ ව්‍යසනවලට මුහුණදීමට විවිධ අවස්ථාවල සිදුවේ. කොරෝනා සහ ආර්ථික අර්බුදය අවස්ථාවේ කිසිදු ආකාරයකින් රජයට සහයෝගයක් නොදී තමන් බලයට පැමිණි පසු විශාල ලෙස ඉන්ධන මිල අඩු කරන බවට ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාමාර්ග මගින් ජාතික අර්බුදය තමන්ගේ වාසියට යොදා ගැනීමට විවිධ පක්ෂ ක්‍රියා කළේය. විපක්ෂය වගකීම වන්නේ එවැනි ජාතික ආපදාවක දී රජයේ වැරැදි නිවැරැදි කර ගැනීමට සද්භාවයෙන් සහයෝගය දෙන අතරම ජාතික ව්‍යසනය අවසන් වනතුරු එකමුතුව කටයුතු කිරීමයි. රජයේ වගකීම වන්නේ ඇතිවන සියලු තත්ව සහ ව්‍යසන පෙර පැවැති ආණ්ඩුවල වැරැදි ලෙස හඳුන්වා දෙමින් දෝෂාරෝපණය කිරීමට වඩා සියලු දෙනාගේම සහයෝගය ලබා ගැනීමට කටයුතු කිරීමයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරාන සාකච්ඡා පිළිබඳව සත්‍ය තත්වය කුමක්ද යන්න පැහැදිලි නැත. එසේ වුව ද යුද්ධය තවත් බොහෝ කාලයක් පවත්වාගෙන යාමට කිසිදු පාර්ශ්වයකට අවශ්‍යතාවක් හෝ හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය. එසේ වුව ද සිදුව ඇති හානිය ඔස්සේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය යථා තත්වයට පත්වීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇත. මැදපෙරදිග ස්ථාවර වීමට ද, ලෝකයේ සැපයුම් ජාල යථා තත්වයට පත්වීමට ද බොහෝ කලක් ගතවනු ඇත. ආර්ථික බංකොලොත්භාවයෙන් අත්මිදී, ආර්ථිකය යථා තත්වයට පත්වී ජන ජීවිතය පෙර පැවැති තත්වයට පත්වීම සඳහා මග පෑදීමක් සිදුව ඇති අවස්ථාවක තවත් ආර්ථික පීඩනයකට මුහුණදීමට මහජනතාවට ශක්තියක් නැත. එබැවින් ආණ්ඩුවේත්, විපක්ෂයේත් වගකීම වන්නේ මෙම අවස්ථාවේදී ජාතික එකමුතුවක් ගොඩනගා ගනිමින් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමයි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd