මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන කතා බහ නැවත අලුත් වීමට 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල ගැටලුව හේතුවක් වී ඇති බව පෙනේ. ඒ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කරන විවිධ පාර්ශ්ව ද කරළියට පැමිණ සිටින බව දකින්නට ඇත. කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද පුළුල් සංවාදයක් අවශ්‍යය යන මතය විද්වතුන්ගේ පොදු පිළිගැනීම වුවත්, ඒ සම්බන්ධ ගැඹුරු හා විධිමත් සාකච්ජාවක් සමාජය තුළ දක්නට ඇතැයි සතුටු විය නොහැකිය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අවධානය යොමු විය යුතු මූලිකම කාරණය නම් වඩාත් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දීමේ අවශ්‍යතාවයි. ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක එබදු ගුණාත්මක අධ්‍යාපන ක්‍රම විධිමත්ව අධ්‍යයනය කළහොත් පොදුවේ අවධාරණය වන කාරණයක් නම්, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට දරන උත්සාහයයි. එහි දී ඔවුන් මුලින්ම සිතන්නේ එම ගුණාත්මකභාවය සඳහා ගුරුවරුන් නිවැරැදිව පුහුණු කරන්නේ කෙසේද යන්නයි. ඊළගට වැදගත් වන කාරණය නම් අධ්‍යාපන ප්‍රතිපත්ති කවරාකාර විය යුතුද යන්නයි. එසේම තමන් නිර්දේශ කරන විෂය මාලාව විධිමත් හා ගුණාත්මක දැයි යන්න කෙරෙහි අවධානය යොමු වේ. විශේෂයෙන්ම එම විෂය මාලාව සමස්ත රටට ගැළපෙන එකක් ලෙස සකස් කිරීමට එම බොහෝ රටවල් උනන්දු වේ.
ලෝකයේ විවිධ රටවල එසේ හඳුන්වා දී සාර්ථක වූ අධ්‍යාපන ක්‍රම පිළිබදව අප කළ සොයා බැලීමකදී සනාථ වූයේ ඔවුන්ගේ වැඩි අවධානය යොමු වන්නේ අධ්‍යයන ක්‍රමයට වඩා ජාතික අනන්‍යතාව, ආර්ථික පරිවර්තනය සහ සමාජ යහපැවැත්ම කෙරෙහි බවය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක වූ රටවල ප්‍රමුඛ වශයෙන් අවධානය යොමු වූ කාරණා තුන හැටියට ඒවා නම් කළ හැකිය. එබැවින් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ද අපට මේ ගමන යාමට සිදුවන්නේ මුලින් කී ජාතික අනන්‍යතාව, ආර්ථික පරිවර්තනය හා සමාජ යහපැවැත්ම යන කාරණා තුන කෙරෙහි මූලික අවධානය දෙමිනි.
දියුණු වෙමින් පවතින රටවල අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී අපට ගළපාගත හැකි හොඳම හා ළඟම උදාහරණය වන්නේ වියට්නාමයේ අධ්‍යාපන ක්‍රමයයි. ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති මූලිකවම තමන්ගේ රටට ගැළපෙන අන්දමින් සකස් කර ඇති බව පෙනේ. එසේම ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබදව ඔවුන් වඩාත් සැලකිලිමත් වන බවක් දැකිය හැකිය. එපමණක් නොව ග්‍රාමීය සමාජයේ අධ්‍යාපනය සහ වැඩි අවධානය දිය යුතු සමාජ කෙරෙහි ද ඔවුන්ගේ ප්‍රමුඛ සැලකිල්ලක් පෙනෙන්නට ඇත. ගුණාත්මක අතින් ඉහළ සෑම අධ්‍යාපන ප්‍රතිපත්තිවල දැකිය හැක්කේ මුළු ජීවිත කාලයටම ඉගන ගැනීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමයි. එහෙත් එම ප්‍රතිපත්තිය තවමත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.
වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ආණ්ඩුව අවධානය යොමු කරන්නේ ශිෂ්‍යයන් නැඹුරු කරගත් දක්ෂතා මත පදනම් වූ ක්‍රමයක් පිළිබඳවය. දැනට ඉදිරිපත්වී ඇති අධ්‍යාපන සැලසුම් දෙස බැලීමේ දී ප්‍රධාන කාරණා කිහිපයක් හදුනාගත හැකිය. ප්‍රතිපත්ති, මානව සබදතා, යටිතල පහසුකම් දැනුවත් කිරීම දක්ෂතා කුසලතා හදුනාගැනීම ඇතුළු කාරණා කිහිපයක් ඒ අතර වේ. මෙම ප්‍රතිසංස්කරණය හදිසියේ ක්‍රියාවට නංවනවාට වඩා තවදුරටත් සමජය තුළ සාකච්ජාවට ගැනීම වැදගත් විය හැකිය. මේ අනුව 6 ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණය මේ වසරේ ක්‍රියාත්මක නොකර ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දැන් තීරණය කර තිබීම නිසා ඒ පිළිබදව තවදුරටත් සාකච්ජා සංවාද මගින් සැලසුම් සකස් කරගැනීමට අවස්ථාව සැලසේ.
ලෝකයේ වෙනත් රටවල අධයාපන ක්‍රම හා ඒවාට අදාළ ප්‍රතිසංස්කරණ තවදුරටත් අධ්‍යයනය කිරීමේ අවස්ථාව ද මෙමගින් ලැබේ. මුලින් සඳහන් කළා සේම, වියට්නාමය වැනි රටවල ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය අපේ රටට වඩාත් සමීප හා ගැළපිය හැකි නිසා ඒ සම්බන්ධ අවධානය යොමු කිරීම වැදගත්වනු ඇත. එසේම රුවන්ඩාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල අධ්‍යාපන ක්‍රමය හා ප්‍රතිසංස්කරණ සැලසුම් වී ඇත්තේ කෙසේද, ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි තවදුරටත් අධ්‍යයනය කළ හැකි නම් එයින් ලබාගත හැකි ආදර්ශ බොහොමයක් තිබේ.
එහෙත් වෙනත් රටවල සාර්ථකව ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රම පිළිබදව ගැඹුරින් අපේ රටේ අධ්‍යයනය කෙරෙනවා දැයි සැක සහිතය. කෙසේ වෙතත් මේ ප්‍රතිසංස්කරණය තුළ පවා පින්ලන්තයේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය පිළිබදව අපේ රටේ බොහෝ දෙනා ද කතා කරන බවක් දක්නට ලැබුණි. පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට ගැළපෙන ඇතැම් යහපත් දේවල් ඇති බව ඇත්තය. එහෙත් මීට වසරකට පමණ පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත්තේ පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය යහපත් වුවත් එහි යම් යම් ගැටලු පවතින බවය. සිසුන්ගේ මානසික ආතතිය, ගුරුවරුන්ට ඇතිවිය හැකි පීඩනය, එක සමාන අධ්‍යාපන අයිතිවාසිකම් නොලැබී යාම, ආදිය එම ගැටලු ලෙස ඔවුන් පෙන්වා දී ඇත. මෙයින් අප කල්පනා කර බැලිය යුතු වන්නේ ඉතාම හොඳ යැයි කියන අධ්‍යාපන ක්‍රම ක්‍රියාත්මක වන රටවල පවා යම් යම් ගැටලු පවතින බවය.
ඕනෑම රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී ප්‍රවීණයන්ගේ සහභාගීත්වය සහ එකඟතාව අත්‍යවශ්‍ය වේ. එසේම නිවැරැදි තත්ව පාලනයක් තිබිය යුතුය. විනිවිද පෙනෙන සමාලෝචන ක්‍රියාත්මක විය යුතුය. වඩාත් හොඳ සන්නිවේදයක් තිබිය යුතුය. ඒ නිසා තවදුරටත් මේ සම්බන්ධ අවධානය යොමු කිරීම වැදගත්වේ. මේ ගැන මූලිකව සමාජ සංවාදයක් ගොඩ නැගීම අවශ්‍ය වේ. කාලයක් තිස්සේ අප දිගින් දිගටම පෙන්වා දෙන කාරණයක් නැවත මෙහි දී සඳහන් කිරීමට කැමැත්තෙමි. එනම් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ තිබිය යුතු ගුණාත්මකභාවය ගැනය. තවමත් අපේ රටේ කිලෝ විසිපහක් බර සහිත දරුවා කිලෝ දොළහක් බර බෑගයක් රැගෙන යයි. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල එක හා දෙක ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් බෑගයේ බර කිලෝ එකහමාරක් හෝ දෙකක් පමණි. තුන් වැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉන්දියාවේ පාසල් දරුවකුගේ පාසල් බෑගයේ බර කිලෝ දෙකක් හෝ තුනකට සීමාවේ. එම නිසා අප මේ සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුම වේ.
මේ වනවිට මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතුමය. ඒ පිළිබද විවාදයක් නැත. එහෙත් එය සිදු කිරීමේ දී අධ්‍යාපනය සම්බන්ධ විද්වතුන් මෙන්ම සංස්කෘතික ආගමික ආයතනවල ප්‍රධානීන්ගේ පවා අදහස් විමසා කටයුතු කිරීම වැදගත් වේ. අපේ රටේ පැරැණි අධ්‍යාපන ක්‍රමය සැකසී තිබුණේ ආගමික සංස්කෘතියේ ශික්ෂණය මත පදනම්වය. බෞද්ධ සංස්කෘතිය තුළ නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබදව අවධානය යොමු වේ. පැරැණි නාලන්දා විශ්වවිද්‍යාලයේ පැවැතියේ අධ්‍යාපනයටත් වඩා අධ්‍යාපනය පදනම් කර ගත් වැඩපිළිවෙළකි. එය මූලිකව මිනිසාගේ ආකල්ප මත පදනම්වූ අධ්‍යාපන ක්‍රමයකි. එයින් බිහි වූයේ සංවේදී හදවත් සහිත සමාජයකි. මෙය අදාළ වන්නේ බුද්ධාගම විෂයට හෝ වෙනත් ආගමික විෂයකට පමණක් නොවේ. පොදුවේ සෑම විෂයකටම එය අදාළවේ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතන සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන්ම බලාපොරොත්තු වන දරුවා එවැනි යහපත් ආකල්පවලින් යුතු විනය ගරුක හා නිර්මාණශීලී දරුවකු විය යුතුය. මෑත කාලය නිරීක්ෂණය කරන විට අධ්‍යාපනයේ එම අරමුණු කොතෙක් දුරට සාධනීය වී ඇති දැයි සැක සහිතය. අද වනවිට අපේ තරුණ දරුවන් බොහෝ දෙනකු තුළ නොසන්සුන්කම, නොඉවසීම හා ආවේගශීලීත්වය දැකිය හැකිය. ඉතාම සරල උදාහරණයක් ගතහොත් කොතැනක හෝ පුද්ගලයකු අනතුරකට ලක් වුවහොත් බොහෝ දෙනා උත්සාහ කරන්නේ එම අනතුරට ලක්වූ පුද්ගලයාට උපකාර කිරීමට නොව එම අවස්ථාව වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැරීමටය. මෙමගින් පැහැදිලි වන්නේ දරුවන්ගේ ආකල්ප පිළිබදව ඇති ගැටලුවය. අනෙකා පිළිබද කල්පනා නොකිරීමය.
අපේ අධ්‍යාපන ක්‍රමයෙන් සකස් විය යුත්තේ ජාතික අනන්‍යතාවක් සහිත පුරවැසියෙකි. හික්කඩුවේ සුමංගල නාහිමි, අනගාරික ධර්මපාලතුමා, ආදීන් ඉදිරිපත් කළ සමාජ සැලසුම් ප්‍රතිපත්ති සහ ක්‍රමවේද පිළිබදව අප තවදුරටත් සිතා බැලීම අවශ්‍ය වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී එය මූලිකව තම රටට ගැළපේදැයි සොයා බැලීම වැදගත්ම කාරණයයි. වර්තමානයේ බම්බලපිටියේ වජිරාරාමය වැනි ආගමික මධ්‍යස්ථානවල යහපත් දරුවන් බිහි කිරීම සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතින බව පෙනේ. එය කාගේත් අවධානයට ලක් වියයුතු වැදගත් කාරණයකි. රටක නියම පුරවැසියා යනු ඔළුවට දත්ත පුරවා ගන්නා කෙනකු නොව, යහපත් ආකල්පවලින් යුතු රටට ආදරය කරන සංවේදී බුද්ධිමතෙකි. අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුත්තේ එයයි.
මූලිකව ගත්තොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා කුමන රටෙන් ආදර්ශ ගත්තත් එය අපේ රටට අවශ්‍ය පුරවැසියා නිර්මාණය කළ හැකි, අපේ රටට ගැළපෙන සේ සකස් කරගත්තක් විය යුතුය. අද වනවිට ඉවක් බවක් නොමැතිව සමාජ මාධ්‍යයේ විවිධ වෛරී අදහස් මතුකරමින් අන්තවාදී අන්දමින් ජාතික ආඛ්‍යානයට පහරදෙන පිරිස් බිහිවී සිටින්නේ ජාතික අනන්‍යතාව පිළිබදව ඔවුන්ට නිසි හැඟීමක් නොමැති නිසාය. අධ්‍යාපනයේ පදනම විය යුත්තේ එම ජාතික අනන්‍යතාව සහිත පුරවැසියා බිහි කර ගැනීමය.
මෙම නව ප්‍රතිසංස්කරණවලදී ඉතිහාසය හා සෞන්දර්ය විෂයය ක්ෂේත්‍ර සම්බන්ධ යම් සංවාදයක් ද මුලදී ගොඩ නැගුණු බව පෙනේ. ඉතිහාසය හා සෞන්දර්ය විෂයයන් සෑම දරුවකුටම ඉගෙන ගැනීමේ අවස්ථාව තිබිය යුතුමය. එහෙත් දරුවාට ඉතිහාසය ඉගැන්විය යුත්තේ අසවල් රජු ඉපදුණේ මියගියේ කුමන වසරවලදැයි කට පාඩම් කරමින් දරුවාගේ මතක මනින්නට නොවේ. ඉතිහාසය ඉගැන්විය යුත්තේ ඉන් වර්තමානයට ආදර්ශ ලබා ගැනීමට, පාඩම් ඉගැනීමට හා රටට ආදරය කිරීමට හැකිවන පරිදිය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී මේ කියන කාරණා කෙරෙහි තවදුරටත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයි සිතමි. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය අතර ඇති සහ සම්බන්ධය මීට වඩා වර්ධනය විය යුතුය.
එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනට පොදු සමාජය තුළ තිබෙන සාකච්ජාව මීට වඩා හරවත් විය යුතුය. මේ වනවිට ඇතිවී තිබෙන ඇතැම් සාකච්ජාවලින් හා මත ප්‍රකාශ කිරීම්වලින් දැකිය හැක්කේ ඒවායේ යම් යම් දේශපාලන අරමුණු පවතින බවයි. එහෙත් අවශ්‍ය වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වඩාත් ගුණත්මක කර ගත හැක්කේ කෙසේ දැයි සාකච්ජාවට ගැනීමය. ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක ගුණාත්මක මට්ටමේ අධ්‍යාපන ක්‍රමවේද මනාව අධ්‍යයනය කරමින් ඒවායින් ලබා ගත හැකි ආදර්ශ කවරේදැයි, ඒවා අපේ රටට ගළපාගන්නේ කෙසේදැයි විධිමත්ව සාකච්ජාවට ගැනීමය. අපේ රටේ අක්මුල් ගලවා ඉවත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කළ නොහැකිය. ඒ පිළිබද ගැඹුරින් සොයා බලා ක්‍රියාත්මකවීම අවශ්‍ය වේ.
(*** සාකච්ජා සටහන - ගාමිණී කන්දේපොළ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd